SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රමිතියෙන් තොර 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' (Human Immunoglobulin) සහ

'රිටොක්සිමැබ්' (Rituximab) ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩු විභාගය මේ වන විට එහි අවසන් අදියරෙහි විත්තිවාචකයන්වලින් පසු ලිඛිත ඉදිරිපත්කිරීම් සිදුකිරීමට නියමිතව ඇත.

 

 

1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ රුපියල් ලක්ෂ 1,444ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම යන චෝදනා ඇතුළුව අධිචෝදනා 13ක් යටතේ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව මෙම නඩුව මෙහෙයවනු ලබයි.

 

 

කෙසේ වෙතත්, නඩු විභාගයේ සාක්ෂි සහ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින්ම අධිකරණයට ඉදිරිපත් කරන ලද ලේඛන පදනම් කරගනිමින් විමර්ශනාත්මක ජනමාධ්‍ය වාර්තාවක සහ විත්තිකරුවන්ගේ විත්තිවාචකවල මතු වන කරුණු අනුව, සමස්ත අපරාධ විමර්ශනය මෙහෙයවූ ආකාරය පිළිබඳව බරපතළ විවාදයක් මතු වී තිබේ.

 

 

අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්තකදී චූදිතයන්ගේ වරදකාරිත්වය හෝ නිර්දෝෂීභාවය තීරණය කිරීමේ පරම අධිකාරිය ත්‍රිපුද්ගල මහාධිකරණය සතු වන පසුබිමක, මෙම ලිපිය මගින් අපගේ විමර්ශනාත්මක මාධ්‍යකරණය මගින් පෙන්වාදීමට උත්සහ කරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල විසින් මගහැර ඇති බව කියන ඇතැම් තීරණාත්මක සමාගම් සහ දුරකථන සාක්ෂි සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු විය යුතු බවයි. නඩු විභාගය ගැන දිගින් දිගටම අවදානය යොමුකිරීමේ අපගේ අරමුණ වූයේ මෙහි සැබෑ අපරාධකරුවා හසුකරගත යුතුය යන්නයි. 

 

 

පැමිණිල්ලේ ආඛ්‍යානය සහ විත්තිවාචක හමුවේ මතුවූ ගැටලු

මෙම නඩුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම ප්‍රමුඛ පැමිණිල්ල පාර්ශ්වයෙන් මූලික වශයෙන් තර්ක කරනු ලැබුවේ ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීම සඳහා පදනම් වූ හදිසි ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකා සහ ඊට අදාළ ක්‍රියාවලිය හරහා විත්තිකරුවන් රජයේ මුදල් අවභාවිතයට කුමන්ත්‍රණය කළ බවයි. BBC සිංහල සේවය 2025 ජූනි 20 වැනිදා වාර්තා කළ පරිදි, 2025 ජූනි 11 වැනිදා CIDයට හදිසි ප්‍රකාශයක් ලබා දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද සඳහන් කර තිබුණේ අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ විෂය භාර අමාත්‍යවරයා ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහි සම්පූර්ණ වගකීම දැරිය යුතු බවයි.

 

 

එහෙත්, විත්ති කූඩුවේ සිට කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ විත්තිවාචකය සහ අධිකරණයට ඉදිරිපත් වූ ලේඛන මගින් එම කතිකාවට සෘජු අභියෝගයක් එල්ල විය.

 

2022 මැයි 30 වැනිදා තමන් ඉදිරිපත් කළ කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය දීර්ඝ කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප වී, ඒ වෙනුවට එවකට මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිරීක්ෂණ සහිත නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ (HSEPP) 2022 ජූනි 06 වැනිදා කැබිනට් මණ්ඩලය අනුමත කළ බව භාණ්ඩාගාර ලේකම්වරයාගේ නිල ලිපි මගින් පෙනී යන බව විත්ති පාර්ශ්වය හා අදාළ වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම, අදාළ ජාවාරම පිළිබඳව 2023 ඔක්තෝබර් 11 වැනිදා මාලිගාකන්ද අධිකරණයට මුල්ම B වාර්තාව ගොනු කිරීමට පදනම් වූ පැමිණිල්ල සිදු කළේද කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා බව CID නිලධාරියා මහාධිකරණ හරස් ප්‍රශ්න හමුවේ පිළිගෙන තිබේ.

