බලය යනු කුමක්ද? සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාවට අනුව එය මහජන ඡන්දයෙන් ලබාගන්නා,
පාර්ලිමේන්තුවේ ආසන ගණනින් මනිනු ලබන දෘශ්‍යමාන සාධකයකි. නිකොලෝ මැකියාවෙලි (Niccolò Machiavelli) පවා බලය අර්ථකථනය කළේ පාලකයෙකු විසින් ජනතාව පාලනය කිරීම සඳහා භාවිතා කරන කූට සහ සෘජු යාන්ත්‍රණයක් ලෙසිනි. එහෙත්, නූතන ලෝක ක්‍රමය තුළ බලය අභ්‍යාස වන්නේ එලෙස දෘශ්‍යමාන, ඝෝෂාකාරී වේදිකා මතින්ම පමණක්ද? නැතහොත් බලයේ සැබෑ මූලය ඇත්තේ ඡන්දදායකයාට නොපෙනෙන, තීරණ ගන්නා 'කාමර' (Boardrooms) ඇතුළතද?
මෙම සංවාදය යළිත් කරළියට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ප්‍රතිපත්ති උපායමාර්ගිකයෙකු වන මිලින්ද මොරගොඩ විසින් අද (28) ජාත්‍යන්තර WION මාධ්‍ය ජාලය වෙත ලියන ලද "Competing by exclusion: The return of economic containment" (බැහැර කිරීමේ තරඟය: ආර්ථික පාලනයේ නැවත පැමිණීම) නමැති ලිපියත් සමඟිනි.
&imwidth=800&imheight=600&format=webp&quality=medium)
එම ලිපියේ අන්තර්ගතය සහ මිලින්දගේ දේශපාලන භාවිතාව පිළිබඳව කරනු ලබන ගැඹුරු විග්‍රහයකදී පැහැදිලි වන්නේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන "නව-බල අභ්‍යාසයක" (New Exercise of Power) ස්වභාවයයි.
ආර්ථික පාලනය (Economic Containment) සහ ගෝලීය තරඟය
මිලින්ද මොරගොඩ සිය ලිපියෙන් අවධාරණය කරන්නේ නූතන ලෝකයේ ආර්ථික තරඟකාරිත්වය යනු හුදෙක් 'වැඩියෙන් නිෂ්පාදනය කිරීම' නොව, 'ප්‍රතිවාදියාට තරඟ කිරීමට ඇති අවස්ථාව සීමා කිරීම' (Market Denial) බවයි. ඇමරිකාව වැනි රටවල් සිය ආර්ථික ජවය අඩුවෙද්දී, නැගී එන ආර්ථිකයන් පාලනය කිරීම සඳහා තීරුබදු, මූල්‍ය සීමා සහ ප්‍රමිතිකරණ බාධක හරහා "බැහැර කිරීමේ තරඟයක" නිරත වන බව ඔහු පෙන්වා දෙයි.
ඔහුගේ තර්කයේ කේන්ද්‍රය වන්නේ, රටක ආර්ථික ශක්තිය රඳා පවතින්නේ අවදානම් ගන්නා ව්‍යවසායකයින් සහ නවෝත්පාදකයින් (Risk-takers) මත බවත්, රාජ්‍ය මැදිහත්වීම අවම නිදහස් වෙළඳපොළක් රටකට අත්‍යවශ්‍ය බවත්ය. මෙය පාරිශුද්ධ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවාදයක (Pragmatic Economic Reformism) හඬයි.
