SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පහත ස්පාටකස් සාමූහිකය පළකර ඇති ලිපිය හුදෙක් ගෝලීය දේශපාලනය, ඇමරිකානු අධිරාජ්‍යවාදය හෝ මැදපෙරදිග යුධ අර්බුදය පිළිබඳව කෙරෙන තවත් එක් සාම්ප්‍රදායික දේශපාලන විග්‍රහයක් පමණක් නොවේ.

ඊට වඩා බොහෝ සෙයින් ගැඹුරට යන මෙය, ධනවාදී ලෝක පර්යාය විසින් අපගේ දෛනික පුරුදු, පරිභෝජන රටාවන් සහ වඩාත්ම වැදගත් ලෙස අපගේ 'ආශාවන්' (desires) සියුම්ව පාලනය කරන ආකාරය පිළිබඳව කෙරෙන අතිශය තියුණු ස්වයං-විමර්ශනයකි. අප ජීවත් වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ අප කෙතරම් අහිංසකද යන්න ප්‍රශ්න කරන මෙය, සමස්ත පද්ධතියේම පවතින 'අශ්ලීල යටිපැත්ත' (obscene underside) මනාව නිරාවරණය කරයි.

 

 

බොහෝ විට අප සිතන්නේ පවතින අසාධාරණ පද්ධතියට හෝ අධිරාජ්‍යවාදයට අප සම්පූර්ණයෙන්ම විරුද්ධ බවයි. යුද්ධය, මර්දනය සහ අර්බුද අප ප්‍රසිද්ධියේ හෙළා දකිමු. එහෙත්, මෙම ලිපිය හරහා මතු කරන කේන්ද්‍රීය විරුද්ධාභාසය වන්නේ, අප එම පද්ධතියට බාහිරින් විරුද්ධ වන අතරම, අභ්‍යන්තරිකව එම පද්ධතිය විසින්ම නිපදවන ඵලයන් - එනම් විද්‍යා තාක්ෂණික දියුණුව, නවීන පාරිභෝගික භාණ්ඩ, සහ ඊලොන් මස්ක් වැනි චරිත හරහා මවන 'තාක්ෂණික ෆැන්ටසීන්' - අතිශය කෑදරකමින් යුතුව භුක්ති විඳීමට සහ ඒවාට ආශා කිරීමට පෙළඹී සිටින බවයි. වෙනත් වචනවලින් කිවහොත්, අපගේ 'ආශාව' දැනටමත් පවතින්නේ ධනවාදී පද්ධතිය විසින් ගොඩනැගූ රාමුවක් තුළමය.

 

ඒ අනුව, මෙම විග්‍රහය පාඨකයාට අතිශය බලපෑම් සහගතව සිහිපත් කර දෙන බිහිසුණු සත්‍යය නම් මෙයයි: අප කිසිවෙකුත් මෙම ගෝලීය අර්බුදයේ හෝ යුධවාදයේ හුදු 'නිරීක්ෂකයින්' හෝ 'වින්දිතයින්' පමණක් නොවේ. පද්ධතියේ සුඛෝපභෝගී සහ සුවපහසු ෆැන්ටසිය අප වෙනුවෙන් නඩත්තු කිරීම සඳහා, වෙනත් කොතැනක හෝ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු යුද්ධය, කොල්ලකෑම සහ විනාශය කෙරෙහි අප ද වක්‍රාකාරයෙන් වගකිව යුතුය. අප පද්ධතිය ප්‍රතිනිෂ්පාදනය කරන්නේ අපගේ දේශපාලන මතවාද වලින් පමණක් නොව, අපගේ දෛනික භාවිතාවන් සහ ලිබිඩෝමය ආයෝජනයන් (libidinal investments) හරහාය. ඒ අර්ථයෙන් ගත් කල, අප සියලු දෙනාම මෙම ගෝලීය ප්‍රචණ්ඩත්වයේ සහ පාලක ෆැන්ටසියේ පැවැත්ම තහවුරු කරන රහසිගත 'සහ-සම්බන්ධිකයින්' (co-conspirators) බවට පත්වී හමාරය.

 

මෙය හුදෙක් ඇමරිකාවට පමණක් සීමා වූ තත්වයක් නොවේ. ඩුබායි වැනි රටක විනාශය හරහා ලංකාවට ආයෝජන ගලා එනු ඇතැයි අපේක්ෂා කරන ලාංකීය පුරවැසියාගේ මනෝභාවය තුළද ක්‍රියාත්මක වන්නේ මෙම අශ්ලීල තර්කනයම වේ. "අනෙකාගේ විනාශය, මගේ අවස්ථාවයි" යන ඛේදජනක සූත්‍රය අපගේම 'ප්‍රමෝදය' (jouissance) සමඟ බද්ධ වී ඇති ආකාරය මෙම ලිපියෙන් ලිහා දක්වයි.

 

එබැවින්, මෙම ලිපිය කියවීම යනු පිටතින් පැමිණෙන සතුරෙකු හඳුනාගැනීමට වඩා, අප තුළම සැඟවී සිටින, පද්ධතියට සහයෝගය දක්වන ඒ දෘෂ්ටිවාදී 'ආත්මය' (subject) මුහුණට මුහුණ මුණගැසීමකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය පිළිබඳව අප මෙතෙක් ගොඩනඟාගෙන තිබූ සුරංගනා කතා (symbolic fictions) සුණු විසුණු කරමින්, යථාර්ථයේ නිරුවත සහ ඊට අප දක්වන නොදැනුවත් සහභාගීත්වය ප්‍රශ්න කරන ගැඹුරු බුද්ධිමය කැරැල්ලක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය: (5 කොටස);

අනෙකාගේ විනාශය, මගේ අවස්ථාවයි: ප්‍රජාතන්ත්‍රවාදයේ අශ්ලීල යටිපැත්ත - (ස්පාටකස් ලිපි)

 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ලිපි මාලාවේ 5 කොටස වන මෙම ලිපිය සඳහා පදනම් වන්නේ මේ වන විට ඇති වී ඇති යුධ තත්වයයි.

මෙම ලිපිය යුධ තත්වය සහ ජාත්‍යන්තර දේශපාලනයට අදාලව පමණක් නොව ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වයට අදාලව ද කියවාගත හැකිය.

 

 

ඇමරිකාවේ පැනනැගී ඇති “ජනතා උද්ඝෝෂණ හේතුවෙන් බොහෝ වාමාංශිකයින් උද්දීපනය වී ඇත. එම ජනතා උද්ඝෝෂණ වල අඩංගු ප්‍රධානතම සටන් පාඨය වන්නේ “No kings” යන්නයි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා උල්ලංඝනය කරමින් ට්‍රම්ප් රජෙකු ලෙස ක්‍රියා කරන බවයි. ලිබරල් සහ වාමාංශික ස්ථාවර වල සිට අදහස් දක්වන බොහෝ දෙනෙකුට අනුව ඇමරිකානු “ජනතාව” ට්‍රම්ප් හට රැවටී ඇත. ඔහු “ජනතාවට දුන් පොරොන්දු සහ ඔහු විසින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති කඩකර ඇත.

 

 

මිනිසුන් විරෝධතාවල නිරත වන්නේ රජයේ ප්‍රතිපත්තිය වැරදී ගොස් ඇති බැවින්ය යන්න ලිබරල් කියවීමයි. වාමාංශික සිතීම පවතිනුයේ ද ඒ ආසන්නයේය. නමුත් අපට අනුව, මිනිසුන් විරෝධතාවල නිරත වන්නේ පද්ධතියට වලංගුභාවයක් (legitimacy) ලබා දුන් සංකේතීය ප්‍රබන්ධය (symbolic fiction) බිඳ වැටෙමින් පවතින බැවිනි (නැවත යුද්ධ නොකරන බවට සපත කරමින් බලයට පැමිණි ට්‍රම්ප් හට යුධවාදියෙකු වීමට සිදුවන්නේ ඇයි ද යන්නත්, කැනඩාව, මෙක්සිකෝව, පැනමාව මෙන්ම ග්‍රීන්ලන්තය එක් කරමින් මහා උතුරු ඇමරිකාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඇයි ද යන්න පිළිබඳවත් මින් පෙර විශ්ලේෂණය කර ඇති බැවින් මෙහි ඒ පිළිබඳව නැවත ලිවීමට අවශ්‍ය නොවේ).

 

ඒ අනුව මෙම විරෝධතා මගින් තවදුරටත් තහවුරු වන්නේ ‘දෘෂ්ටිවාදයයි’ (ideology). එනම්, ඒවායින් පෙන්නුම් කරන්නේ පාලක ෆැන්ටසිය (ruling fantasy) තවදුරටත් සුමටව ක්‍රියාත්මක නොවන බවයි. මෙහිදී උද්ඝෝෂණ වල නිරත ඇමරිකානු ජනතාව උපකල්පනය කරනුයේ පද්ධතිය මූලික වශයෙන් නිවැරදි බවත්, සිදුව ඇත්තේ කුමන හෝ තාක්ෂණික හෝ පරිපාලනමය වැරැද්දක් පමණක් බවත්ය. එබැවින් (ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා සියලු දෙනාට අනුව) එය “අලුත්වැඩියා” කළ හැකිය.

 

සමාජයක් එකට බැඳ තබා ගැනීමටත්, මිනිසුන් නීතියට අවනත වීමටත් අපට යම්කිසි “ප්‍රබන්ධයක්” හෝ “කතන්දරයක්” අවශ්‍ය වේ (උදාහරණයක් ලෙස ඇමරිකාවට අදාලව නම් “අපේ රට ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවා වේ” යන්න සැලකිය හැකිය) ඇමරිකාවට අදාලව මේ වන විට එම සංකේතීය ප්‍රබන්ධය බිඳ වැටී ඇත. එසේ නොමැතිව මෙම විරෝධතාවලින් පෙන්නුම් කරනුයේ ‘දෘෂ්ටිවාදය’ අවසන් වී ඇති බව නොවේ. ඒ වෙනුවට, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සමෘද්ධිය සහ සදාචාරාත්මක නිර්දෝෂීභාවය වැනි ප්‍රමුඛ ඇමරිකානු ෆැන්ටසීන්ට තමන් සතු ප්‍රචණ්ඩකාරී යටිපැත්ත තවදුරටත් තමන් තුළම උකහා ගැනීමට නොහැකි වී ඇති බවයි.