 

 

මෙවන් පසුබිමක, අදාළ විමර්ශන වාර්තාව පෙන්වා දෙන්නේ CID විමර්ශන නිලධාරියෙකු වන ලක්සිරි අධිකරණයේ සාක්ෂි දෙමින් තමන් විමර්ශන කටයුතු මෙහෙයවූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි බව ප්‍රකාශ කර ඇති බවයි. ඒ අනුව, නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින්ම අධිකරණයට භාර දුන් සමාගම් වාර්තා සහ දුරකථන දත්ත තුළ පවතින ඇතැම් තීරණාත්මක සබඳතා විමර්ශනයෙන් බැහැර වූයේ මන්ද යන්න එම වාර්තාව මගින් දැඩිව ප්‍රශ්න කෙරේ.

 

 

Isolez Biotech Pharma සමාගමේ කොටස් හුවමාරුව සහ ගැනුම් ඇණවුමේ කාලරාමුව

 

මෙම නඩුවේ පළමු චූදිත සුදත් ජානක ප්‍රනාන්දුට අයත් බවට ප්‍රකට 'Isolez Biotech Pharma AG Limited' සමාගමේ නිල කොටස් හිමිකාරිත්ව වාර්තා පරීක්ෂා කිරීමේදී අතිශය වැදගත් කාලරාමුවක් හෙළි වන බව අදාළ වාර්තාව සඳහන් කරයි. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තා (Form 15) අනුව මෙම සමාගම 2016 අගෝස්තු 24 වැනිදා සංස්ථාගත කර ඇත.

 

 

වාර්තාව පෙන්වා දෙන පරිදි, 2022 ඔක්තෝබර් 06 වැනි දින සුදත් ජානක ප්‍රනාන්දු සතුව තිබූ කොටස් 40ක් පවරා දීමත් සමඟ සමාගමේ කොටස්කරුවන් ලෙස අලුතින් දෙදෙනෙකු එක්ව ඇති අතර, ඒ අනුව හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු කොටස් 60ක්ද, තුඩුවගේ මනෝජ් පෙරේරා කොටස් 30ක්ද, තුඩුවගේ මලිත් පෙරේරා කොටස් 10ක්ද වශයෙන් කොටස් හිමිකාරිත්වය බෙදී ගොස් තිබේ. මෙහිදී කොටස් 40%ක හිමිකාරිත්වයක් ලබාගත් තුඩුවගේ මලිත් පෙරේරා සහ තුඩුවගේ මනෝජ් පෙරේරා යන සහෝදරයන් දෙදෙනා හිටපු එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයෙකු වූ බෙවන් පෙරේරාගේ පුත්‍රයන් බවත්, ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන අයගේ සමීප මිතුරන් බවත් අදාළ විමර්ශන වාර්තාව සඳහන් කරයි.

 

[2022.10.06 දින සිදු වූ කොටස් පැවරීම සහ සුදත් ජානක ප්‍රනාන්දු (60), මනෝජ් පෙරේරා (30), මලිත් පෙරේරා (10) යන අය සමාගමේ කොටස්කරුවන් ලෙස සඳහන් වන සමාගම් රෙජිස්ට්‍රාර් වාර්ෂික වාර්තාව]

 

 

වඩාත් අවධානයට ලක්වන කරුණ වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) විසින් ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් (5g-6g) කුප්පි 22,500ක් සඳහා ඒකක මිල ඇමරිකානු ඩොලර් 130.0000 බැගින් වූ ඇමරිකානු ඩොලර් 2,925,000.00ක ගැනුම් ඇණවුම (Purchase Order No. 135759 / Ref: ICL/EOI/P1/174/2022) 'Isolez Biotech Pharma AG' සමාගම වෙත නිකුත් කරනු ලබන්නේ 2023 ජනවාරි 13 වැනි දින වීමයි. එනම්, මෙම දැවැන්ත ගැනුම් ඇණවුම ප්‍රදානය කරන අවස්ථාව වන විට තුඩුවගේ මලිත් පෙරේරා සහ තුඩුවගේ මනෝජ් පෙරේරා යන දෙදෙනාම එම සමාගමේ 40%ක කොටස් හිමියන් ලෙස නිල වශයෙන් සිට ඇත.

 

master_plan_3.jpeg

[සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් 2023.01.13 දින 'Isolez Biotech Pharma AG' වෙත නිකුත් කළ අංක 135759 දරන ගැනුම් ඇණවුමේ (Purchase Order) පිටපත]

 

 

එමෙන්ම, මීට පෙර සභාගත වූ සමාගම් රෙජිස්ට්‍රාර් වාර්තාවලට අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ව්‍යාජ ඖෂධ සැපයීම පිළිබඳව CIDයට පැමිණිලි කිරීමට සමගාමීව 2023 ඔක්තෝබර් 10 වැනි දින තුඩුවගේ මලිත් පෙරේරා සහ තුඩුවගේ මනෝජ් පෙරේරා යන දෙදෙනාම හදිසියේම තම කොටස් සියල්ල නැවත සුදත් ජානක ප්‍රනාන්දු වෙත පවරා සමාගමෙන් ඉවත් වී තිබේ.