රන්වන් සිරකබාය (The Golden Straitjacket) සහ ජාතික ආර්ථිකයේ ඛේදවාචකය
මෙම පාරිශුද්ධ ලිබරල් ආර්ථික ආකෘතියේ (Pragmatic Economic Reformism) ඇති භයානකම සහ නොපෙනෙන ඛේදවාචකය වන්නේ එය ජාතික ආර්ථිකයක් සහ එහි සමාජ දේහය ඇතුළතින්ම ඛාදනය කිරීමයි. රජයේ නියාමනයන් ඉවත් කළ නිදහස් වෙළඳපොළක් තුළ, මොරගොඩ පවසන එම "අවදානම් ගන්නා ව්‍යවසායකයින්ට" සහ ගෝලීය ප්‍රාග්ධන හිමියන්ට අසීමිතව ධනය එක්රැස් කරගැනීමට පූර්ණ නිදහස ලැබේ. එහෙත් එහි අනෙක් පස වන්නේ, ලාභය මත පමණක් පදනම් වන මෙම ක්‍රමය තුළ රාජ්‍යය විසින් පවත්වාගෙන ගිය සමාජ ආරක්ෂණ ජාල (Social Security) සහ සුබසාධන කප්පාදු වීමයි. එහි සෘජු ප්‍රතිඵලය වන්නේ සමාජයේ දුප්පත් සහ පොහොසත් අතර පරතරය, හෙවත් ධන විෂමතාවය අතිශය දරුණු ලෙස ඉහළ යාමයි. එපමණක් නොව, රජයේ රැකවරණය (සහනාධාර සහ ආනයන බදු) අහිමි වීමත් සමඟ, දැවැන්ත ප්‍රාග්ධනයක් සහිත බහුජාතික සමාගම් සමඟ තරඟ කිරීමට නොහැකි වන දේශීය කර්මාන්තකරුවා සහමුලින්ම විනාශ වී, ස්වයංපෝෂිත ජාතික ආර්ථිකය බිඳ වැටේ.
දේශපාලන විද්‍යාවේදී (විශේෂයෙන්ම තෝමස් ෆ්‍රීඩ්මන් වැනි විශ්ලේෂකයන්ගේ අදහස්වලට අනුව) මෙම තත්ත්වය හඳුන්වන්නේ රටකට "රන්වන් සිරකබායක්" (Golden Straitjacket) පැළඳවීමක් ලෙසිනි. මෙම සිරකබාය පැළඳගත් පසු රටකට ගෝලීයකරණය හරහා යම් ආර්ථික වර්ධනයක් හෝ විදේශ ආයෝජන ගලා ඒමක් (එහි රන්වන් පැහැය) පිටතට පෙනෙන්නට තිබිය හැකිය. එහෙත් සැබෑ යථාර්ථය නම්, රටේ දේශපාලන නිදහස සහ ස්වාධීනත්වය එම සිරකබාය තුළ මුළුමනින්ම සිරවීමයි. මහජන ඡන්දයෙන් පත්වන කවර ආණ්ඩුවකට වුවද, තම රටේ කම්කරුවා හෝ ගොවියා වෙනුවෙන් යම් සහනදායී තීරණයක් ගැනීමට අවශ්‍ය වුවත්, එය "ගෝලීය වෙළඳපොළට හෝ ආයෝජකයින්ට" අහිතකර නම් එය කිසිදා ක්‍රියාත්මක කළ නොහැක. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්දය යනු හුදු නාමික රූපවාහිනී සංදර්ශනයක් පමණක් බවට පත්වී, රටේ සැබෑ පාලනය සහ ස්වෛරීභාවය IMF වැනි මූල්‍ය ආයතන සහ ගෝලීය ප්‍රාග්ධනය මෙහෙයවන්නන්ගේ අදෘශ්‍යමාන හස්තයට නතු වීම මෙම නව-ලිබරල් දෘෂ්ටිවාදයේ අවසන් නැවතුමයි.
කෙසේ වුවද, අප විමසිය යුත්තේ මෙම ලිපියේ සරල අර්ථයට වඩා, මෙම අදහස් නිෂ්පාදනය කරන "පුද්ගලයා" සහ ඔහුගේ "දේශපාලන අරමුණ" කුමක්ද යන්නයි.
බලය නොව, 'බලපෑම' (Influence over Power)

මිලින්ද මොරගොඩ යනු ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඡන්ද දේශපාලනය ඉක්මවා ගිය චරිතයකි. ඔහු නියෝජනය කරන්නේ "දෘශ්‍යමාන බලයට" (Visible Power) වඩා "උපායමාර්ගික බලයයි" (Soft/Intellectual Power). දේශපාලනඥයෙකු පාර්ලිමේන්තුවේ බහුතරය සොයන විට, මොරගොඩ සොයන්නේ තීරණ ගන්නා මධ්‍යස්ථානවලට (Decision-making hubs) ඇති ප්‍රවේශයයි.