 

සැබවින්ම දෘෂ්ටිවාදය වඩාත් තදින් ක්‍රියාත්මක වන්නේ පද්ධතියේ පරස්පරතා වසා ගැනීමට එය අසමත් වන මෙවැනි ‘අර්බුදකාරී’ අවස්ථාවලදීය.

 

 

ධනවාදය තුල ‘පාලක ෆැන්ටසිය’ යනු සමාජය තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය පවතින බවට අප පවත්වාගෙන යන මායාවයි. “No Kings” (රජවරුන් එපා) යන සටන් පාඨයෙන් කියවෙන්නේ, පාලකයා ‘මහා අනෙකාගේ’ (the big Other) නීතිමය සීමාවන් ඉක්මවා ගොස් ඇති බවත්, එමගින් ෆැන්ටසිය බිඳ වැටී ඇති බවත්ය (‘මහා අනෙකා’ යනු අධිකාරිය, නීත්‍යානුකූලභාවය, නීතිය සහ ජාතික අර්ථය නියෝජනය කරන සංකේතීය ස්ථානයයි; මේ පිළිබඳව ලිපියේ ඉදිරියේදී තවත් විස්තර කෙරේ). මෙහිදී ඉරානය සමඟ යුද්ධය යනු හුදු ප්‍රතිපත්තිමය කාරණාවක් නොව, පද්ධතියේ පවතින අභ්‍යන්තර ‘ප්‍රතීඝතාවය’ (antagonism) පුපුරා ගිය අවස්ථාවකි. ‘ෆැන්ටසියට’ තවදුරටත් යුද්ධයේ ප්‍රචණ්ඩත්වය සහ “ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්”එකට ගැටගසා තැබිය නොහැක. එනම්, ‘යථ’ (the REAL) ‘රෝග ලක්ෂණයක්’ (symptom) ලෙසින් ඉස්මතු වේ.

 

 

එබැවින් මෙම විරෝධතා යනු ‘රෝග ලක්ෂණයක්’ ලෙස වටහාගත හැකිය. එනම්, “අපි නිදහසේ ආරක්ෂකයන් වෙමු” යන්න සහ “අපි තවත් යුද්ධයක් දියත් කරමින් හෝ ඊට අනුබල දෙමින් සිටිමු” යන්න අතර පවතින පරස්පරය, සමාජ ෆැන්ටසිය තුළ තවදුරටත් බාධාවකින් තොරව සමථයකට පත් කළ නොහැකි අවස්ථාවකදී සිදුවන ප්‍රසිද්ධ පිපිරීමක් ලෙසය. මෑතකාලීන විරෝධතා පිළිබඳ වාර්තා මගින් එම උද්ඝෝෂණ ට්‍රම්ප්ගේ පාලන විලාසයට පමණක් නොව ඉරාන යුද්ධයටද සෘජුවම සම්බන්ධ කරයි. මෙය හුදු ප්‍රතිපත්තිමය එකඟ නොවීමකට වඩා “දෘෂ්ටිවාදී සුජාතකරණය” පිළිබඳ අර්බුදයක් ලෙස කියවිය හැක්කේ හරියටම එම හේතුව නිසාය. ‘දෘෂ්ටිවාදී ෆැන්ටසිය’ මගින් සිදු කරන්නේ පද්ධතියේ පවතින හිස්තැන් වසා දැමීමයි. නමුත් යුද්ධය වැනි තීරණාත්මක මොහොතකදී එම ‘දෘෂ්ටිවාදී ෆැන්ටසියට’ තවදුරටත් එම යථාර්ථයේ හිඩැස් වසා තැබිය නොහැක. එවිට ජනතාව තුළ ‘දෘෂ්ටිවාදී සුජාතකරණය’ කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටේ.

 

මිනිසුන් විශාල වශයෙන් වීදි බැස විරෝධතාවල නිරත වන විට පැහැදිලිවම පෙනෙන්නට ගන්නේ, පද්ධතිය සතු සුසංයෝගී බව පිළිබඳ සංසක්තිය අසාර්ථක වෙමින් පවතින බවයි. එය, ප්‍රජාතන්ත්‍රවාදී, සාමය අපේක්ෂා කරන සහ ශිෂ්ටාචාරාත්මක ලෙස පෙනී සිටින එම පද්ධතියම, දැන් යුද්ධය, බලහත්කාරය සහ විධායක අත්තනෝමතිකත්වය සමඟ ද සම්බන්ධ වී ඇත. එම පරස්පරතාවය තවදුරටත් සම්පූර්ණයෙන්ම වසා තැබිය නොහැක. එනම්, ඒවා ‘මහා අනෙකා’තුළ ඇති වූ පැල්මක්/පිපිරුමක් පිළිබඳ සලකුණකි.

 

‘මහා අනෙකා’ යනු සැබවින්ම පවතින පුද්ගලයෙකු හෝ යමක් නොවේ. එය අප සියලු දෙනාම එකඟ වන සමාජ නීති, භාෂාව සහ ආයතන පද්ධතියයි. ‘සංකේත රටාව’ කථා කරන බවක්, බලය පවරන බවක් සහ අර්ථය සහතික කරන බවක් පෙනෙන්නට තිබෙන කේන්ද්‍රස්ථානය හෙවත් ස්ථානය ‘මහා අනෙකා’ වේ. එය සාමාන්‍යයෙන් භෞතික පුද්ගලයෙකු නොවේ. ඒ වෙනුවට, එය පූර්ව උපකල්පිත අධිකාරියක් ලෙස පවතින සංකේතීය පර්යායයි. එනම්, අප පවසන සහ කරන දේ ‘දන්නා’, වාර්තා කරන, විනිශ්චය කරන හෝ වලංගු කරන ස්ථානයයි. එබැවින් ලකාන්ගේ ‘මහා අනෙකා’ යනු ඇමතීම, නීතිය සහ සහතිකය ලෙස ක්‍රියා කරන ‘සංකේත රටාවයි’.

 

එවිට, එම පද්ධතියේ පවතින අභ්‍යන්තර පරස්පරතා (ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිමින් යුද්ධ කිරීම) මිනිසුන්ට පැහැදිලිව පෙනෙන්නට ගන්නා විට, ‘මහා අනෙකාගේ’ විශ්වාසනීයත්වය පළුදු වේ. ‘මහා අනෙකා’ තුළ ඇති වන “පැල්මක්” ලෙස හැඳින්වෙන්නේ එම තත්වයයි.

 

‘දෘෂ්ටිවාදය’ සැමවිටම උත්සාහ කරන්නේ සියල්ල සාමකාමීව සහ පිළිවෙලකට පවතින බව පෙන්වීමටය. නමුත් මෙවැනි දැවැන්ත විරෝධතා මගින් එම “පිළිවෙල” බිඳ වැටී ඇති බවත්, පද්ධතියට තවදුරටත් තමන්ගේ පරස්පරතා වසාගත නොහැකි බවත් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වේ (සුසංයෝගී බව අසාර්ථක වීම). ඒ කෙසේ නමුත් විරෝධතාවය පවතින්නේ තවමත් ‘දෘෂ්ටිවාදය’ තුළමය (ඉන් පිටත යම් ‘කතිකාවක්’ වේ නම් ඒ ඉතා සුළු වශයෙනි). එය හුදෙක් දෘෂ්ටිවාදයෙන් පිටත පවතින්නක් නොවේ. එනම්, අතිශය බහුතර විරෝධතාකරුවන් ‘සංකේත රටාව’ (symbolic order) ඒ අයුරින්ම ප්‍රතික්ෂේප නොකරති. ඔවුන් බොහෝ විට කරන්නේ එම පද්ධතිය තුළම පවතින වෙනත් ‘ස්වාමි හැඟවුම්කාරක’ (master-signifier) වෙත ආයාචනා කිරීමයි. උදාහරණ ලෙස “ප්‍රජාතන්ත්‍රවාදය,” “සාමය,” “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,” “අයිතිවාසිකම්,” “රජවරුන් එපා” වැනි දෑ දැක්විය හැකිය. විරෝධතාකරුවන් “ප්‍රජාතන්ත්‍රවාදය” හෝ “අයිතිවාසිකම්” වැනි වචන භාවිතා කරන විට, ඔවුන් තවමත් පද්ධතියේ පවතින භාෂාව සහ සාරධර්ම මත පදනම් වේ. සැබෑ ‘වෙනසක්’ යනු පවතින වචන පාවිච්චි කිරීම නොව, එම වචනවලට පවතින අර්ථයම වෙනස් කිරීමයි.

 

මෙයින් අදහස් වන්නේ විරෝධතාවය යනු තවමත් ‘මහා අනෙකා’ ලවා ඔහුගේම නිල පොරොන්දු ඉටු කරවා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි. විරෝධතා යනු දේශපාලනික අර්ථයෙන් දැනටමත් වැදගත් පියවරක් වුව ද (ලංකාවේ ගෝල්ෆේස් අරගලය මෙන්ම), එය තවමත් ‘ෆැන්ටසි-ව්‍යුහයෙන්’ පූර්ණ ලෙස මිදීමක් හෝ බිඳවැටීමක් නොවේ (කෙසේ වෙතත් මිනිසුන් විරෝධතා වලට පැමිණීම දේශපාලනික වශයෙන් යහපත් තත්වයකි).

 

මෙම වර්ගයේ විරෝධතාවයක් ලැකාන් විසින් හඳුන්වන්නේ ‘හිස්ටීරික කතිකාව’ ලෙසයි (hysteric’s discourse). මෙහිදී ‘ආත්මය’ (ප්‍රතිරෝධය දක්වන්නා) ‘ස්වාමියාගෙන්’ (ආණ්ඩුවෙන්) ප්‍රශ්න කරන්නේ “ඇයි ඔබ මාව මෙසේ පාලනය කරන්නේ? ඔබ පවසන සාධාරණය කොහේද?” යනුවෙනි. මෙය ස්වාමියාට අභියෝග කළත්, එය අවසානයේදී පාලනය කිරීමට ‘සාධාරණ ස්වාමියෙකු’ ඉල්ලා සිටීමකි.

