SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අසීමිත පරිභෝජනවාදය, ණය උගුල සහ අපේ දේශපාලන ආර්ථිකය

 

 

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් විසින් සිදුකළ ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ දේශනය ඇසුරින් රචිත

‘මා අකමැති වූ ජේ.ආර්.’ (The J.R. I Disliked) කෘතිය එළිදැක්වීම මාර්තු 30 වැනිදා කොළඹ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී සිදු කෙරේ. මෙම කෘතිය හුදෙක් පුද්ගල වන්දනාවක් නොව, ජේ.ආර්. ගේ නායකත්ව ලක්ෂණ, දේශපාලන ඉවසීම සහ ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ‘විවෘත ආර්ථිකය’ පිළිබඳව යළි කියවීමකට අවකාශ සලසා දෙන්නකි.

 

JR

 

එම කෘතිය පිළිබඳව වන විචාරයන්හි ජේ.ආර්. ජයවර්ධනයන් හඳුන්වා දෙන්නේ 'ශ්‍රී ලංකාවේ ආර්ථික විප්ලවයේ පහන් තරුව' ලෙසිනි. චීනය අද ගමන් කරන මාවත එදා ඔහු දුටු බවට ඉම්තියාස් බාකීර් මාකර් සිය අදහස් දක්වමින් පෙන්වා දෙයි. නායකයෙකු ලෙස ජේ.ආර්. ගේ දේශපාලන පෞරුෂය සහ දැක්ම පිළිබඳව කෙරෙන එම ඇගයීම එක් පසෙක තිබියදී, දේශපාලන ආර්ථික විද්‍යාත්මක (Political Economy) දෘෂ්ටිකෝණයකින් බලන කල, ඔහු විසින් හඳුන්වා දුන් එම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අද වන විට රට ඇද දමා ඇති ඛේදනීය ඉරණම පිළිබඳව විවරණයක් කිරීම කාලීන අවශ්‍යතාවකි.

 

 

 

අසීමිත පරිභෝජනවාදී රෝගය සහ භාණ්ඩ ගලා ඒම

 

1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ මෙරට දොරටු ගෝලීය වෙළඳපොළට විවර විය. එය හුදෙක් ආර්ථික මොඩලයක වෙනසක් පමණක් නොව, සමස්ත සමාජයේම සංස්කෘතික සහ මනෝවිද්‍යාත්මක පරිවර්තනයක් විය. දේශීය නිෂ්පාදන ආර්ථිකය ක්‍රමයෙන් පසුබෑමට ලක්වෙද්දී, විදේශීය භාණ්ඩ හා සේවා කිසිදු සීමාවකින් තොරව රට තුළට ගලා ඒම ආරම්භ විය.

 

මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීය සමාජය 'අසීමිත පරිභෝජනවාදී රෝගයකට' (Disease of unlimited consumerism) ගොදුරු විය. අවශ්‍යතාව මත පදනම් වූ පරිභෝජනය වෙනුවට, ආශාව සහ සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කිරීම මත පදනම් වූ පරිභෝජන රටාවක් නිර්මාණය විය. කිසිදු පාලනයකින් තොරව ආනයනය කරන ලද භාණ්ඩ මත යැපෙන ජාතියක් බවට අප පත් වූ අතර, නිෂ්පාදකයා වෙනුවට 'පාරිභෝගිකයා' සමාජයේ වීරයා බවට පත් කෙරිණි.

 

 

රුපියලේ කඩා වැටීම සහ උද්ධමනය

 

විවෘත ආර්ථිකය හරහා ඇති වූ මෙම අසීමාන්තික ආනයන සංස්කෘතියේ සෘජු ගොදුර බවට පත්වූයේ මෙරට විනිමය අනුපාතිකයයි. අපනයන ආදායමට වඩා ආනයන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වෙළඳ ශේෂය (Trade balance) අඛණ්ඩව සෘණාත්මක විය. පිටරටින් ගෙනෙන අල්පෙනෙත්තේ සිට සුඛෝපභෝගී වාහනය දක්වා සෑම දෙයකටම ඩොලර් ගෙවීමට සිදුවීමත් සමඟ, රුපියලේ අගය දිනෙන් දින පහළට ඇද වැටිණි.

 

රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගිය අතර, එය රට තුළ දරුණු උද්ධමනයක් නිර්මාණය කළේය. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව හීන වී ගිය අතර, විවෘත ආර්ථිකයේ 'පහන් තරුව' සාමාන්‍ය ජනතාවගේ ජීවිත දැවෙන ගිනිදැල්ලක් බවට පත් කළේ එලෙසිනි.

