SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටින

විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඊයේ (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වූ කරුණු, මෙරට අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක් සලකුණු කර තිබේ. ඒ, සැකකරුට එල්ල වී ඇති කෲර වධහිංසා පිළිබඳව රජයේ නිල අධිකරණ වෛද්‍ය වාර්තාව (JMO Report) මඟින් මේ වනවිටත් සපයා ඇති ප්‍රතික්ෂේප කළ නොහැකි විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගනිමිනි.

 

 

ජනාධිපති නීතිඥ ශාවේන්ද්‍ර ප්‍රනාන්දු විසින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ ගොනු කළ මෝසමට අනුව, අධිකරණ වෛද්‍ය නිළධාරී වාර්තාවට අනුව සුරේෂ් සලේ මේ වන විට විශාදය (Depression), කාන්සාව (Anxiety) සහ පශ්චාත් කම්පන ආතති අක්‍රමිකතාව (PTSD) යන තත්ත්වයන්ගෙන් දැඩි ලෙස පෙළෙමින් සිටින අතර ඔහු තුළ දැඩි සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් (Suicidal tendency) ද හටගෙන ඇත.

 

වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු වූ 'වධහිංසාව' සහ ශානිගේ භූමිකාව

 

මෙහි ඇති වඩාත්ම බරපතළ සහ නෛතිකව තීරණාත්මක කාරණය වන්නේ, අධිකරණ වෛද්‍ය වාර්තාවේ ස්ථාන හතරකදීම "වධහිංසාව" (Torture) යන වචනය පැහැදිලිවම සහ නිශ්චිතවම සඳහන් කර තිබීමයි. කෙනෙකු වධහිංසාවට හෝ අනිසි සැලකීමට ලක් වූ විට පෙන්නුම් කරන සායනික ලක්ෂණ, සැකකරුගේ වත්මන් තත්ත්වය සමඟ පූර්ණ වශයෙන් ගැලපෙන බව ඉන් තහවුරු කර ඇත.

 

 

මින් ගම්‍ය වන පැහැදිලි සත්‍යය නම්, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණය හෝ බලපෑම යටතේ ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී ඇති CID විමර්ශන කණ්ඩායම විසින් සැකකරුවෙකු වෙත කෲර වධහිංසා පමුණුවා ඇති බව මේ වන විට වෛද්‍ය විද්‍යාත්මකවම ඔප්පු වී හමාර බවයි. විමර්ශනයක් මුවාවෙන් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් මෙලෙස අමු අමුවේ උල්ලංඝනය කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක්කකි.

 

 

ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීම සහ අධිචෝදනා ගොනුකිරීම

මෙය හුදෙක් පරිපාලනමය දුර්වලතාවක් නොව, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය මඟින් වධහිංසාවෙන් මිදීමේ අයිතිය පැහැදිලිවම තහවුරු කර ඇත්තේ මෙලෙසිනි:

 

"කිසිම තැනැත්තෙකු කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය."

 

මෙය ජාතික ආරක්ෂාව හෝ හදිසි තත්ත්වයක් මත වුවද කඩ කළ නොහැකි, පරම (Absolute) මූලික අයිතිවාසිකමකි. රජයේම නිල වෛද්‍ය වාර්තාවකින් පුද්ගලයෙකු කෲර වධහිංසාවන්ට ලක්ව ඇති බවට තහවුරු වී ඇති පසුබිමක, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන රටක ඊළඟ නෛතික පියවර අතිශය පැහැදිලිය.

 

 

අධිකරණ ක්‍රියාවලියට කිසිදු ආකාරයකින් ඇඟිලි නොගසමින්, නිදහස් මාධ්‍යයක් ලෙස ජනතාවට සත්‍ය වාර්තා කිරීමේ පරම අයිතිය මත පිහිටා සිටිමින් අප අවධාරණය කරන්නේ, අදාළ වධහිංසාව සිදුකළ විමර්ශන නිලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණ පවත්වා අධිචෝදනා (Indictments) ගොනු කිරීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මඟහැරිය නොහැකි වගකීමක් බවට පත්ව ඇති බවයි.

 

 

නීතිපතිවරයාට JMO වාර්තාව අභියෝගයට ලක් කළ හැකිද?

දැන් කාගේත් අවධානය යොමු වී ඇත්තේ අද (04) පස්වරු 2.00 ට යළි කැඳවීමට නියමිත නඩු විභාගයේදී නීතිපතිවරයා ගන්නා ස්ථාවරය කෙරෙහිය.

 

 

ශ්‍රී ලංකාවේ නෛතික සම්ප්‍රදාය සහ පූර්වාදර්ශයන්ට අනුව, පොලිස් අත්අඩංගුවේදී සිදුවූ වධහිංසාවක් රජයේම අධිකරණ වෛද්‍ය වාර්තාවකින් පැහැදිලිව තහවුරු වී ඇති කිසිදු අවස්ථාවක, නීතිපතිවරයා එම නිල වාර්තාවට එරෙහිව කටයුතු කර නැත. එබැවින් මෙම තීරණාත්මක අවස්ථාවේදී ද නීතිපතිවරයා කිසිසේත්ම JMO වාර්තාවට අභියෝග කරනු ඇතැයි නෛතිකව හෝ තාර්කිකව අපේක්ෂා කළ නොහැක.

 

 

වධහිංසා පැමිණවීම වැනි බරපතළ අපරාධයකට වෛද්‍ය විද්‍යාත්මකවම ඇඟිල්ල දිගුවී ඇති පොලිස් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයාගේ භූමිකාවට කිසිසේත්ම අනුකූල වන්නේ නැත. නීතිපතිවරයා පෙනී සිටිය යුත්තේ වධකයන් ආරක්ෂා කිරීමට නොව, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙනි. එසේ නොවුණහොත්, එය නීතියේ උත්කෘෂ්ටත්වය පරයා යම් අදෘශ්‍යමාන දේශපාලන නැමියාවන් ඉස්මතු වීමක් ලෙස ඉතිහාසයට එක්වනු නිසැකය.

 

 

වෛද්‍ය විද්‍යාව සහ නීතිය ඉදිරියේ වධහිංසාව නිරුවත් වී ඇති මොහොතක, මෙය හුදෙක් එක් නඩුවක් පමණක් නොව, විමර්ශන මුවාවෙන් ක්‍රියාත්මක වන "වධක කඳවුරු" මානසිකත්වයට එරෙහිව නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. යථාර්ථය හමුවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස සමස්ත සමාජයම දැන් බලා සිටී.

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි