ස්පාර්ටකස් සාමූහිකය පළකල මෙම ලිපිය මගින් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන පරිණාමය සහ එහි
වර්තමාන දිශානතිය පිළිබඳ දැඩි විචාරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. ජවිපෙ සතු වූ "සාමූහික ප්‍රයත්නය" නම් වටිනාම උරුමය, මැතිවරණ දේශපාලනය හමුවේ දියවී ගොස් ඇති බවත්, පක්ෂය සතු සංකේතීය විනය අභිබවා මාධ්‍ය මගින් නඩත්තු කරන කැරිස්මැටික් නායකත්වයන් හෝ පුද්ගලික ප්‍රතිරූප ඉස්මතු වීම හරහා ව්‍යාපාරයේ දේශපාලන අර්ථය වියැකී ගොස් ඇති බවත් මෙහිදී අවධාරණය කෙරේ.
තවද, බලය ලබාගැනීම සඳහා භාවිත කළ තාවකාලික "උපක්‍රම" අවසානයේ පක්ෂයේ සැබෑ "ප්‍රතිපත්තිය" බවට පත්වීම නිසා, සමාජය වෙනස් කිරීමේ විමුක්තිකාමී අරමුණ වෙනුවට හුදෙක් මැතිවරණ ජයග්‍රහණය සහ ජනප්‍රියත්වය නඩත්තු කිරීම පක්ෂයේ එකම අභිලාෂය වී ඇති බව ලිපියෙන් පෙන්වා දෙයි.
පක්ෂයේ දෘඩ ව්‍යුහය (Hardcore) බිඳ වැටීමත් සමඟ එහි නායකයින් ව්‍යාපාරික ප්‍රජාව සමඟ ආශක්ත වී ඇති අතර, පක්ෂයේ සාමූහික ශ්‍රමය පුද්ගලික ප්‍රාග්ධනයක් ලෙස පරිහරණය කිරීමේ ඛේදවාචකයක් නිර්මාණය වී තිබේ. ලෙනින්වාදී මූලධර්ම තමන්ට රිසි සේ අර්ථකථනය කරමින් වර්තමානයේ පවතින ක්‍රමයටත් වඩා හොඳින් ධනවාදය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම තුළ ජවිපෙ දෘෂ්ටිවාදාත්මකව අන්තයටම පිරිහී ඇති බව මෙහිදී චෝදනා කෙරේ. අවසාන වශයෙන් ලිපිය නිගමනය කරනුයේ, ජවිපෙ හෙවත් ජාතික ජන බලවේගය (NPP) යනු තවදුරටත් කිසිදු අයුරකින් විමුක්ති දේශපාලන ව්‍යාපාරයක් නොවන බවත්, එය හුදෙක්ම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් ලෙස පිරිහී කුණුවීමට නියමිත පද්ධතියක් බවට පත්ව ඇති බවත්ය.
උපාය-උපක්‍රම දේශපාලනය ලෙස තහවුරු වීම - ස්පාටකස් ලිපි
ජවිපෙ බොහෝ කාලයක් ක්‍රියාත්මක වූයේ සාමුහික ප්‍රයත්නයක් ලෙසිනි. එම පක්ෂයේ දේශපාලන ස්ථාවරයේ කොතරම් දුර්වලතා තිබුන ද වටිනාම වාමාංශික උරුමය එයයි.
ජවිපෙ රැඩිකල්හරණය වීම ආරම්භ වන්නේ මැතිවරණ දේශපාලනයට ප්‍රවේශ වීමත් සමගිනි. මුලදී මැතිවරණ දේශපාලනය තුල සාමුහික ප්‍රයත්නය නියෝජනය වන යුරින් තරඟ කල අතර (පක්ෂයට අවශ්‍ය පුද්ගලයා පාර්ලිමේන්තුවට යැවීම) පසුව මුහුණු සමග අංක යෙදුවේ "පොදු ජන එක්සත් පෙරමුණෙන්" තරඟ වැදුන හෙයිනි. එය යම් පමණකට පෙර ස්ථාවරයෙන් අපගමනය වීමකි. නමුත්, ඉන් පසු මැතිවරණ වලදී තනිව තරඟ වැදුන ද අපේක්ෂකයාගේ සුවිශේෂිත්වය කරලියට රැගෙන ආවේ ජන මාධ්‍ය හරහා ගොඩනගා ගත් අනන්‍යතාවය පෙරට දමමිනි.