 

විරෝධතාකරුවන් සිතන්නේ පද්ධතියේ ඇති වැරදි නිවැරදි කළහොත් (උදා: ට්‍රම්ප් ඉවත් කළහොත් හෝ යුද්ධය නැවැත්වුවහොත්) පද්ධතිය නැවත සුමටව ක්‍රියා කරනු ඇති බවයි. මෙය ‘ෆැන්ටසියකි’. මන්ද, පද්ධතියේ පවතින මූලික ‘අඩුව’ (lack) හෝ ‘ප්‍රතීඝතාවය’ (antagonism) කිසිදු ප්‍රතිසංස්කරණයකින් සම්පූර්ණයෙන් මැකී නොයන බැවිනි (ෆැන්ටසි-ව්‍යුහය පවත්වා ගැනීම).

 

විරෝධය සහ අපසහායිකත්වය එකට පැවතිය හැක්කේ මේ නිසාය. ‘ආත්මය’ (subject) යුද්ධයට විරුද්ධ විය හැකි අතරම, පරිභෝජනය, මාධ්‍ය වින්දනය, තාක්ෂණික ෆැන්ටසීන් සහ ජාතික අනන්‍යතාවය වැනි එකම සමාජ ක්ෂේත්‍රය තුළ තවදුරටත් ගිලී සිටිය හැකිය.‘ආත්මය’ යනු දෙකඩ වූවකි (split). ‘දෘෂ්ටිවාදය’ ක්‍රියාත්මක වන්නේ එම බෙදීම නොතකා නොව, හරියටම එම බෙදීම හරහාමය. මිනිසුන්ට පවතින පද්ධතියේ එක් කොටසකට අවංකවම විරුද්ධ විය හැකි නමුත්, ආරක්ෂාව, සමෘද්ධිය, සංවර්ධනය, සහ ඒ තුල තම අනන්‍යතාවය තහවුරු වීම වැනි එහි පුළුල් පදනම් මත තවමත් යැපීමට සිදු වේ.

 

මේ තත්වය තවදුරටත් මෙසේ පැහැදිලි කල හැකිය:

‘දෘෂ්ටිවාදය’ යනු අප ලෝකය දෙස බලන “වැරදි වැටහීමක්” නොව, ‘යථාර්ථය’ භාරගැනීමට අපට සහය වන (යථාර්ථයේ හිදැස් වසන) රාමුවකි. ප්‍රධාන වශයෙන්ම, ‘දෘෂ්ටිවාදය’ යනු ‘ව්‍යාජ විඥානයක්’ (false consciousness) නොවේ (මාක්ස්ට අනුව එය ‘ව්‍යාජ විඥානයකි’. නමුත්, මාක්ස් ඔහුගේ පාරිභෝගික භාණ්ඩ අර්චනකාමය පිළිබඳව විග්‍රහය තුල මේ සරලකරණය ඉක්මවයි). එය ක්‍රියා කරන්නේ ආත්මයන් විසින් නීතිය, ‘ප්‍රමෝදය’ (Jouissance) සහ සමාජ ලෝකය සමඟ පවත්වන සබඳතාවය හැඩගස්වන ව්‍යුහයක්’ ලෙසිනි. උදාහරණයක් ලෙස, ධනවාදය සූරාකෑමක් බව මිනිසුන් දනිති (“මම” දන්නෙමි); ඔවුන් (“මම”) තවදුරටත් එම පද්ධතිය තුළම ක්‍රියා කරන්නේ එය ඔවුන්ගේ ජීවමාන යථාර්ථය සංවිධානය කරන බැවිනි (දෘෂ්ටිවාදය යනු ඔබ විශ්වාස කරන දේ නොවන බව ඔබට වැටහෙන විට – එය ඔබ නොසිතමින් කරන දෙයයි/දේවල්). එම ජීවමාන ‘යථාර්තය’ දරා සිටිනුයේ ‘ෆැන්ටසිය’ මගිනි. ඔවුනට අනුව, එය සමස්තයක් ලෙස ගත් කල නිවැරදි දිශානතියයි. ‘ප්‍රමෝදය’ සංවිධානය වීම තුල ‘දෘෂ්ටිවාදය’ අපට පවසන්නේ අප සතුටු විය යුත්තේ කෙසේද සහ අප වෛර කළ යුත්තේ කාටද යන්නයි. එය අපගේ එදිනෙදා චර්යාවන් පිටුපස ඇති රහසිගත තර්කනයයි.

 

‘යථාර්තය’ වෙතට ‘ආත්මයන්ගේ’ සජීවී සම්බන්ධය සංවිධානය කරනුයේ ‘දෘෂ්ටිවාදය’ විසිනි. එවිට ෆැන්ටසිය යනු දෘෂ්ටිවාදයේ ආධාරකයයි.

 

‘යථාර්තය’ “ස්වභාවික” නොවන අතර එය ගොඩනැංවීමකි. දරුවෙකු උපත ලබන්නේ දැනටමත් පවතින භාෂාවක්, නීති පද්ධතියක් සහ සමාජ ප්‍රතිමාන සහිත සමාජ ව්‍යුහයක් තුළටය. අප “යථාර්ථය” ලෙස හඳුන්වන්නේ එම සංකේතීය ව්‍යුහයයි. එය “ස්වභාවික සත්‍යයක්” නොව, මිනිසුන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය (inter-subjective belief) මත පදනම් වූවකි. ඉන් පසුව එය තවදුරටත් පවත්වාගෙන යාමට එතැන් සිට එම ඉපදුන දරුවා ද ඉතා සුළු වශයෙන් හෝ දායක වේ. අද දවසේ බොහෝ දෙනෙකු ‘යථාර්තය’ “ස්වභාවික” ලෙස භාරගෙන ඇතත් එය එසේ භාරනොගෙන වෙනස් කිරීම සඳහා මිනිසුන් සාමුහිකව ඉදිරිපත් වූ අවස්ථා අතීතයේ ඕනෑ තරම් ඇත.

 

ලංකාවට අදාලව සැලකුවහොත්, 1818 කැරැල්ල යනු එතෙක් පැවති ‘යථාර්තය’ බලහත්කාරී ලෙස වෙනස් කිරීම සිදු කරමින් සිටි ආක්‍රමණික බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටීම ලෙස හඳුනාගත හැකිය. නමුත් 1848 කැරැල්ල යනු බ්‍රිතාන්‍යයන්ගේ ආධිපත්‍ය තුල ගොඩනැගුන යථාර්තය භාරගනිමින් ඒ තුල ඉල්ලීම් සහ ප්‍රතික්ෂේප කිරීම් මුල්කරගෙන උද්ගත වූ කැරැල්ලකි.

 

1818 කැරැල්ල “සැබෑ දේශපාලන ක්‍රියාවක්” ලෙස හැඳින්විය හැකිය. එය පද්ධතිය ඇතුළත සිට සහන ඉල්ලීමක් නොව, පවතින පද්ධතියේ (බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ) මූලික පදනමම ප්‍රතික්ෂේප කිරීමක් බැවිනි. ඉන් වෙනස්ව 1848 කැරැල්ල යනු බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනැගූ නව ‘සංකේත රටාව’ (බදු ක්‍රමය, නීතිය ඇතුළු…) පිළිගනිමින්, ඒ තුළ පවතින “අසාධාරණයන්ට” එරෙහි වීමකි (“යුක්තිය” පැතීම). එම තත්වය හැඳින්විය හැක්කේ “ප්‍රතිරෝධය” (resistance within the system) ලෙස මිස පද්ධතිය පෙරළා දැමීමට ගත් උත්සාහයක් ලෙස නොවේ. එනම්, ‘ස්වාමියා’ (බ්‍රිතාන්‍ය පාලනය) පවතින බව පිළිගනිමින් ඔහුගෙන් “සාධාරණත්වය” ඉල්ලා සිටීමකි. නමුත් දැන් කෙනෙකුට පැවසිය හැක්කේ කැරැල්ල තුල “උඩරට ස්වෛරීත්වය” නැවත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව තිබූ බවය. එය අරගලයේ කේන්ද්‍රීය හේතුව වුව ද 1848 කැරැල්ලේ ආරම්භය සනිටුහන් වන්නේ බදු සහ මාර්ග රාජකාරිවලට එරෙහි පෙත්සම් ඉදිරිපත් කිරීමෙනි. දහස් සංඛ්‍යාත පිරිසක් මහනුවර කච්චේරිය අසලට රැස්වීමෙන් අනතුරුව එය ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය. එබැවින්, 1848 කැරැල්ල යනු හුදෙක් යටත් විජිත පර්යාය පිළිගැනීමක්ම ලෙස නොව, එම යටත් විජිත ‘සංකේතීය පර්යාය’ (colonial symbolic order) තුළම පැනනැගුණු, පෙත්සම්, බදු සහ ස්වෛරීත්වය පිළිබඳ ගැටලු හරහා එහි පවතින ප්‍රතීඝතාවන් (antagonisms) ප්‍රකාශයට පත් කළ කැරැල්ලක් ලෙස කියවා ගැනීම වඩාත් නිවැරදිය (දෘෂ්ටිවාදය යනු අප ලෝකය “දකින” ආකාරය පමණක් නොව, අප ලෝකය තුළ “හැසිරෙන” ආකාරය – praxis තීරණය කරන පද්ධතියයි).

 

1818 දී උත්සාහ කළේ සංස්ථාපනය වෙමින් තිබූ ‘සංකේත රටාව’ සහ ‘දෘෂ්ටිවාදී රාමුව’ ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහි වීමටය. 1848 කැරලිකරුවන් ඒ වන විටත් බ්‍රිතාන්‍ය දෘෂ්ටිවාදය තුළ සිරවී සිටි අතර, 1848 කැරැල්ල, එයට වෙනස්ව, යටත්විජිත පාලනය විසින් ගොඩනඟන ලද සමාජ-ආර්ථික යථාර්ථය තුළ මතු වූ විරුද්ධාභාසයන් (බදු, රාජකාරි, ඉඩම් අහිමිවීම, සහ ආධිපත්‍යයේ නීතිමය ආකෘති) මගින් පුපුරා ගිය කැරැල්ලකි. එය යටත්විජිත යථාර්ථය සරලව භාරගැනීමක් නොවූ නමුත් ඒ යථාර්ථය තුළින්ම එහි අභ්‍යන්තර විරුද්ධාභාසය පෙනී යන මොහොතකි.