මෙහිදී ඔහු භාවිතා කරන ප්‍රධානතම මෙවලම වන්නේ ඔහු විසින්ම ස්ථාපිත කරන ලද 'පාත්ෆයින්ඩර් පදනම' (Pathfinder Foundation) වැනි බුද්ධි මණ්ඩල (Think Tanks) හරහා රාජ්‍ය ප්‍රතිපත්තිවලට මැදිහත් වීමයි.
මෙය එක්තරා ආකාරයක "අදෘශ්‍යමාන හස්තයකි". මහජන ඡන්දයෙන් කවර ආණ්ඩුවක් පත් වුවද (එක්සත් ජාතික පක්ෂය වේවා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වේවා), ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට සහ ආර්ථික ප්‍රතිපත්ති සැකසීමට අවශ්‍ය "තාක්ෂණික දැනුම සහ ජාත්‍යන්තර සබඳතා" එම ආණ්ඩුවලට අවශ්‍ය වේ. මොරගොඩ එම හිඩැස පුරවයි.
එබැවින්, ඡන්දයෙන් පත්වන ආණ්ඩු මාරු වුවද, රටේ සැබෑ දිශානතිය තීරණය කරන "ප්‍රතිපත්ති සම්පාදකයා" බවට පත්වීමේ හැකියාව මෙම ක්‍රමය හරහා ඔහුට ලැබේ.
රාමුව සැකසීමේ බලය සහ වගවීමෙන් තොර වීම
මනෝවිශ්ලේෂණාත්මකව සහ දේශපාලනිකව බැලූ කල, මෙය ඉතා සූක්ෂ්ම බල ව්‍යාපෘතියකි. ප්‍රංශ දාර්ශනික මයිකල් ෆූකෝ (Michel Foucault) පෙන්වා දුන් පරිදි නූතන ලෝකයේ බලය ක්‍රියාත්මක වන්නේ ශාරීරික බලහත්කාරයෙන් නොව, "දැනුම සහ කතිකාව" (Knowledge and Discourse) නිෂ්පාදනය කිරීම හරහාය.
මොරගොඩ ට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු අසුනක් නොව, සාකච්ඡා විය යුතු "මාතෘකාව තීරණය කිරීමේ" බලයයි. ඉන්ධන මිල සූත්‍ර, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, හෝ ඉන්දු-ලංකා සබඳතා වැනි මාතෘකා ඔහු සමාජගත කරයි; ඒවායේ "රාමුව" (Framework) ඔහු සකස් කරයි. අවසානයේ දේශපාලනඥයින්ට සිදුවන්නේ ඔහු විසින් සකස් කළ එම රාමුව තුළ සිට දේශපාලනය කිරීමටයි.
මෙම ක්‍රමයේ ඇති විශාලතම වාසිය නම් "වගවීමෙන් තොර වීමයි" (Power without Accountability). ඡන්දයෙන් පත්වන දේශපාලනඥයා ජනතාවට වගකිව යුතුය; තීරණ වැරදුණු විට ඔහුට ගෙදර යාමට සිදුවේ. එහෙත් උපදේශකයෙකුට එවැනි පීඩනයක් නැත. ප්‍රතිපත්ති අසාර්ථක වුවහොත් ජනතා විරෝධය එල්ල වන්නේ දේශපාලනඥයාට මිස උපදේශකයාට නොවේ.
ලෝක දේශපාලනයේ නව ප්‍රවණතාවය (The New Trend)
ශ්‍රී ලංකාව තුළ මිලින්ද මොරගොඩ ක්‍රියාත්මක කරන මෙම උපාය මාර්ගය හුදකලා සිදුවීමක් නොවේ. මෙය වර්තමාන ලෝක දේශපාලනයේ ප්‍රධානතම ප්‍රවණතාවයකි (Trend). ඇමරිකාවේ "Deep State" සංකල්පය මෙන්, ලෝකයේ බොහෝ රටවල තීන්දු තීරණ ගනු ලබන්නේ ඡන්දයෙන් පත්වන නායකයින්ට වඩා, ඔවුන්ට පිටුපසින් සිටින තාක්ෂණික නිලධාරීන්, බුද්ධි මණ්ඩල සහ ආයතනික උපදේශකයින් (Technocrats and Strategists) විසිනි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන (IMF, World Bank) සහ විදේශ බලවතුන් බොහෝ විට වඩාත් කැමැත්තක් දක්වන්නේ චංචල දේශපාලනඥයින් සමඟ ගනුදෙනු කරනවාට වඩා, තමන්ගේ "භාෂාව" තේරුම් ගන්නා, ස්ථාවර ප්‍රතිපත්තියක් සහිත මෙවැනි ප්‍රභූ (Elite) චරිත සමඟ කටයුතු කිරීමටයි.