පක්ෂයේ අභ්‍යන්තර සාමාජිකයින් හට එය ඒත්තු ගැන්වූයේ මැතිවරණ ජයග්‍රහණ සඳහා අනුගමනය කල යුතු උපක්‍රමය ලෙසය (මෙසේ න්‍යාය විරෝධී උපක්‍රම අනුගමනය කිරීම ජවිපෙ ඉතිහාසය පුරා සිදුවිය). නමුත් එහි ප්‍රතිඵලය වූයේ සාමුහික ශ්‍රම ප්‍රයත්නය වෙතින් ගැලවුන ජනප්‍රිය අනන්‍යතා බිහි වීමයි. එනම්, සාමූහික සංකේතීය විනය අභිබවා පරිකල්පනීය අනන්‍යකරණය (imaginary identification) ඉස්මතු වීමයි. සාමූහික සටන්කාමී ව්‍යුහයෙන් ගිලිහී ගිය කැරිස්මටික (charismatic) හෝ මාධ්‍ය අනන්‍යතාවන් ලෙස ඒවා තහවුරු වී තිබේ. ඒ අනුව පුද්ගලාරෝපිත පිළිගැනීම හමුවේ පක්ෂයේ සංකේතීය සුසංයෝගය හිස් බවට පත්වීම ක්‍රමක්‍රමයෙන් සම්පූර්ණ වෙමින් තිබේ.
දේශපාලනය යනු හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවට පත්වන විට, පක්ෂයක් සතු සංවිධානාත්මක සටන්කාමී ශක්තිය හීන වී යයි. නායකයා යනු සාමුහික ප්‍රයත්නයේ නියෝජිත 'සංකේතයක්' වීමට වඩා 'තරුවක්' බවට පත්වේ. විමුක්ති දේශපාලන ව්‍යාපාරයක් තුල එම ව්‍යාපාරයේ දේශපාලන ස්ථාවරය වෙනුවට යම් පුද්ගලයෙකුගේ මුහුණ හෝ නම මත පමණක් පක්ෂය රඳා පවතින විට, එම ව්‍යාපාරය සතු දිගුකාලීන දේශපාලන අර්ථය දිය වී යයි.
එම අනන්‍යතා වලට වටිනාකමක් හිමි වීම තුල සිදු වූයේ ව්‍යාපාරික ප්‍රජාවට අදාළ ගනු දෙනු, වංචා, දූෂණ වලට අදාළ හෙළිදරව් කිරීම් නොකිරීම සඳහා කප්පම් ලබා ගැනීමට හැකි වීමත්, එවැනි ව්‍යාපාරිකයින්ට සහ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ දේශපාලන පක්ෂවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මුදල් ගෙවීම් ලබා ගැනීමට හැකි වීමයත්ය (මේ වන විට පෙසප ද මේ ආකාරයට මුදල් සොයයි). නමුත් ඒ පක්ෂය සඳහාය.
ඉහත සඳහන් කල ආකාරයේ අකාරයේ "උපක්‍රම දේශපාලනය" හේතුවෙන් ජවිපෙ දෙවරක් කැඩී යාම් සිදුවිය. ඒ ජාතිකවාදී උපක්‍රමයට යැවූ විමල් වීරවංශ ඇතුළු පිරිස ජාතිකවාදීන්ම බවට පත්වීම (දෘෂ්ටිවාදය පවතින්නේ නිශ්චිත භාවිතාවන් සමගිනි) පළමු අවස්තාව ලෙසත්, මැතිවරණ දේශපාලනයට ගොස් යම් ආකාරයේ ප්‍රභූ අනන්‍යතා ගොඩනගා ගත් පිරිස වෙතින් වෙන් වූ පක්ෂයේ 'දෘඩ මාධ්‍යය ව්‍යුහය' (hard core) පෙරටුගාමීන් ලෙස සංවිධානය වීමත්ය. එම කැඩී යාම සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ඉන් පසුව ජවිපෙ ඒ පැවතී ආකාරයේ, ගුණයෙන් යුතු 'දෘඩ මාධ්‍යය ව්‍යුහයක්' නඩත්තු කිරීම වෙතින් විතැන් වීම ඉන් පසු ආරම්භ වූ බැවිනි. පක්ෂයක් ලෙස එය ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරික ප්‍රජාව කරා ආශක්ත වන්නේ ඉන් පසුවය (එම ඛණ්ඩනයට පෙර ද එය ආරම්භ වී තිබුණි).