 

 

ණය උගුල සහ රටේ පැවැත්ම

 

ආනයන සඳහා වැය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය රට තුළ නොමැති වූ විට, පාලකයන් විසින් තෝරාගනු ලැබූ පහසුම විකල්පය වූයේ විදේශ ණය ලබා ගැනීමයි. පරිභෝජනය පවත්වාගෙන යාම සඳහාත්, කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොමැති යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහාත් අසීමිතව ණය ලබා ගැනීම හරහා ශ්‍රී ලංකාව දැවැන්ත ණය උගුලක සිර විය. අද අප මුහුණ දෙන ස්වෛරී ණය පැහැර හැරීමේ (Sovereign Default) අර්බුදයේ මූල බීජ රෝපණය වූයේ එදා හඳුන්වා දුන් ඒ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ඇති අසමතුලිතභාවය තුළමය.

 

 

වත්මන් දේශපාලන ෆැන්ටසිය සහ වෙළඳපොළ යථාර්ථය

 

JR 2

 

මෙම ඛේදනීය යථාර්ථය වෙනස් කළ හැකි යැයිද, එසේ වෙනස් කරාවි යැයිද බහුතර ජනතාවක් දැඩිව විශ්වාස කළ දේශපාලන ව්‍යාපාරයක් වර්තමානය වන විට බලයට පත්ව සිටී. එහෙත් මනෝවිශ්ලේෂණාත්මකව විමසා බලන කල, ඔවුන්ද අද වන විට ගිලී සිටින්නේ ජේ.ආර්. විසින් නිර්මාණය කළ මේ අසීමිත පරිභෝජනවාදී සිහිනය තුළමය. දෘෂ්ටිවාදයක් යනු හුදෙක් බොරුවක් නොව අපගේ සමාජ යථාර්ථය ගොඩනගන ව්‍යුහයයි. වත්මන් පාලකයන්ගේ මෙම දේශපාලන “ෆැන්ටසිමය යථ” (Phantasmatic Reality) අදටත් දරා සිටින්නේ සහ නඩත්තු කරන්නේ එදා ඔවුන් විවේචනය කළ එම වෙළඳපොළ ක්‍රමය විසින්මය. වෙනස් කිරීමේ පොරොන්දුව හුදෙක් පාරිභෝගික සමාජයේ තවත් එක් ආකර්ෂණීය භාණ්ඩයක් බවට පත්ව ඇති අතර, ඔවුන්ගේ විකල්ප දේශපාලනයද අවසානයේ ධනවාදී මහා අනෙකාගේ (The Big Other) සංකේතීය ව්‍යුහය තුළ පවතින පැරණි ආර්ථික ෆැන්ටසියේම නව මානයක් බවට පත්ව ඇත.

 

 

මධ්‍යස්ථ හෝ සංවෘත ආර්ථිකයක අවශ්‍යතාව

 

මෙම දේශපාලන ආර්ථික විවරණය අවසානයේ අපට එළඹිය හැකි නිගමනය කුමක්ද? ගෝලීයකරණය වූ ලෝකයක කිසිදු රටකට සම්පූර්ණයෙන්ම දොරටු වසාගෙන හුදෙකලා විය නොහැකි බව සැබෑවකි. එහෙත්, නව-ලිබරල්වාදී අන්තවාදී විවෘත ආර්ථිකයක් වෙනුවට, ජාතික නිෂ්පාදනය ආරක්ෂා කරන 'මධ්‍යස්ථ ආර්ථික ප්‍රතිපත්තියක්' (Moderate Economic Policy) හෝ උපායමාර්ගිකව කළමනාකරණය කළ ආර්ථිකයක අවශ්‍යතාව අද වෙන කවරදාටත් වඩා තදින් දැනෙමින් තිබේ. අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම, දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත බලගැන්වීම මෙන්ම අපනයන විවිධාංගීකරණය කිරීම තුළින් පමණක් රටක ස්වාධීන පැවැත්ම තීරණය වේ.

 

 

‘මා අකමැති වූ ජේ.ආර්.’ තුළින් ඉම්තියාස් බාකීර් මාකර් දකින පරිදි ජේ.ආර්. ජයවර්ධන යනු අර්බුද හමුවේ නොසැලී සිටි, දූරදර්ශී දේශපාලන නායකයෙකු විය හැකිය. එහෙත් ඔහු විසින් තැනූ ආර්ථික අත්තිවාරම අද පුපුරා ගොස් ඇත. ඉතිහාසය කියවිය යුත්තේ හුදෙක් එයට කැමති නිසා පමණක් නොවන බව විචාරකයන් පවසයි; එය තේරුම් ගත යුතුය. ජේ.ආර්. ගේ දේශපාලන උපායමාර්ග අපට පාඩමක් විය හැකි වුවද, ඔහු විසින් නිර්මාණය කළ ආර්ථික ව්‍යුහය යනු අද අප අනිවාර්යයෙන්ම විනිවිද දකිමින්, වෙනස් කළ යුතුම වූ දේශපාලන ආර්ථික යථාර්ථයකි.

 

 

 

(සටහන - සිරිමලී ලියනගම)

නවතම ලිපි