දෘෂ්ටිවාදයේ සිරගෙය සහ නව ස්වාමියාගේ පැමිණීම

මිලින්ද මොරගොඩ ගේ ලේඛන සහ ක්‍රියාකාරීත්වය අපට කියා දෙන්නේ කුමක්ද? එය කියා දෙන්නේ, මැකියාවෙලිගේ යුගයේ මෙන් කඩුවෙන් සහ කුමන්ත්‍රණයෙන් බලය ලබාගන්නා යුගය අවසන් වී ඇති බවයි. අද සැබෑ බලය ඇත්තේ වීදිවල නොව, පද්ධතිමය ප්‍රතිපත්ති මෙහෙයවන අය අතය.
මෙහි ඇති ඛේදවාචකය වන්නේ මෙම පද්ධතිමය යථාර්ථයෙන් ගැලවීමට ඇති නොහැකියාවයි. ලෝකයේ කවර දැවැන්ත මහජන බලවේගයක් විසින් පැරණි ප්‍රභූ පාලන තන්ත්‍රයන් පෙරළා දැමුවද, අවසානයේ ඔවුන්ට ගෝලීය ධනේශ්වර යාන්ත්‍රණයෙන් එපිටට යා නොහැක. ඉතිහාසය පුරා අප දකින්නේ, ප්‍රභූත්වයට එරෙහිව අරගල කරන්නන් අවසානයේ තමන්ටත් නොදැනීම "නව ප්‍රභූ පැලැන්තියක" (New Elite) සිරකරුවන් හෝ නිර්මාපකයින් බවට පත්වන ආකාරයයි. ජනතාව පැරණි ස්වාමියා පන්නා දමන්නේ, වෙනත් මුහුණුවරකින් එන "නව ස්වාමියෙකුට" යටත් වීමේ යටි අරමුණින්මය යන්න මනෝවිශ්ලේෂණයේ මූලික කියවීමකි.
එමෙන්ම, පැරණි දෘෂ්ටිවාදයන්ගෙන් (Ideology) මිදුණු, පිරිසිදු දේශපාලනයක් ගෙන එන බවට පුරසාරම් දොඩන්නන්, අවසානයේ ඊටත් වඩා ප්‍රබල නව දෘෂ්ටිවාදී ආධිපත්‍යයකට නතු වීම වත්මන් දේශපාලනයේ නියත ධර්මතාවයයි. දෘෂ්ටිවාදයෙන් පිටත සිටිනවා යැයි සිතීමම විශාලතම දෘෂ්ටිවාදී මුලාවයි. ශ්‍රී ලංකාවේ මැතිවරණවලින් කුමන ජනප්‍රියවාදී පක්ෂයක් බලයට පත් වුවද, අවසානයේ රාජ්‍ය යන්ත්‍රණයට සිදුවන්නේ ගෝලීය ආර්ථික පද්ධතියට අනුගත වන ආකාරයේ ප්‍රතිපත්ති රාමුවක් තුළ සිර වීමටයි.
එම ව්‍යුහාත්මක යථාර්ථය තුළ, මහජන ඡන්දයෙන් පත්වන නායකයින් හුදු නාමමාත්‍රික රූප බවට පත්වන අතර, සැබෑ බලය අභ්‍යාස කරන්නේ මොරගොඩ ගේ 'පාත්ෆයින්ඩර්' වැනි පද්ධතිය මෙහෙයවන කේන්ද්‍රස්ථානයන්ය. එබැවින්, වීදිවල කෑගසන මහජන බලයට වඩා, ඡන්ද පත්‍රිකාවෙන් පිටත ක්‍රියාත්මක වන මෙම "නිහඬ ආයතනික සහ දෘෂ්ටිවාදී බලය" ධනේශ්වර ක්‍රමයේ සදාකාලික පැවැත්ම තහවුරු කරන සැබෑ අදෘශ්‍යමාන හස්තය බවට පත්ව ඇත.
# සිරිමලී ලියනගම