මේ වන විට ලාල්, වසන්ත, වැනි වෘත්තිය සමිති නායකයින් කෝටිපතියන් වී ඇත්තේ එම ක්‍රියාවලිය තුල බව තේරුම්ගත හැකිය. වර්තමානයේ උත්සන්න වී ඇත්තේ ලාල්ගේ දේපොළ ප්‍රශ්නයයි. ලාල් හට ව්‍යාපාරිකයින්ගෙන් හෝ කාගෙන් හෝ යම් මුදලක් ලැබෙනවා නම් එය ඔහුගේ සමාජ ප්‍රාග්ධනය නොව පක්ෂයේ සාමුහික ශ්‍රමයට අයත් වන මුදලකි (එය හිමි විය යුත්තේ පක්ෂයටයි). ලාල් විසින් පින්කමක් සංවිධානය කිරීම ඔහුට අනුව විප්ලවීය ක්‍රියාවකි.
(මේ ලිපියේ මීට පෙර කොටස් වල සබැඳීන්:
https://www.facebook.com/share/v/1DfMGBxvps/
https://www.facebook.com/share/p/1AfBJ9EJCo/ ).
එමගින් ඔහු කියා සිටිනුයේ තවදුරටත් එවැනි සාමුහික ශ්‍රම ප්‍රයත්නයක් ලෙස පක්ෂයේ පැවැත්ම අනවශ්‍ය බවත්, එය පුද්ගල සුවිශේෂිතාවය (ලිබරල් ආස්ථානය) මත ඉදිරියට යා යුතු බවත්ය. ඔහු තමාට සමාජ ප්‍රාග්ධනයක් ඇති බවත්, දැන් අවශ්‍ය නම් ලක්ෂ 5 ගන්නේ සියදෙනෙකුගෙන් ඉල්ලා ගත හැකි බවත් පවසන්නේ එබැවිනි.
එම සිදුවීමෙන් පසුව ලාල් සහ වසන්ත සමගින් අනුර අවුරුදු සමරයි. එය අහඹු සිදුවීමක් නම් නොවේ.
මොවුන් දැන් කියා සිටිනුයේ පැරණි පක්ෂ ව්‍යුහය දිය කර හැර මේ ආකාරයෙන් ඉදිරියට යා යුතු බවයි. පක්ෂ අභ්‍යන්තරයට එය පිළිගැනීම හෝ එය නොපිළිගෙන ඉවත් වීම හෝ හැර වෙන විකල්පයක් නොමැති බව පෙනේ.