 

 

“ආශා කරන්නේ කෙසේද” යන්න තීරණය කරනුයේ ‘ෆැන්ටසියයි’. එම ෆැන්ටසි ව්‍යුහය නොමැතිනම් ආත්මයට සමාජ යථාර්ථය අර්ථවත් ලෙස දරා ගැනීම අපහසු වන අතර, ‘සංකේතීයකරණයට’ (symbolization) සම්පූර්ණයෙන් නොවැටෙන ‘යථෙහි’ (the Real) ආතතිය වඩා නිරාවරණය වනු ඇත.

 

 

ලංකාවේ පැරණි සිංහල සමාජය උදාහරණයකට ගතහොත් (නැතිනම් පැරණි වැදි සමාජය හෝ), ඒ හා සැසඳීමේදී, අධ්‍යතන ධනවාදය තුල ‘ෆැන්ටසිය’ ක්‍රියාත්මක වන්නේ එම සමාජ ව්‍යුහයන් තුල එම සමාජවල මිනිසුන්ට අදාලව ‘ෆැන්ටසිය’ ක්‍රියාත්මක වූ ආකාරයට නොවේ. එම සමාජවල මිනිසුන් අතර අසමානතාවය අවම වූ අතර සියලු දෙනාගේ ‘ෆැන්ටසීන්’ බොහෝ දුරට එක සමාන විය. ඒ අනුව ආශාවන් ද බොහෝ දුරට සමාන විය. එනම්, තරඟකාරී ලෙස එකිනෙකා පරයමින් හඹා ගොස් අත්පත් කරගත යුතු ‘(ආශාවේ) වස්තූන්’ වර්තමාන අර්ථයෙන් එම සමාජයේ මිනිසුන් හට නොවීය (නමුත් ධනවාදය තුල වස්තුව යනු තරඟකාරිත්වය, සමුච්චයකරණය, පරිභෝජනය තුළින් කීර්තිය, නිමක් නැති නව්‍යතාවය තුලින් වන ‘අර්චන වස්තුවකි’).

 

වර්තමානයේ පවතිනුයේ බ්‍රිතාන්‍ය “ශිෂ්ටත්වයේ” දිගුවක් වන සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙම “ෆැන්ටසිමය ව්‍යුහය” ක්‍රියාත්මක වන්නේ අප ගන්නා තීරණවලට “පිටුපසින් සිටින රහසිගත මෙහෙයවන්නා” ලෙසයි. එනම්, අවධාරනයෙන් පැවසිය යුත්තේ දේශපාලනය යනු හුදෙක් තාර්කික තේරීම් කිරීමක් නොවන බවත්, අපගේ ‘ආශාව’ (desire) සහ ‘ප්‍රමෝදය’ (jouissance) කළමනාකරණය කිරීමක් බවත්ය.

 

ප්‍රජාතන්ත්‍රවාදය තුල අපට නිරන්තරයෙන් බල කරනුයේ අනාගතයේ උදාවීමට නියමිත “සර්ව සම්පූර්ණ සමාජය” පිළිබඳ ෆැන්ටසිය තුල පසුවන ලෙසයි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප සැමවිටම යම් “පරමාදර්ශී” තත්ත්වයක් අපේක්ෂා කරන්නෙමු (උදා: දූෂණයෙන් තොර, දක්ෂයා හට තම දක්ෂතාවය අනුව ඉදිරියට යා හැකි, නිදහස්, සැමට සමාන අවස්ථා ඇති රටක්). නමුත් මෙම පරමාදර්ශී තත්ත්වය ළඟා කර ගැනීමට නොහැකි වන්නේ පද්ධතියේම ඇති ව්‍යුහාත්මක දෝෂයක් නිසා බව පිළිගැනීමට අප අකමැතිය. ඒ වෙනුවට, අප ‘ෆැන්ටසියක්’ ගොඩනගා ගනිමු. එහි ප්‍රතිඵලය වන්නේ “අපගේ දියුණුවට බාධා කරන්නේ අහවල් පිරිසයි” (උදා: දූෂිත දේශපාලඥයන්, වෙනත් ජාතීන්, හෝ බාහිර කුමන්ත්‍රණකරුවන්) යනුවෙන් සතුරෙකු නිර්මාණය කර ගැනීමයි. එය ‘ෆැන්ටසියේම’ කොටසකි. එම “සතුරා” ඉවත් කළහොත් සියල්ල යහපත් වනු ඇතැයි අප විශ්වාස කරන්නේ මෙම ‘ෆැන්ටසිමය ව්‍යුහය’ නිසාය.

 

ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදයේ ද්වි පක්ෂ යාන්ත්‍රනය තුල අප දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් තෝරා ගන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා බලා හෝ ඔවුනට සවන්දී කරන තාර්කික ගණනය කිරීමකින් පමණක් නොවේ. යම් නායකයෙක් අප යටපත් කරගෙන සිටින කෝපය, පළිගැනීමේ ආශාව හෝ ආඩම්බරය (ප්‍රමෝදය) ස්පර්ශ කරන්නේ නම්, අප ඔහුට ඇලුම් කරන්නෙමු (ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම අනුර කුමාර ජයගන්නේ ද එබැවිනි). එම නායකයා අසාර්ථක වන බව පෙනෙද්දී පවා අප ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ, ඔහු අපේ ‘ෆැන්ටසිය’ ජීවත් කරවන බැවිනි (මින් අදහස් වන්නේ ඔහු අසාර්ථක වන බැවින් විපක්ෂ කතිකාව හා අනන්‍ය වන ලෙස වන ප්‍රජාතන්ත්‍රවාදී බල කිරීම පිළිගත යුතු බව නොවේ). දේශපාලන තේරීම යනු ඇත්ත වශයෙන්ම අපේම අභ්‍යන්තර ආශාවන් (ආශාවන් තීරණය කරනුයේ ෆැන්ටසිය මගිනි) බාහිර පුද්ගලයෙකු මත ආරූඪ කිරීමකි (“මාගා” නමැති නව කන්සවේටිව් ව්‍යාපාරය විසින් ගෙනගිය කතිකාව තුල ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගන්නේ මෙසේය). මෙහිදී අපව මෙහෙයවන්නේ ‘දැනුම’ නොව, පද්ධතිය පවත්වාගෙන යාමට අපට ඇති ‘ෆැන්ටසිමය’ අවශ්‍යතාවයයි.

 

මේ තත්වය ඇමරිකාවට අදාලව පවසන්නේ නම්, කෙටියෙන් මෙසේය. මේ වන විට “ඇමරිකානු සිහිනය” බොඳ වී යමින් පවතී. සාමාන්‍යයෙන් ඇමරිකානු පුරවැසියෙකුගේ භාණ්ඩ සහ සේවා පාරිභෝජනය ලංකාවේ පුරවැසියෙකුගේ මෙන් 24 ගුණයක් පමණ වේ. ඇතැම් ක්ෂේස්ත්‍ර වල එය ඊට බොහෝ සෙයින් එපිටට යයි. ලංකාව හා සැසඳීමේදී ලංකාවේ ඒක පුද්ගල අවසාන පාරිභෝජනය ඩොලර් 3,417ක් වන විට ඇමරිකාවේ එය ඩොලර් 70,073කි.

 

ඇමරිකානු රාජ්‍ය 2026 වන විට ඩොලර් ට්‍රිලියන 39ක ණයක් තිබියදීත් ඩොලරය තවදුරටත් ලෝකයේ ප්‍රධාන මුදල් ඒකකය ලෙස පවතින්නේ, එය සැබෑ වටිනාකමක් නිසා නොව, ලෝකය පුරා විසිරී ඇති “සංකේතීය විශ්වාසය” (symbolic belief) නිසාය. ඩොලර් ට්‍රිලියන 39ක ණයක් දරාගෙන සිටින නමුත් තව දුරටත් ඩොලරය ප්‍රමුඛ සංචිත සහ ගනුදෙනු මුදල් ඒකකය ලෙස පවතිනුයේ එබැවිනි. එනම්, ඩොලරය ගෝලීය මූල්‍ය පර්යායේ ‘ස්වාමි හැඟවුම්කාරකය’ (master signifier) ලෙස තවමත් ක්‍රියා කරන බවය. ‘ස්වාමි හැඟවුම්කාරකයක්’ ක්‍රියාත්මක වන්නේ මිනිසුන් සරල මානසික අර්ථයකින් එය අභ්‍යන්තරිකව ‘විශ්වාස කරන’ නිසා නොව; එය ක්‍රියාත්මක වන්නේ ආයතන, ප්‍රායෝගික භාවිතාවන්, රාජ්‍ය බලය, හමුදා ශක්තිය, ගෙවීම් පද්ධති, ණය වෙළඳපොළවල් සහ දෛනික පුනරාවර්තනය මගින් එම හඟවනයට සංකේතීය කාර්යක්ෂමතාවයක් (symbolic efficiency) ලබා දෙන බැවිනි. එය මසා යා කරන (quilts) ක්ෂේත්‍රය වන්නේ: වෙළඳ ගනුදෙනු පියවීම, සංචිත සමුච්චයකරණය, සුරක්ෂිත වත්කම්, ණය නිකුත් කිරීම, අර්බුදකාරී අවස්ථාවල සුරක්ෂිතභාවය සොයා යාම (flight-to-safety), සහ මෙම පර්යාය “ස්වභාවික” හෝ නොවැලැක්විය හැකි දෙයක්ය යන ෆැන්ටසියයි (උදාහරණයකට ලාංකීය සාමාන්‍ය පුරවැසියා පවා මෙම කතිකාව වැළඳගෙන ඇති බව පෙනී යන්නේ ලංකාවට ඩොලර් උපයා ගැනීමේ මාර්ග ඇති බවත්, නිසි තීන්දු තීරණ, කළමනාකරණය නොමැති වීම ප්‍රශ්නය බවත්, එසේ නොමැති නම් ලංකාවට ද “ගොඩ යා” හැකි බව විශ්වාස කරන බැවිනි).