 

WHO_meating_4.jpeg

 

ගැනුම් ඇණවුම සහ ව්‍යාජ WOR සහතිකය නිකුත් වූ දිනවල දුරකථන වාර්තා හෙළිදරව්ව

අදාළ විමර්ශන වාර්තාවේ මතු කරන තීරණාත්මකම නිරීක්ෂණය වන්නේ, නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින්ම අධිකරණයට ඉදිරිපත් කරන ලද චූදිතයන්ගේ ඩයලොග් (Dialog) සහ මොබිටෙල් (SLTMOBITEL) දුරකථන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කිරීමේදී හෙළි වූ බව කියන ඇමතුම් රටාවයි. (සටහන: අදාළ නිල දුරකථන වාර්තා සහ ලේඛන අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියාගේ නම 'ශ්‍රීනාත් ගමගේ' ලෙස සඳහන් වේ.)

 

නඩුවේ 6 වැනි චූදිතයා වන එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්තගේ දුරකථන අංකයට (777845831) අදාළව 2023 ජනවාරි 13 වැනි දින — එනම් Isolez සමාගමට ගැනුම් ඇණවුම නිකුත් කළ දිනයේ — සටහන් වී ඇති දුරකථන වාර්තා අනුව, එදින ප.ව. 13:48:48ට එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට අයත් බවට වාර්තාවේ දැක්වෙන දුරකථන අංකයෙන් (777583459) තත්පර 177ක ඇමතුමක් චන්ද්‍රගුප්ත වෙත ලැබී ඇති අතර, ඉන් මිනිත්තු කිහිපයකට පසුව ප.ව. 14:01:02ට ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ ශ්‍රීනාත් ගමගේට අයත් බවට වාර්තාවේ දැක්වෙන දුරකථන අංකයෙන් (711841841) තත්පර 56ක ඇමතුමක් ලේකම්වරයා වෙත ලැබී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

 

master_plan4.jpeg

 

මෙම නඩුවේ ප්‍රධාන චෝදනාවක් වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකය (Waiver of Registration - WOR) ව්‍යාජ ලෙස සකස් කර ඖෂධ භාර දීමයි. එම ප්‍රශ්නගත WOR ලේඛනයේ (අංක: NMRA/FA/WOR/MED/ICL/1/MSD/096/23) දිනය ලෙස සඳහන් වන්නේ 2023 පෙබරවාරි 17 වැනි දිනයයි.

 

master_plan5.jpeg

[2023 පෙබරවාරි 17 දිනැති බව දැක්වෙන, හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කුප්පි 22,500ක් සඳහා වූ ප්‍රශ්නගත NMRA ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතිකයේ (WOR) පිටපත]

 

 

එදිනම, මෙම නඩුවේ පළමු චූදිත වන සුදත් ජානක ප්‍රනාන්දුගේ මොබිටෙල් දුරකථන අංකයට (0713815232) අදාළ ඇමතුම් වාර්තා පිරික්සීමේදී තීරණාත්මක දුරකථන සබඳතා කිහිපයක් සටහන්ව ඇති බව අදාළ වාර්තාව හෙළි කරයි.

ඒ අනුව, ශ්‍රීනාත් ගමගේට අයත් බව දැක්වෙන අංකය (0711841841) සමඟ 2023.02.17 දින පෙ.ව. 10:20:59ට ලැබුණු ඇමතුමක් (තත්පර 214), ප.ව. 13:10:47ට ලබාගත් ඇමතුමක් (තත්පර 31), ප.ව. 13:47:38ට ලබාගත් ඇමතුමක් (තත්පර 10), ප.ව. 14:18:04ට ලැබුණු ඇමතුමක් (තත්පර 45) සහ ප.ව. 15:48:08ට ලබාගත් ඇමතුමක් (තත්පර 368) වශයෙන් අවස්ථා පහකදී සංවාද සිදුව ඇත.

