SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Jana Gana Mana දේශපාලන සිනමා කියවීම

 

අධිකරණයක් නැතුව, විනිසුරුවරුන් නැතුව මහ පාරේදීම මරණ දඬුවම තීන්දු කරන සමාජයක,

නීතියේ ආධිපත්‍යය යනු හුදු වචනයක් පමණි. 2022 වසරේ තිරගත වූ ඩිජෝ ජෝස් ඇන්තනී (Dijo Jose Antony) අධ්‍යක්ෂණය කළ Jana Gana Mana මලයාලම් චිත්‍රපටයේ උසාවි දර්ශනයේදී, නීතිඥ අරවින්ද් ස්වාමිනාදන් (ප්‍රිත්විරාජ් සුකුමාරන්) අසන එක් ප්‍රබල ප්‍රශ්නයක් මුළු ප්‍රේක්ෂකාගාරයම ගල් ගැසීමට සමත් වෙයි.

 

 

"මහ පාරේ මිනිස්සු හතර දෙනෙක්ව නිරුවත් කරලා, පහර දීලා මරලා දාද්දී ඇයි අපි නිහඬ?"

 

මෙය හුදෙක් සිනමා තිරපිටපතක ලියවුණු ආවේගශීලී දෙබසක් පමණක් නොවේ. ඉන්දියාවේ බිහාර් සහ ජාර්කන්ඩ් වැනි ප්‍රාන්තවල සැබෑවටම සිදු වූ කුරිරු සිදුවීම් පෙළක තිත්ත යථාර්ථයයි. 2019 ජූලි 19 වැනිදා බිහාර් ප්‍රාන්තයේ පිතෞරි ගම්මානයේදී ගවයන් සොරකම් කළා යැයි හුදු සැකය මත මිනිසුන් තිදෙනෙකු ගස් බැඳ පොලුවලින් පහර දී මරා දැමීමත්, 2019 අප්‍රේල් 10 වැනිදා ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ජුර්මු ගෝත්‍රික ගම්මානයේ මියගිය සතෙකුගේ සම ඉවත් කරමින් සිටි අසරණ ගෝත්‍රිකයන් සිව්දෙනෙකුට පැය ගණනක් පහර දී මරණයට පත් කිරීමත් මීට කදිම නිදසුන්ය. සෑම විටම මෙවැනි "මහජන උසාවි" වල ගොදුරු බවට පත්වන්නේ දලිත් (Dalit) සහ ගෝත්‍රික ප්‍රජාවන් වැනි සමාජයේ පීඩිත, අසරණ මිනිසුන් වීම ඛේදවාචකයකි.

 

සැබෑ ලෝකයේ මෙවැනි ම්ලේච්ඡ සිදුවීම් සහ රාජ්‍ය අනුග්‍රහය ලබන "ක්ෂණික ඝාතන" ( පසුපස ඇති අඳුරු දේශපාලනය Jana Gana Mana සිනමාපටය හරහා තියුණු ලෙස ප්‍රශ්න කෙරේ.

 

 

තිරය මත දිගහැරෙන කතාව

කර්ණාටක ප්‍රාන්තයේ රාමනගර මධ්‍යම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක වන සබා මරියම් (මම්තා මෝහන්දාස්) ඉතා කුරිරු ලෙස දූෂණය කර, පුළුස්සා මරා දමා තිබියදී සොයා ගැනේ. ඇය විශ්වවිද්‍යාලය තුළ පවතින කුලවාදයට සහ අසාධාරණයට එරෙහිව හඬ නැගූ ආදරණීය ගුරුවරියකි. ඇගේ මරණයත් සමඟ රට පුරා දැවැන්ත ශිෂ්‍ය අරගලයක් සහ මහජන විරෝධයක් ඇවිළී යයි.

මෙම සිදුවීම විමර්ශනය කිරීම භාර වන්නේ අවංක නමුත් දැඩි පොලිස් නිලධාරියෙකු වන ACP සජ්ජන් කුමාර් (සුරාජ් වෙන්ජාරමූඩු) වෙතය. දැඩි මහජන හා දේශපාලන පීඩනය මැද, සබාගේ ඝාතනයට සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා සජ්ජන් කුමාර්, අපරාධය සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමට රැගෙන ගිය අවස්ථාවේදී ඔවුන් පලා යාමට තැත් කළ බව පවසමින් වෙඩි තබා මරා දමයි.

මුළු රටම සජ්ජන් කුමාර්ව "වීරයෙකු" ලෙස සමරමින්, මල් ඉසිමින් ඔහුට ප්‍රශංසා කරන මොහොතක, මෙම ඝාතන සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක් ගොනු වේ. එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වන්නේ නීතිඥ අරවින්ද් ස්වාමිනාදන් ය. මුලින් මුළු සමාජයේම වෛරයට පාත්‍ර වන අරවින්ද්, අධිකරණය හමුවේ කරුණු එකින් එක දිගහරිමින්, සබාගේ ඝාතනය පිටුපස සිටින සැබෑ බලවතුන් කවුරුන්ද යන්නත්, මැතිවරණ වාසි තකා අහිංසකයන් සිව්දෙනෙකු බිල්ලට දී පොලිසිය රඟපෑ නාටකය කුමක්ද යන්නත් මුළු රටටම හෙළි කරයි.