 

 

‘ඇමරිකානු පුරවැසියා’ යනු (අභ්‍යන්තරිකව) ඒකීය හෝ සුසංයෝගී ආත්මයක් (coherent subject) නොවේ. ‘ඇමරිකානු ධනවාදී දෘෂ්ටිවාදී ක්ෂේත්‍රය තුළ සිටින ‘ආත්මයන්’ (subjects), එම පද්ධතියේම ප්‍රතිනිෂ්පාදනය සහ ව්‍යාප්තිය අපේක්ෂා කරන/ආශා කරන ලෙස දෘෂ්ටිවාදීව පරාරෝපනය වී ඇත. එනම්, ඇමරිකානු ධනවාදය විසින් ‘ආශාව’ (desire) සංවිධානය කරනු ලබන්නේ ණය (credit), ‘ප්‍රමෝදය’ (jouissance) සහ කල් දැමූ පියවීම් යන නිශ්චිත පරිපථයක් හරහාය. ඒ අනුව, එම පද්ධතිය තුළ වියදම් කිරීම යන්න ආත්මීයකරණය (subjectivation) වීමේ සාමාන්‍ය ක්‍රමය ලෙස දිස්වේ.

 

 

ඊලන් මස්ක් පමණක් උදාහරණය ලෙස සැලකුව ද ඔහුගේ ප්‍රධාන ව්‍යපෘති වන SpaceX, Neuralink, xAI, Tesla, Inc, Terafab, The Boring Company වැනි ව්‍යාපෘතීන්ට ආදාලව ඇමරිකානු පුරවැසියන් තුල ‘ෆැන්ටසීන්’ ගොඩනැගී ඇත. මේ සියල්ලම “ෆැන්ටසි ආයෝජනයන්” රැගෙන යා හැකි ‘ආශාවේ වස්තූන්’ නිර්මාණය පොරොන්දු වී ඇත. මෙම සමාගම් වල නිල විස්තර කරණයන් තුල පෙනී යන්නේ ඒවා ව්‍යවසායන් පමණක් නොව ශිෂ්ටාචාරාමය පොරොන්දු මාදිලියේ ආඛ්‍යාන (narratives) රැගෙන එන බවයි.

 

එවිට මෙම පර්යාය රඳවා තබන ෆැන්ටසිය කුමක්ද? එය හුදෙක් ඩොලරය කෙරෙහි ඇති විශ්වාසයම පමණක් නොව; ඒ පිටුපස ඇති සැඟවුණු පොරොන්දුව නම්, ‘ප්‍රතීඝතාවය’ නැවත පැමිණීමකින් තොරව නිමක් නැති පරිභෝජනය, ද්‍රවශීලතාවය (liquidity) සහ ණය ප්‍රතිමූල්‍යකරණය (debt rollover) දිගින් දිගටම පවත්වා ගත හැකි බවයි. එවිට ‘යථ’ (the Real) ලෙස අර්ථ ගැන්වෙන්නේ සම්පූර්ණයෙන්ම ‘සංකේතනය’ කර බැහැර කළ නොහැකි එම ‘ප්‍රතීඝතාවයයි’. එනම් අසම සංවර්ධනය, අධිරාජ්‍යවාදී බලහත්කාරය, පාරිසරික සීමාවන්, පන්ති ප්‍රතීඝතාවයන්, නිමක් නොමැති සහ තීර්වතාවයකින් වර්ධනය වන කාලීන අර්බුදයන් යනාදියයි.

 

ඉහතින් සඳහන් කල පරිදි ඇමරිකානු සමාජයේ ‘අඩුව’ (lack) සම්පූර්ණ කිරීම සඳහා පොරොන්දු වන විද්‍යා-තාක්ෂණ විප්ලවය ආඛ්‍යාන දිගින් දිගටම ගොඩනැගෙමින් පවතී.

 

 

‘අඩුව’ පිරවිය හැකි බවට පොරොන්දු වන ‘උත්කෘෂ්ට වස්තූන්’ (sublime objects) සඳහා වන විද්‍යාත්මක ව්‍යාපෘතීන් ඇත්තේ සහ එම ‘අඩුව’ නියෝජනය වන්නේ ප්‍රධාන වශයෙන්ම ඊලන් මස්ක් වැනි “සිලිකන් නිම්න ව්‍යාපාරිකයින්” තුලින්ය. ඒවා සාක්ෂාත් කරගැනීමට නම් ඒ සඳහා අවශ්‍ය ඛනිජ සම්පත්, බලශක්ති සම්පත්, ධන උත්පාදනය සඳහා අවශ්‍ය නිෂ්පාදනය සහ වෙළඳපොල අත්පත් කරගත යුතුය. ඒ අනුව, ප්‍රධාන වශයෙන්ම චීනය පරාජය කල යුතුව ඇත. ඉරානයට පහර දෙන්නේ ඒ සඳහාය.

 

 

ඇමරිකාව විසින් කැනඩාව, පැනමාව, ග්‍රීන්ලන්තය යන රටවල් ආක්‍රමණය කිරීමට සූදානම් වූයේ නැවත යුද්ධ නොකරන බව සපත කරමින් බලයට පැමිණි ට්‍රම්ප් බලයට පැමිණ සුළු කාලයක් තුලය. එසේම ඉරානයට පහරදීමට ඔහුට සිදුවිය. මෙය ට්‍රම්ප්ගේ හුදු පුද්ගල ස්වභාවයක්, එප්ස්ටීන් හෝ ඉලුමිනාට් වැනි සංවිධාන විසින් මහෙයවන තත්වයක් බව බොහෝ දෙනා සිතයි.

 

මේ තත්වය තුල පෙන්නුම්කරනුයේ “ඇමරිකානු සිහිනය” (අපගේ “ඇමරිකානු සිහිනය” ලිපිය කියවන්න. සබැඳිය: https://www.spartacus.lk/14-04/2025/ ) සහ “මහා අනෙකාගේ” බිඳවැටීමයි.එසේ නමුත් මේ තත්වය අදාළ වන්නේ ඇමරිකාවට විතරද? එනම්, ධනවාදී දෘෂ්ටිවාදී ක්ෂේත්‍රය තුළ සිටින ආත්මයන්, එම පද්ධතියේම ප්‍රතිනිෂ්පාදනය සහ ව්‍යාප්තිය කෙරෙහි ආශා කරන ලෙස “දෘෂ්ටිවාදීව පරාරෝපනය වී ඇත්තේ ඇමරිකාවේ පමණද?

 

 

ලැකාන්ට අනුව “ආශාව යනු අනෙකාගේ ආශාවයි” (desire is the desire of the Other). ඉන් අදහස් වන්නේ ‘ආත්මය’ සරලව ධනවාදයට අවශ්‍ය දෙයටම දක්වන හුදු කැමති වීමක් පිළිබඳව පමණක් නොවේ. “ආත්මයේ ආශාව” භාෂාව, අනන්‍යතාවය සහ සංකේතීය ඛණ්ඩාංක හරහා මැදිහත් වන බවයි. මෙහිදී “ඇමරිකානු ආත්මය” ආශා කරන්නේ තමාගේම පෞද්ගලික දෙයකට වඩා, ධනවාදී පද්ධතිය (‘මහා අනෙකා’ යනු හුදු ධනවාදයම නොව භාෂාව, නීතිය, අධිකාරීත්වය, සුජාතකරණය, අනන්‍යතාවයට අදාළ පිළිගැනීම සකස් වන තත්වය, සංකේතීය වගකීම හෝ සහතිකය වැනි තත්වයන් සංවිධානය කරන සංකේතීය ස්ථානයයි. වඩාත් පැහැදිලිව පවසන්නේ නම් ධනවාදී පර්යාය යනු ‘මහා අනෙකාගේ’ සමකාලීන ඓතිහාසික ස්වරූපයක් පමණි. එබැවින් ධනවාදය යනු ‘මහා අනෙකාගේ’ ඓතිහාසික ප්‍රකාශනයකි) එය වෙතින් බලාපොරොත්තු වන පාරිභෝජනය සහ ව්‍යාප්තියටයි (ආශාව සකස් වන්නේ ධනවාදි ‘සංකේත පර්යාය’, “අනන්‍යකරණයේ ව්‍යුහයන්”, සහ සමාජීය වශයෙන් අවසර ලත් ‘ෆැන්ටසීන්’ හරහාය).

 

 

ඒ අනුව, ඇමරිකානු හෝ ගෝලීය ධනවාදී පර්යාය තුළ ජීවත්වන ‘ආත්මය’ ආශා කරන්නේ හුදෙක් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයකට නොව, සංකේත පර්යාය මගින් පිළිගැනීම ලැබෙන, සමාජීය වශයෙන් අනුමත කරන ලද ‘ෆැන්ටසීන්’ හරහා සංවිධානය වන ‘ආශාවකටය’. දැන් ලෝකයේ ඕනෑම කෙළවරක සිටින ‘ආත්මයක්’ ආශා කරන්නේ එකම ‘ෆැන්ටසිමය වස්තූන්’ (උදා: iPhone, මස්ක්ගේ තාක්ෂණය, බටහිර පාරිභෝජන රටාව) කෙරෙහිමය. ලංකාවට අදාලව නම් මෙය පැරණි සිංහල සමාජයේ පැවති දේශීය සංකේතීය පර්යාය බිඳ දමා, මුළු ලෝකයම එකම ‘ධනවාදී මහා අනෙකා’ (capitalist Big Other) යටතට ගෙන ඒමකි.