ඊට අමතරව, මනෝජ් පෙරේරාට අයත් බව දැක්වෙන අංකය (0777393894) සමඟ එදිනම පෙ.ව. 11:49:27ට ලබාගත් ඇමතුමක් (තත්පර 239), ප.ව. 14:15:14ට ලැබුණු ඇමතුමක් (තත්පර 46), ප.ව. 14:23:51ට ලැබුණු ඇමතුමක් (තත්පර 50), ප.ව. 15:54:42ට ලැබුණු ඇමතුමක් (තත්පර 606) සහ ප.ව. 19:32:08ට ලැබුණු ඇමතුමක් (තත්පර 345) වශයෙන් දීර්ඝ සංවාද පහක් සිදුව ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

 

master_plan6.jpeg

[2023.02.17 දින පළමු චූදිත සුදත් ජානක ප්‍රනාන්දුගේ (0713815232) SLTMOBITEL දුරකථන වාර්තා]

 

master_plan7.jpeg

[සාගල රත්නායක, ශ්‍රීනාත් ගමගේ, මනෝජ් පෙරේරා සහ සුදත් ජානක ප්‍රනාන්දු යන අයගේ දුරකථන අංක තහවුරු කරන බවට වාර්තාවේ දැක්වෙන තොරතුරු හා ලියාපදිංචි සටහන්]

  master_plan11.jpeg

 

අධිකරණ ස්වාධීනත්වය සහ විමර්ශන යාන්ත්‍රණය හමුවේ ඇති වගකීම

 

අදාළ විමර්ශන වාර්තාවේ කතුවරයා මතු කරන ප්‍රධාන තර්කය වන්නේ, නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින්ම අධිකරණයට ඉදිරිපත් කළ දුරකථන සහ සමාගම් වාර්තා තුළ මෙතරම් පැහැදිලි දත්ත තිබියදී, ඒ පිළිබඳව විමර්ශනය නොකර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සීමිත පිරිසක් පමණක් චූදිතයන් බවට පත් වූයේ කෙසේද යන්නයි.

 

 

වත්මන් රජය හමුවේ ඇති වැදගත්ම ප්‍රතිපත්තිමය වගකීම වන්නේ අධිකරණයේ විභාග වෙමින් පවතින මෙම නඩු කටයුත්තට ඔවුන් නිරන්තරයෙන්ම පවසන පරිදිම කිසිදු ආකාරයකින් ඇඟිලි නොගසා, ස්වාධීන හා යුක්ති යුක්ත අධිකරණ තීන්දුවක් සඳහා පූර්ණ ඉඩකඩ සලසා දීමයි. ඒ අතරම, පසුගිය පාලන සමයේදී සිදු කෙරුණු මූලික විමර්ශන කටයුතුවලදී, මෙම වාර්තාව මගින් පෙන්වා දෙන සමාගම් කොටස් පැවරීම්, ගැනුම් ඇණවුම් නිකුත් කළ දිනවල හා ව්‍යාජ ලේඛන සැකසූ දිනවල හුවමාරු වූ ඉහළ පෙළේ දුරකථන සබඳතා සහ පරිපාලනමය මැදිහත්වීම් නිසි ලෙස පරීක්ෂාවට ලක් වී නොමැති වීම පිළිබඳ නිරීක්ෂනය කර, ඒ පිළිබඳව අපක්ෂපාතීව සොයා බැලීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානයට ලක් විය යුතු කාලීන අවශ්‍යතාවකි.

 

 

මෙම ලිපිය මගින් ඉදිරිපත් කර ඇති සියලු කරුණු හුදෙක් අධිකරණය හමුවේ දැනටමත් ඉදිරිපත් කර ඇති නිල ලේඛන, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ වාර්තා සහ අධිකරණ සාක්ෂි සටහන් පදනම් කරගෙන මහජන අවබෝධය උදෙසා වාර්තා කරන ලද ඒවා වන අතර, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දැනට විභාග වෙමින් පවතින නඩු කටයුත්තට කිසිදු අයුරකින් බලපෑම් කිරීමේ, අගතියක් සිදු කිරීමේ හෝ අධිකරණ තීන්දුව පූර්ව විනිශ්චයකට ලක් කිරීමේ කිසිදු අරමුණක් මෙමගින් අදහස් නොකෙරේ.

 

අධිකරණය විසින් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් සියලු චූදිතයන් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට යටත් වන අතර, මෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් නීත්‍යනුකූල විනිශ්චයක් ලබා දීමේ පරම අධිකාරිය ගරු අධිකරණය සතු බව අවධාරණය කරමු.

 

 

    Right to Reply

    As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

     

    Please submit your responses or clarifications to:
    [This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

    Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     

     

    නවතම ලිපි