SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ගාල්ල ප්‍රදේශයේ 16 හැවිරිදි බාලවයස්කාර දරුවකුට නිරුවත් කර ඉතා සාහසික ලෙස පහරදීමේ සිදුවීමක්

සම්බන්ධයෙන් පැහැදිලි වීඩියෝ සාක්ෂි සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබියදීත්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ බලධාරීන් අපොහොසත් වීම මේ වන විට දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත. මෙම කුරිරු ප්‍රහාරය එල්ල වී ඇත්තේ අදාළ දරුවා තමන් සේවය කළ ස්ථානයෙන් මාසික වැටුප ඉල්ලා සිටි අවස්ථාවේදීය.

 

 

වාර්තා වන ආකාරයට ගාල්ල, දංගෙදර සහ සරෙන්තුකඩේ හන්දිය අතර ඉන්ධන පිරවුම්හල අසල, සියඹලාගහවත්ත ප්‍රදේශයේ බිත්තර ව්‍යාපාරයක නිරත "සුරේෂ්" නැමැත්තෙකු විසින් මෙම අමානුෂික අපරාධය සිදු කර ඇත. දරුවා වැටුප් ඉල්ලූ සැනින්, තම නිවසේ රන් භාණ්ඩ සොරකම් කළ බවට සැකකරු විසින් අසත්‍ය චෝදනා නඟා ඇති අතර, ඉන් අනතුරුව එම වරද බලහත්කාරයෙන් පිළිගන්වා ගැනීමේ අරමුණින් දරුවාගේ ඇඳුම් ගලවා, නිරුවත් කර ඉතා සාහසික ලෙස පහර දී වධහිංසා පමුණුවා තිබේ.

 

මෙම සම්පූර්ණ සිදුවීම ලොවට අනාවරණය වූයේ දේශපාලන ක්‍රියාකාරී වසන්ත මුදලිගේ විසින් අදාළ සාහසික ප්‍රහාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟය.

 WhatsApp_Image_2026-06-04_at_12.11.jpeg

 

මෙම සිදුවීමේ වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ, දෘශ්‍යමාන සාක්ෂි සහිතව මෙවැනි බරපතල අපරාධයක් සමාජය හමුවේ දිගහැරී තිබියදීත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දක්වන මන්දගාමීත්වයයි. කිසියම් පුද්ගලයෙකු තමන්ට අවශ්‍ය පරිදි නීතිය අතට ගෙන, බාලවයස්කරුවෙකුට මෙලෙස දඩුවම් කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල කරන දැඩි ප්‍රහාරයකි.

 

 

පැහැදිලි වීඩියෝ සාක්ෂි තිබියදීත් පොලීසිය වහාම ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන්, සාමාන්‍ය ජනතාව නීතිය සහ පොලීසිය කෙරෙහි තබා ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත. එමෙන්ම, බාලවයස්කාර දරුවෙකු ශ්‍රම සූරාකෑමට ලක්කිරීම, වධහිංසනය සහ ළමා අපයෝජනය යන බරපතල වැරදි මාලාවක් මෙහි ගැබ්ව තිබුණද ජාතික ළමා රක්ෂණ අධිකාරිය ද මෙතෙක් නිසි මැදිහත්වීමක් සිදු කර නොමැති වීම දැඩි විමතියට කරුණකි.

 

 

මෙම අසාධාරණය හමුවේ සිවිල් සමාජය පෙන්වා දෙන්නේ ගැටලුවක් පවතී නම් ඊට නීත්‍යානුකූල පියවරක් ගන්නවා වෙනුවට, මෙලෙස කුඩා දරුවෙකු දඩයම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. නීතිය සැමට සමාන විය යුතු බව අවධාරණය කරන ජනතාව, වහාම අදාළ ආයතන මැදිහත් වී මෙම සාහසික ක්‍රියාව සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන දරුවාට යුක්තිය ඉටුකරන ලෙස දැඩිව ඉල්ලා සිටිති. බාලවයස්කරුවන්ට එරෙහිව සිදුවන මෙවැනි කෘර අපරාධ හමුවේ පොලීසිය තවදුරටත් නිද්‍රාශීලීව පසුවන්නේ නම්, එය සමස්ත නීති පද්ධතියේම බරපතල පිරිහීමක් බව විචාරකයෝ වැඩිදුරටත් අවධාරණය කරති.

 

 

 

 

නවතම ලිපි