 

අධ්‍යාපනය, අන්තර්ජාලය ඇතුළු ඩිජිටල් වේධිකා (digital platforms), ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය, සිනමාව ඇතුළු ක්ෂේස්ත්‍රයන් ලෝක ව්‍යාප්ත වීම තුල, එමගින් මෙම ‘ආශාවේ’ ඛණ්ඩාංක ලෝක ව්‍යාප්ත කරනු ලබන නිසා, පාරිභෝගිකවාදී අභිලාෂ එක විශ්වීය ආකාරයක් ගනී (“ආශා කරන්නේ කුමකටද?” සහ “ආශා කරන්නේ කෙසේද?” යන්න පිළිබඳ ඛණ්ඩාංක ලොව පුරා බෙදා හැරීම). එනම්, ගෝලීය ධනවාදී පර්යාය විවිධ සමාජවල ආත්මයන්ගේ ‘ආශාව’ සමාන සංකේතීය දෝරණාවක් තුළ සංවිධානය කරයි. එය තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, ලැකාන්ට අනුව ‘ආශාව’ යනු හුදු “ස්වභාවික අවශ්‍යතාවයක්” (need) නොව, එය ‘භාෂාව’ සහ ‘සංකේත පද්ධතිය’ විසින් සකස් කරන ලද්දකි. නමුත් ලකානියානු අර්ථයෙන් ‘ආශාව’ සතුව ඇත්තේ විශ්වීය ව්‍යුහයකි. එහෙත් ධනවාදයට පෙර මෙන් නොව මේ වන විට ආශාවේ පාරිභෝජනවාදී ඛණ්ඩාංක විශ්වීයකරණය වී ඇත (තවමත් එසේ නොවී ඇත්තේ ඇමසෝන් ගෝත්‍ර වැනි හුදකලා ජන ප්‍රජාවන්ට අදාලව පමණි). එනම්, ගෝලීය ධනවාදය මගින් ආශාව සංවිධානය කරන සංකේතීය වෙළඳපොල (පාරිභෝජනය, සාර්ථකත්වය, නවෝත්පාදනය, ජීවන ශෛලිය) ලෝක ව්‍යාප්ත වී තිබේ. ඒ අනුව ඒ අකාරයේ ‘ආශාව’ ලොවටම පොදු තත්වයක් බවට පත්ව ඇත (මෙම ලිපියේ මුලින් සඳහන් කල පැරණි සිංහල සමාජයේ උදාහරණයට අදාළ කාල වකවානුවේ මෙන් නොවේ). එබැවින් අපගේ ‘දෘෂ්ටිවාදිමය’ සහභාගීත්වය මඟින් පද්ධතිය ප්‍රතිනිෂ්පාදනය වන අතර, ඇමරිකාවට අදාලව සලකන්නේ නම්, එහි අතිශය සංකේන්ද්‍රිත රාජ්‍ය-මිලිටරි-අර්ථික යාන්ත්‍රණ මඟින් එම විරුද්ධාභාසයන් යුද්ධමය සහ අර්බුධමය ආකාර ගනී.

 

අධ්‍යාපනය, නීතිය, වැනි ආයතන පද්ධතීන් මෙන්ම, පුද්ගලික දේපොළ, සැපයුම්, මිලිටරි බලය, මූල්‍ය ආයතන, ශ්‍රම විනය වැනි භෞතික උපකරණ පද්ධතිය පවතින්නේ අප එයට ලබා දෙන දෘෂ්ටිවාදී සහයෝගය නිසාය. අප පද්ධතියට බනින අතරම, පද්ධතිය ලබා දෙන පාරිභෝජන භාණ්ඩ සහ ෆැන්ටසීන් (උදා: ඊලෝන් මස්ක්ගේ තාක්ෂණය) කෙරෙහි දිගින් දිගටම ආශා කරන්නෙමු.

 

ඒ අනුව යුද්ධය යනු මෙම පාරිභෝජන මට්ටම සහ ව්‍යාප්තිය පවත්වාගෙන යාමේ අවසාන සහ අත්‍යවශ්‍ය “අශ්ලීල යටිපැත්ත” (obscene underside) වේ. එනම්, උදාහරණයකට අප භාවිතා කරන අන්තර්ජාලයේ සියලු අධෝ ව්‍යුහයන් මුල් යුගයේ ඇමරිකාව සතුය. එසේම එම තාක්ෂණය ලොවටම දායාද වන්නේ ඇමරිකාව හරහාය. ඊට මූලික වශයෙන්ම පදනම වැටෙනුයේ “තාරකා යුද්ධය හරහාය”. අවශ්‍ය නම් ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුනට පැවසිය හැක්කේ මුළු ලෝකයටම විද්‍යා – තාක්ෂණ භාණ්ඩ සහ සේවා පාරිභෝජනය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේස්ත්‍ර වල ඇස් නිලංකාර කරවන දියුණුව ලබා දීමේ ප්‍රමුඛයා තමන් බවය.

 

ඒ සියල්ල ලෝකය පිළිගෙන ඇත්තනම් ඉදිරියට ද මුළු ලොවටම ගමන් කල යුතු මාර්ගය කියා දෙන නියමුවන් තමන් බව පැවසීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුනට අයිතියක් නොමැතිද?

 

ඉරානයට අදාලව සැලකුව ද ඔවුන් මේ සත්‍ය පිළිගත යුත්තේ ඔවුන් ද එම විද්‍යා-තාක්ෂණ විප්ලවය භාරගන්නා ජාතිකවාදී රාජ්‍යයක් වීම හේතුවෙනි.

 

 

අප ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ වන අතරම, එම අධිරාජ්‍යවාදය (ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්) විසින්ම නිපදවන ‘සංකේතීය වටිනාකම්’ (විද්‍යාව, තාක්ෂණය, අධ්‍යාපන ක්‍රමවේද ඇතුළු සියල්ල) වැළඳ ගන්නෙමු. එවිට අපේ ‘ආශාව’ පවතින්නේ පද්ධතිය තුළමය. එබැවින්, අප පද්ධතියේ ප්‍රතිඵල භුක්ති විඳින තාක්කල්, එම පද්ධතිය රැක ගැනීමට සිදුවන යුද්ධය හෝ මර්ධනය වැනි ‘අශ්ලීල යටිපැත්ත’ කෙරෙහි ද අප වක්‍රව වගකිව යුතුය (ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියා).

 

 

“අශ්ලීල යටිපැත්ත” (obscene underside) යනු රහසිගත දූපතක සිටින එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට (එප්ස්ටීන් කවය හෝ ඉලුමිනටි වැනි…) පමණක් සීමා වූවක් නොවේ. එය විශ්ව විද්‍යාලයේ, පාසලේ, පොලිස් ස්ථානයේ, රජයේ කාර්යාලයේ, මාධ්‍ය වාර්තාකරණයේ සහ අපගේ එදිනෙදා “විශ්වාසයන්” තුළ පවා විසිරී පවතී. පද්ධතිය ක්‍රියාත්මක වීමට නම් අප සියලු දෙනාම යම් මට්ටමකින් මෙම “අශ්ලීල” රහස් ගිවිසුමේ කොටස්කරුවන් විය යුතුය.

 

ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් විමසා සිටිනුයේ ලෝකයටම සියලු අකාරයේ දියුණුව ලබා දෙන්නේ තම කඳවුර නම්, ලෝකය මෙහෙයවීමේ අයිතිය තමන්ට නැතිද? යන ප්‍රශ්නයයි. ඉන් නිරූපණය වන්නේ ‘ස්වාමියාගේ කතිකාවයි’ (discourse of the master). බටහිර බලවතුන් තමන්ව මහා අනෙකාගේ (the big Other) ස්ථානයේ පිහිටුවා ගනිමින් ක්‍රියා කරති. ‘ආශාව’ මැදිහත් කරවනු ලබන්නේ ‘සංකේතීය පර්යාය’, ‘අනෙකාගේ ආශාව’ (“desire is the desire of the Other”), ‘ෆැන්ටසිය’ සහ ‘අඩුව’ (lack) මගිනි. ඇතැම් ආශාවන් තේරුම්ගත හැකි, ආශා කළ හැකි සහ වලංගු (legitimate) බවට පත්වන ක්ෂේත්‍රය ඔවුන් විසින් ව්‍යුහගත කරනු ලබයි. එනම්, ඔවුන් ආශා සංවිධානය වන සංකේතීය ක්ෂේත්‍රය තමන් අත තබා ගනිති (අප යම් දෙයකට ආශා කරන්නේ, අපේ ආශාව හැඩගැසෙන්නේ, ‘අනෙකා’-the Other හෙවත් සමාජය, සංස්කෘතිය සහ නීතිය විසින් අපට ලබාදෙන සංකේතීය පර්යාය තුළයි. බටහිර දෘෂ්ටිවාදය තුල සිදුවනුයේ අප හට “මෙයට ආශා කරන්න” යැයි සෘජුව පැවසීම නොව, යම් යම් දේවලට ආශා කිරීම “ශිෂ්ට” හෝ “දියුණු” දෙයක් ලෙස පෙනෙන පරිදි සමස්ත සමාජ වටපිටාව ව්‍යුහගත කිරීමයි. එබැවින් ‘මහා අනෙකා’ ලෙසින් ඔවුන් පවසා සිටිනුයේ අපගේ ‘නීතිය’ (Law) ඔබ පිළිගත යුතුය” යන්නයි. එබැවින්, පවතින පර්යායට එරෙහිව කෙරෙන ප්‍රතිරෝධයන් පවා බොහෝ විට ක්‍රියාත්මක වන්නේ එම පර්යාය විසින්ම උත්පාදනය කරන ලද වලංගුභාවය, ස්වෛරීභාවය, සංවර්ධනය සහ තාක්ෂණික ප්‍රවීණත්වය වැනි ඛණ්ඩාංක තුළම වේ.

 

ඉරානය වැනි ජාතිකවාදී රාජ්‍යයන් මෙම විද්‍යා තාක්ෂණික විප්ලවය පිළිගන්නා තාක්කල්, ඔවුන් දැනටමත් බටහිර සංකේතීය පර්යාය තුළ සිරවී සිටිති. ඔවුන්ගේ විරෝධය පවතින්නේ පද්ධතියට එරෙහිව නොව, පද්ධතිය තුළ තමන්ට හිමි විය යුතු කොටස ලබා ගැනීම සඳහා (sovereignty) සහ තමන්ටම අදාළ දෘෂ්ටිවාදී සංස්කෘතික අනන්‍යතාවයක් නඩත්තු වීම තුල ඒ සියල්ල සංවිධානය කල යුතුය යන ස්ථාවරය බටහිර විසින් නොපිළිගැනීම තුලය.

 

එබැවින් එම අර්ථය තුල යුද්ධය යනු පද්ධතියේ අසාර්ථකත්වය සහ පද්ධතියේ බාහිර අසම්මතයක් නොව, එහි අභ්‍යන්තර අසම්පූර්ණතාවය කළමනාකරණය කරන රෝග ලක්ෂණාත්මක ස්වරූපයකි. එනම්, යුද්ධය විසින් කළමනාකරණය කරනු ලබන, විස්ථාපනය කරනු ලබන හෝ ආවරණය කරනු ලබන “සම්පූර්ණ අවහිරය”, ‘අඩුව’ හෝ “බේරිය නොහැකි අවුල් ජාලය” කුමක්ද? වෙනත් වචනවලින් කිවහොත්, යුද්ධය යනු හුදෙක් (දේශපාලන) මෙවලමක් පමණක් නොව, පද්ධතිය තුළම පවතින ‘ප්‍රතීඝතාවයක’ (antagonism) ‘රෝග ලක්ෂණයකි’ (symptom). ඇමරිකාව පවසන්නේ නිෂ්පාදනය, භාණ්ඩ සහ සේවා පාරිභෝජන මට්ටම ඉහළ යාමට නම් සම්පත් සහ වෙළඳපොළවල් සෑම අතින්ම උත්කෘෂ්ට තම රාජ්‍ය විසින් පාලනය කළ යුතු බවයි. එම පාලනය සඳහා මිලිටරි යාන්ත්‍රණය (අශ්ලීල අධෝ ව්‍යුහය) අවශ්‍ය වේ. අප සැවොම මෙම ගෝලීය දෘෂ්ටිවාදී ක්ෂේත්‍රය තුළ පරාරෝපණය (alienate) වී සිටින්නෙමු.