ජවිපෙ සහ පෙසප යන පක්ෂ දෙකම උපක්‍රම දේශපාලනයට ගමන් කරනුයේ සමාජවාදය ගොඩනැගීම සඳහාය. ඔවුනට අනුව වී. අයි. ලෙනින් සහෝදරයා සියල්ල නිවැරදිව ලියා තබා ඇත. "කල යුත්තේ කුමක්ද" යන්නත් ලියා තබා ඇත. දැන් ඔවුනට ඉතිරිව ඇත්තේ දේශීය සුවිශේෂීත්වය තේරුම් ගෙන එම වාස්තවිකත්වයට අදාල උපාය-උපක්‍රම භාවිතා කරමින් අරමුණ සාක්ෂාත් කර ගැනීමයි. එනම්, මූලික වශයෙන්ම ඉලක්කය විය යුත්තේ රාජ්‍ය බලය ලබා ගැනීමයි (නමුත්, ලෙනින්ට අනුව එය සිදු කල යුත්තේ මැතිවරණ හරහා නොව "කැරලි ගසා නැගී සිටීමෙනි"). රාජ්‍ය බලය ලබා ගත් පසුව ආර්ථික අධෝ ව්‍යුහය වෙනස් කරීමෙන් සංස්කෘතික උපරි ව්‍යුහය වෙනස් වේ (ජවිපෙ මෙන්ම පෙසප ද සිටිනුයේ මේ ස්ථාවරයේය). නමුත් දැන් ජවිපෙ රාජ්‍ය බලය ලබාගෙන ඇතත් ඔවුනට අනුව ඔවුනට අධෝ ව්‍යුහය වෙනස් කල නොහැක්කේ ධනේශ්වර සංවර්ධනය සම්පූණ වී නොමැති නිසා බවට වන ලෙනින්වාදී න්‍යාය පිහිටට පැමිණ තිබේ. එබැවින් ධනවාදය රනිල්ටත් වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමේ කිසිඳු න්‍යායික ප්‍රශ්නයක් නොමැත. නමුත් එවිට ප්‍රශ්නය වී ඇත්තේ ලාල්, වසන්ත වැනි පුද්ගල භාවිතාවන් හෙළිදරව් වෙමින් තිබීමයි (මෙය මෙතනින් නොනවතිනු ඇති අතර ආණ්ඩුකරන ක්‍රියාවලිය තුල දැඩිව වර්ධනය වීමට නියමිතය).
මේ තත්වය තුල, මේ වන විට සිදුව ඇත්තේ උපක්‍රමය ප්‍රධාන දේශපාලන ස්ථාවරය බවට තහවුරු වී දේශපාලන ස්ථාවරය ඒ තුල දිය වී යාමයි. එනම්, මුලින්ම අහඹු හෝ අවස්ථානුයෝචිත උපක්‍රමයක් ලෙස යුක්තිසහගත කළ ක්‍රියාමාර්ගය ක්‍රමයෙන් එම උපක්‍රමයම සැබෑ ප්‍රතිපත්තිය බවට පත්වීමයි. ප්‍රකාශිත දේශපාලන අරමුණ, හුදු උපක්‍රමික උපාමාරුවක් බවට පත්වෙමින් දියවී යාම ඒ තුල සිදුවන ක්‍රියාවලියයි (අවසානයේදී පක්ෂය ක්‍රියා කරන්නේ සමාජය වෙනස් කිරීමට නොව, තම උපක්‍රමික ක්‍රියාවලිය, උදාහරණ ලෙස මැතිවරණ ජයග්‍රහණය හෝ ජනප්‍රියත්වය, පවත්වාගෙන යාම සඳහාම පමණි). මෙවර එය සම්පූර්ණ වෙමින් තිබේ. දැන් අවශ්‍ය නම් දීප්ති කුමාරට පමණක් නොව චින්තන ධර්මදාස, අජිත් පැරකුම් වැනි අයට ද ආණ්ඩුවට එක්විය හැකිය... "ජවිපෙ ගමනක අවසානය"!!!...
නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සහ දැනුම්වාදී "ජන බලය" සිතා සිටිනුයේ ජවිපෙ 'දෘඩ මාධ්‍යය ව්‍යුහය' දිය වී යාම යහපත් තත්වයක් බවත්, ඉන් ප්‍රජාතන්ත්‍රවාදී බහු ජන ව්‍යාපාරයක් සංස්ථාපනය වන බවත්ය. නමුත්, එසේ වුවහොත් ඉදිරියේදී සිදු වීමට නියමිත වන්නේ NPPය සාමාන්‍ය දේශපාලන පක්ෂයක් බවට පත්ව කුණු වී යාමට නියමිත වීමයි.
https://www.facebook.com/share/p/18ejCNCb3x/
උපුටාගැනීම - ස්පාටකස් ලිපි