 

ෂාරිස් මොහොමඩ්ගේ තියුණු තිරපිටපත මත ගොඩනැගුණු Jana Gana Mana, හුදු අධිකරණ නාට්‍යයකින් ඔබ්බට ගොස් සමකාලීන දකුණු ආසියානු දේශපාලන යථාර්ථය පතුරු ගසන ප්‍රබල දේශපාලන අවියකි.

 

'ක්ෂණික යුක්තිය'නම් දේශපාලන උගුල

අපරාධයක් සිදු වූ විට සාමාන්‍ය ජනතාව තුළ ඇතිවන කෝපය, පාලකයන් විසින් තමන්ගේ වාසියට හරවා ගන්නා ආකාරය චිත්‍රපටය මැනවින් පෙන්වා දෙයි. දූෂිත පද්ධතියක සැබෑ වරදකරුවන් ආරක්ෂා කිරීමටත්, එළඹෙන මැතිවරණ ජයග්‍රහණය කිරීමටත් පාලකයන් කරන්නේ සමාජයේ පහළම ස්ථරයේ සිටින අසරණ මිනිසුන් කිහිපදෙනෙකු "අපරාධකරුවන්" ලෙස හංවඩු ගසා ජනතාව ඉදිරියේ මරා දැමීමයි. ජනතාව එම ලේ පිපාසයෙන් සතුටු වී අත්පොළසන් දෙන අතරතුර, සැබෑ ඝාතකයන් නිදැල්ලේ සැරිසරයි.

 

මාධ්‍ය සංදර්ශන සහ "Trend" වන සංවේදීතාව

සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල "Trend" වන සිදුවීම්වලට පමණක් කම්පා වන නූතන පුරවැසියාගේ දෙබිඩි පිළිවෙත මෙහිදී දැඩි විවේචනයට ලක්වේ. මාධ්‍ය විසින් මවන "වීරයන්" සහ "දුෂ්ටයන්" පසුපස අන්ධයන් මෙන් දුවන ජනතාව, සත්‍ය සොයා බැලීමට උත්සාහ නොකරයි. බිහාර් සහ ජාර්කන්ඩ් වැනි ප්‍රදේශවල අසරණ මිනිසුන් මහ පාරේ මරා දමද්දී නිහඬව සිටින සමාජය, තමන්ට රුචි පරිදි නීතිය අතට ගැනීම සාධාරණීකරණය කරන ආකාරය අරවින්ද් ස්වාමිනාදන් ප්‍රශ්න කරයි.

 

අධ්‍යාපනය තුළ සැඟවුණු කුලවාදය සහ ආයතනික මර්දනය

විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන තුළ පවා කුලවාදය, පන්ති භේදය සහ දේශපාලන බලපෑම් ක්‍රියාත්මක වන ආකාරය සබා මරියම්ගේ සහ අරවින්ද්ගේ බිරිඳ වන පද්මාගේ (ශ්‍රී දිව්‍යා) අතීත කතාව හරහා සංවේදීව නිරූපණය කර ඇත. ඉන්දියාවේ සැබෑවටම සිදු වූ රෝහිත් වෙමුලා (Rohith Vemula) වැනි සිසුන්ගේ ඛේදවාචකයන්හි සෙවණැලි මෙම චරිත තුළින් දිස්වේ.

 

 

නීතිය සහ හෘද සාක්ෂිය

ප්‍රිත්විරාජ් සුකුමාරන් සහ සුරාජ් වෙන්ජාරමූඩු යන දෙදෙනාගේ අතිවිශිෂ්ට රංගනය චිත්‍රපටයේ ජීවයයි. පද්ධතියේ ඉත්තෙකු බවට පත්ව සිට පසුව තම වරද වටහා ගන්නා සජ්ජන් කුමාර්ගේ චරිතයත්, නීතියේ සිදුරු තුළින්ම පද්ධතියේ නිරුවත හෙළි කරන අරවින්ද්ගේ චරිතයත් ප්‍රේක්ෂකයාට සිතන්නට බොහෝ දේ ඉතිරි කරයි. ජේක්ස් බෙජෝයිගේ (Jakes Bejoy) පසුබිම් සංගීතය එම දේශපාලන කෝපය තවත් තීව්‍ර කරයි.

     

     

    අද දවසේ තවත් කෙනෙකුට එරෙහිව නීතිය අතට ගැනීම ඔබ අනුමත කරන්නේ නම්, විනිසුරුවරුන් නොමැතිව මහ පාරේ දෙන දඬුවම්වලට ඔබ අත්පොළසන් දෙන්නේ නම්, හෙට දවසේ ඒ අසාධාරණයේ මීළඟ ගොදුර බවට පත්වන්නේ ඔබ හෝ ඔබේ ආදරණීයයන් විය හැකිය. Jana Gana Mana යනු හුදෙක් රසවින්දනය සඳහා නැරඹිය යුතු චිත්‍රපටයක් නොව, අපේම නිහඬතාව දෙස නැවත හැරී බැලීමට බල කරන තියුණු කැඩපතකි.

     

    නවතම ලිපි