 

 

අප පද්ධතියට සහ එහි නිෂ්පාදනවලට ආශා කරන තාක්කල්, එම පද්ධතියේම කොටසක් වන යුද්ධයට සහ අර්බුදයට අප දායක වන්නෙමු. එනම්, අපගේ ආශාවන් සහ දෛනික පුරුදු පද්ධතියේම ප්‍රතිනිෂ්පාදනය තුළ ගැටී ඇත. එනම්, ආශාව දැනටමත් සවිඥානික චේතනාව ඉක්මවා යන ලිබිඩෝමය ආර්ථිකයක් (libidinal economy) තුළ සිරවී තිබේ.

 

 

බටහිර බලවතුන්ට මෙම “පාලක” භූමිකාව හිමි වන්නේ ඔවුන් අපේ “ආශාවන්හි ස්වාමියා” බවට පත්ව ඇති බැවිනි.

 

එබැවින් ඉහතින් ද සඳහන් කල පරිදි ‘දෘෂ්ටිවාදය’ යනු හුදෙක් අදහස් මාලාවක් නොව, අපගේ සමාජ යථාර්ථය සමඟ ඇති සජීවී සම්බන්ධය (පුරුදු, ආයෝජන; මූල්‍යමය ආයෝජන පමණක් නොව, පද්ධතිය වෙනුවෙන් අප කරන ලිබිඩෝමය කැපකිරීම් සහ බැඳීම්, ආයතන සහ ප්‍රමෝදය ප්‍රතිනිෂ්පාදනය වීම) සංවිධානය කරන ෆැන්ටසි-ව්‍යුහයකි. අප පද්ධතිය විවේචනය කළත්, ඒ පද්ධතිය සපයන පාරිභෝජන භාණ්ඩ, සේවා, තාක්ෂණික පොරොන්දු, සහ පරිපූර්ණත්වය පිළිබඳ ෆැන්ටසීන් වෙත නැවත නැවතත් ආකර්ෂණය වන්නෙමු. ඒ අනුව පද්ධතිය ප්‍රතිනිෂ්පාදනය වන්නේ හුදෙක් අදහස් මඟින් නොව, අපගේ දෛනික පුරුදු, ආශා, ආයෝජන, ආයතනික-ද්‍රව්‍යමය සහ ප්‍රමෝදයේ යාන්ත්‍රණ එකට ක්‍රියා කිරීමෙනි.

 

‘මහා අනෙකා’ යනු අපගේ විශ්වාසයන් සහ ව්‍යවහාරයන්ගේ ඓක්‍ය මගින් නඩත්තු වන මායාවකි. පද්ධතිය ඇත්ත වශයෙන්ම හිස්ය (void/empty).ලැකාන් පවසන්නේ එවැනි සර්වබලධාරී පාලකයෙකු නොමැති බවයි. ලෝකය පාලනය කරන කිසිදු “රහසිගත සැලසුමක්” නොමැත.පද්ධතිය අතිශයින්ම අසම්පූර්ණ, පරස්පර විරෝධී සහ අහඹුය. එසේ නම් අප කුමන්ත්‍රණ න්‍යායන් විශ්වාස කරන්නේ ඇයි?

 

 

ලෝකය පාලනය කිරීමට කිසිවෙකු නැති බවත්, එය හුදෙක් අහඹු සහ අවුල් සහගතභාවයක් බවත් පිළිගැනීමට අප බිය වේ. “ලෝකය පාලනය කරන්නේ නපුරු කල්ලියක්” යැයි සිතීම, “ලෝකය පාලනය කිරීමට කිසිවෙකුම නැත” යැයි සිතීමට වඩා අප හට සහනයක් ගෙන දෙයි. මන්ද, “නපුරු පාලකයෙකු” සිටී නම්, අපට ඔහුව පරාජය කර ලෝකය නිවැරදි කළ හැකිය යන බලාපොරොත්තුව පවතී. නමුත් ලෝකය නෛසර්ගිකවම හිස් සහ අසම්පූර්ණ එකක් නම්, අපට ඒ ගැන කළ හැකි දෙයක් නොමැත.

 

 

පද්ධතිය පිටුපස රහසින් නූල් අදින “සර්වබලධාරී දෙවියෙකු” හෝ “සර්වබලධාරී කුමන්ත්‍රණකරුවෙකු” නැත. පද්ධතිය පවතින්නේ අප සියලු දෙනාම සාමූහිකව පවත්වාගෙන යන ‘ෆැන්ටසිය’ මත පමණි. එම ‘ෆැන්ටසිය’ ඉවත් කළහොත් පද්ධතිය ඇතුළතින් හිස් බව පෙනී යනු ඇත.නායකයා යනු හිස්තැන වසා ගැනීමට භාවිතා කරන තිරයකි.

 

දැන් කෙනෙකුට විමසිය හැක්කේ එප්ස්ටීන්, ඊලෝන් මස්ක් හෝ ප්‍රභූ දේශපාලනඥයන් සතුව සැබෑ භෞතික බලයක් (material power) නොපවතින්නේද යන ප්‍රශ්නයයි. සත්තකින්ම ඔවුන් සතුව එවැනි බලයක් පවතින බව සත්‍යයකි. ඔවුන්ට යුද්ධ ප්‍රකාශ කිරීමට, තාක්ෂණය මෙහෙයවීමට හෝ ආර්ථිකය හැසිරවීමට සහ අවසාන අර්ථයෙන් ලෝකයේ දිශානතිය තීරණය කිරීමේ බලය පවතී. “මහා අනෙකාගේ අනෙකා නොපවතී” (Other of the big Other) යන අදහසින් අදහස් කරන්නේ ඔවුන්ට බලය නැති බව නොව, ඔවුන්ගේ එම බලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ‘සංකේතීය’ (symbolic) රහසකි.

 

‘මහා අනෙකා’ යනු ලෝකය රහසින් පාලනය කරන සැබෑ සර්වබලධාරී අධිපතියෙකු නොව, ආත්මයන්ගේ විශ්වාස-ආකාර, ව්‍යවහාර, සහ සංකේතීය ආයතන මගින් නඩත්තු වන සංකේතීය ප්‍රතිභාසයකි. ‘මහා අනෙකා’ තුළම ‘අඩුවක්’ පවතී. එයට අවසාන සහතිකයක් නැත. ඒ අනුව, ‘මහා අනෙකා’ යනු සමාජ පර්යායට පිටුපසින් සිටින රහසිගත පුද්ගලයෙකු හෝ යම් කිසි කණ්ඩායමක් (එප්ස්ටීන් කවය, ඉලුමිනිටි වැනි…) නොවේ. රහසින් නූල් අදින ‘මහා අනෙකාගේ අනෙකෙකු’ සිටින බව පරිකල්පනය කිරීම හරියටම පීඩනොන්මාදී (paranoid) පෙළඹවීමකි. කුමන්ත්‍රණ න්‍යායන් ආකර්ෂණීය වන්නේ, එම අඩුව හා අහඹුභාවය දරාගැනීමට වඩා, සැඟවුණු පාලකයෙකු ඇතැයි සිතීම ආත්මයට වඩා පහසු බැවිනි. එහෙත් මහා අනෙකාගේ ‘අඩුව’ යනු බලය නොපවතින බව නොව; එය බලය අවසාන වශයෙන් සම්පූර්ණ, සර්වඥ, සහ ස්වයං-සම්මත පදනමක් මත නොනැගී සිටින බවයි. අධිකාරී බලය යනු සංකේතීය (symbolic) තත්වයකි. රජෙකු රජෙකු වන්නේ ප්‍රජාව ඔහු රජෙකු ලෙස සලකා කටයුතු කරන බැවින් පමණි. එමෙන්ම නායකයෙකුගේ බලය ලැබෙන්නේ ඔහු දරන ධූරයෙන් හෝ ඔහු සිටින ස්ථානයෙන් මිස, ඔහුගේ ආනුභවික (empirical) සැබෑ පැවැත්මෙන් නොවේ. ඒ අර්ථයෙන් ගත් කල, පාලක පුද්ගලයා යනු පද්ධතියේ පදනම නොව, පද්ධතිය විසින්ම එය සතු ‘අඩුව’ වේදිකාගත කරනු ලබන එක් ආකාරයකි. එනම්, යුද්ධයට අදාලව සැලකුවහොත් ට්‍රම්ප් යනු ඇමරිකානු සමාජයේ ‘අඩුවේ’ දේශපාලන නියෝජිතයාය. නමුත් බොහෝ අය බොහෝ විට සිතන්නේ ලෝකය පාලනය කරන රහසිගත පිරිසක් (උදා: ඉලුමිනටි හෝ එප්ස්ටීන් වැනි ජාලයන්) සිටින බවත් (මහා අනෙකාගේ අනෙකා), ට්‍රම්ප් යනු ඔවුන්ගේ රූකඩයක් බවත්ය. නමුත් එවැනි සර්වබලධාරී “අනෙකෙකු” නොමැති අතර පද්ධතිය ඇත්ත වශයෙන්ම හිස්ය. නායකයාට බලය ලැබෙන්නේ මිනිසුන් ඔහුට එම බලය ඇති බව “විශ්වාස කරන” නිසාය (සංකේතීය අධිකාරිය – symbolic authority). එනම්, බලය යනු පරිකල්පනීය සහ සංකේතීය ගොඩනැගීමකි. පද්ධතිය තුළ පවතින අස්ථාවරත්වය සහ අසම්පූර්ණත්වය වසා ගැනීමට අපි එක් පුද්ගලයෙකු (රජෙකු හෝ නායකයෙකු) මත සියලු බලය ආරූඪ කරමු (අද වන විට මාලිමාවට ඡන්දය දුන් බොහෝ දෙනෙකු පවසනුයේ අනුර කුමාර හොඳ බවත්, අනෙක් අය පිළිබඳව විශ්වාසයක් නොමැති බවත්ය). ඔහු ඇත්ත වශයෙන්ම කරන්නේ පද්ධතියේ පවතින එම ‘අඩුව’ පිරවීමට උත්සාහ කිරීමයි. ට්‍රම්ප් යනු ඇමරිකානු අර්බුධය හමුවේ ඒ සඳහා “ජනතාව” විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරාපත් කරගත් තැනැත්තාය. දැන් ඔහු අමාරුවේ වැටී ඇති අතර ඔහු තෝරාපත්කරගත් “ජනතාව” විසින්ම දැන් ඔහුව ප්‍රතික්ෂේප කරමින් තිබේ. ඒ තම අපේක්ෂාවන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ඉටු කිරීමට ඔහුට නොහැකි වීම හේතුවෙනි. ඉදිරියේදී ඔහුට යුධ අපරාද චෝදනා එල්ල වී සිරගත වීමට පවා ඉඩ තිබේ.

 

 

නායකයා යනු පද්ධතියේ සියලු පරස්පරතා එකට ගුලි කර පෙන්වන රූපයකි. අපි නායකයාට බනින විට හෝ ඔහුට වන්දනා කරන විට, අප ඇත්ත වශයෙන්ම කරන්නේ පද්ධතියේම ඇති ව්‍යුහාත්මක දෝෂය අමතක කිරීමයි.

 

 

පද්ධතියක පවතින මූලික අර්බුදකාරී අවහිරතාවයක් (deadlock), කිසියම් ‘සුවිශේෂී පුද්ගලයෙකුගේ’ ඓතිහාසික ක්‍රියාවක් ලෙස ‘ෆැන්ටසිය’ විසින් නැවත අර්ථකථනය කරයි. මෙහි ඇති පෙළඹවීම හරියටම එයයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු අභ්‍යන්තරිකව පරස්පර විරෝධී වූත්, ‘ෆැන්ටසිය’ මගින් නඩත්තු වන්නාවූත් තත්වයක් වුව ද එහි සත්‍යය යනු “පුද්ගලාරෝපිත ව්‍යතිරේකයක්” (personified exception – මේ පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය ලිපි මාලාවෙහි මින් පෙර ලියා ඇති ලිපි තුල දීර්ගව විස්තර කර ඇත) ලෙස නඩත්තු වීමයි (යුධ අපරාධ චෝදනා මත ඉදිරියේදී ට්‍රම්ප් සිරගත වුවහොත් මෙය හොඳින් තහවුරු වේ). වඩාත් රැඩිකල් අකාරයෙන් පවසන්නේ නම්, නායකයා යනු ව්‍යුහය තුළම පවතින පරස්පර විරෝධීතාවයක අර්චනමය ප්‍රතිමූර්තියයි.

 

තත්වය කෙතරම් අශ්ලීල ද යත්, එළිපිට යුද්ධය ප්‍රතික්ෂේප කල ද යුද්ධය තුලින් ලබා ගත හැකි ආර්ථිකමය වාසි පිළිබඳව කතා කරමින් සහ සිතමින් ලංකාවේ පුරවැසියන් ද උද්ධාමයට පත්ව ඇත. උදාහරණයකට ඩුබායි නුවර සැලකුවහොත්, එය විනාශ වීම, පිළිබඳව අප සතුටු විය යුතුව ඇත. ඒ එහි ආයෝජකයින් පොර්ට් සිටිය වෙත ගෙන්වා ගැනීම, ඩුබායි වෙත යන සංචාරකයින් ලංකාවට අද්දවා ගැනීම, ලංකාව වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගැනීම, ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්කර ගැනීම ආදී කටයුතු සාක්ෂාත් කර ගත හැකිය යන බලාපොරොත්තුවෙනි. ඒ අනුව ලාංකීය පුරවැසියා සතුටින් ඉපිල යන දිනය වන්නේ ඩුබායි නගරය අළු වී යන දිනයයි. එනම්, ඩුබායි විනාශය පිළිබඳ ෆැන්ටසිය ලංකාවට නව ආයෝජන, සංචාරක ප්‍රවාහ, සහ ප්‍රාග්ධන ගමනාගමනය ඇදගත හැකි අවස්ථාවක් ලෙස ලිබිඩෝමය ආයෝජනයකට ලක් වේ.

 

වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, ප්‍රජාතන්ත්‍රවාදය තුල පුරවැසියා ප්‍රසිද්ධියේ යුද්ධය ප්‍රතික්ෂේප කරන අතරම, යුද්ධය මගින් නිර්මාණය වන ආර්ථික අවස්ථාවන් කෙරෙහි ලිබිඩෝමය ලෙස ආයෝජනය වී සිටියි. එවිට හෙළිදරව් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල ගොඩනැගී ඇති සදාචාරාත්මක කතිකාවේ ඇති අශ්ලීල යටිපැත්තයි. එනම් “අපි විනාශය හෙළා දකින්නෙමු” යැයි පවසන අතරම, තවත් මට්ටමකදී අනෙකාගේ විනාශය අපට වාසිදායක විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව අපම ෆැන්ටසි මවමින් සිටීමයි. යුද්ධය සමඟ ‘ප්‍රජාතන්ත්‍රවාදී-ආත්මය’ (subject of the democracy) පවත්වන සම්බන්ධය හුදෙක් දෘෂ්ටිවාදී විශ්වාසයක් පමණක් නොව, එය ප්‍රමෝදයක් (enjoyment) ද වන බව මෙයින් පෙන්නුම් කෙරේ.

 

රටවල් අතර තත්වය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පුරවැසියන් අතර තත්වය ද එක සමාන වේ. එනම්, ඔවුනට අනෙකාගේ විනාශය මගේ අවස්ථාව ලෙස දිස්වේ; ව්‍යසනය යනු ආයෝජනය කළ හැකි දෙයක් බවට පත්වේ.

 

වර්තමාන මූල්‍ය පද්ධතිය තුළ අර්බුද, යුද්ධ හෝ පාරිසරික විනාශයන් පවා ලාභ ලැබිය හැකි ‘වෙළඳපොළ අවස්ථා’ (market opportunities) ලෙස ගණනය කෙරේ (ව්‍යසනය ආයෝජනයක් ලෙස). ඒ අනුව, ‘ප්‍රමෝදය’ උපදින්නේ භෞතික ලාභයෙන් පමණක් නොවේ. එය උපදින්නේ අප වෛර කරන හෝ අපට තර්ජනයක් යැයි සිතන ‘අනෙකාගේ’ බලය බිඳවැටෙනු දැකීමෙන් ලබන අශ්ලීල තෘප්තියෙනි.

 

විශ්වීයත්වය (universality), එසේ නොමැති නම් සර්ව සාධාරණත්වය පවත්වා ගෙන යනු ලබන්නේ එම විශ්වීයත්වයෙන් බැහැර වූ ‘සුවිශේෂත්වය’ (exception) මගිනි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය තුල තරඟකාරිත්වය පිළිබඳ විශ්වීය නීතිය කිසිවිටෙකත් සැබෑ ලෙසම සර්ව සාධාරණ හෝ සාර්වභෞමික නොවේ. එය පවත්වා ගෙන යනු ලබන්නේ එම පද්ධතියේම පැවැත්මට අත්‍යවශ්‍ය වන, නමුත් එම නීතියට යටත් නොවන ‘සංස්ථාපිත ව්‍යතිරේකයක්’ (constitutive exception) මගිනි. එනම්, ඕනෑම සාර්වභෞමික පද්ධතියක් (උදා: නිදහස් වෙළඳපොළ හෝ ප්‍රජාතන්ත්‍රවාදය) පවතින්නේ එම පද්ධතියේ නීතිවලට යටත් නොවන එක් සුවිශේෂී සාධකයක් මතය. ධනවාදය තුළ “සැමට සමාන නිදහස් තරඟකාරිත්වයක්” ඇතැයි පැවසුවද, ඇමරිකානු ඩොලරය හෝ එරට හමුදා බලය එම ‘තරඟකාරිත්වයෙන්’ බැහැරව පද්ධතියම පාලනය කරන ව්‍යතිරේකය ලෙස ක්‍රියා කරයි. කෙටියෙන් පවසන්නේ නම්, යුධ ශක්තිය පද්ධතියේ බාහිර අමතර මෙවලමක් නොව, ගෝලීය ප්‍රාග්ධනය තුළ පවතින අසමතුලිතතා, ප්‍රවේශයන්, සහ ප්‍රතිවිරෝධතා කළමනාකරණය කරන රෝග ලක්ෂණාත්මක යාන්ත්‍රණයකි.

 

 

උතුරු කොරියාව, කියුබාව, එරිත්‍රියාව, භූතානය වැනි රටවල් කිහිපයක් හැරුණු කොට අද මුළු ලෝකයම පොරයක නිරතව සිටිනුයේ ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලිය තුලය. යුධ ශක්තිය අවශ්‍ය වන්නේ ඒ සඳහාය. නව ලිබරල්වාදය පවසන්නේ මෙම ක්‍රියාවලිය තුල තරඟ කිරීමෙන් පමණක් දියුණු සහ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්විය හැකි බවය. නමුත් ඇමරිකාව විසින් ඉන්දියාවට ඍජුවම තර්ජනය කරනුයේ ඉන්දියාවට තවත් චීනයක් බවට පත්වීමට ඉඩ නොතබන බව පවසමිනි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදී ලෝක පර්යායේ නෛතික-සදාචාරාත්මක ප්‍රසිද්ධ මුහුණුවර වන අතර, යුද්ධය සහ ප්‍රාග්ධන සංචලනය එහි අශ්ලීල යටිපැත්තයි. එවිට මෙම පරස්පර විරෝධය කුමක්ද? ලෝකයේ බොහෝ රාජ්‍යයන් සහ බොහෝ පුරවැසියන් ධනවාදී ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලිය තුල කටයුතු කරනුයේ මේ අකාරයෙන් නොවේද?

 

 

උපුටාගැනීම - spartacus.lk

 

නවතම ලිපි