SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නකල්ස් වනාන්තරය යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2000.05.05 දින අංක 1130/22 දරන

අති විශේෂ ගැසට්පත්‍රයක් මගින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කල මෙරට ඇති සුවිශේෂි වනාන්තර පද්ධතියකි. එය මෙරට ප්‍රථම සංරක්ෂිත වනාන්තරයද වේ.

 

ඊට අමතරව 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ 2007. 07 .23 දින අංක 1507/09 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයක් මගින් නකල්ස් පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස නම්කර ඇති අතර, යුනෙස්කෝව විසින් 2010 වසරේදී මෙය ලෝක උරුමයක් ලෙසද නම්කර තිබේ.

 

 

“නකල්ස් කියන්නේ ලංකාවේ හදවත වගේ එම පරිසර කලාපයට සුලු හෝ හානියක් වෙන්න නොදී ආරක්ෂාකර ගන්න එක එම වනාන්තරයේ ආරක්ෂකයො ලෙස අපේ වගකීමක්“

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි මහනුවර දිස්ත්‍රික් දිසා වන නිළධාරී භාරත දිසානායක  පවසයි.

 

නකල්ස් සංරක්ෂිත වනාන්තරය වන සංරක්ෂක ජනරාල්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන්නකි.මෙවැනි වනාන්තරයක අවසර ඇත්තේ ඉතා සීමිත ක්‍රියාකරකම් කිහිපයකට පමණි.එයද වන සංරක්ෂන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ය. එවැනි පසුබිමක් මත, මෙම කැලෑව තුලට සෆාරි ජීප් රථ ඇතුලු කිරිමටත්, මාර්ග කාපට්කර මගී සේවාවන් පුලුල් කිරිමට කිහිප දෙනෙකු ඉල්ලා සිටින්නේ මීට කෙටි කලකට පෙර කලාපයේ සංචාරක කර්මාන්තය ප්‍රවාර්ධනයට යැයි පවසමිනි. ඊට පරිසර සංවිධාන වලින් එල්ල වන්නේ විශාල විරෝධයකි.

 

“නකල්ස් සංචාරක කවය සහ නකල්ස් සෆාරි ජිප් හිමිකරුවන්ගේ සංගමයේ කිහිප දෙනෙක් වර්තමාන ආන්ඩුවේ මහනුවර දිස්ත්‍රික් මංත්‍රීවරුන් වන ඊ.එම් බස්නායක සහ ජගත් මනුවර්ණ යන අය එක්ක සාකච්ජාකරලා මේ වනාන්තරයේ ඇති තංගප්පුව ඉදලා අට්ටලමෙට්ටුව, කොබට්ස්ගැප් දක්වා කිලෝමීටර් 06ක දුරක් සදහා කාපට් මාර්ගයක් ඉදිකිරිමට සුදානමක් තියෙනවා.ඒ සදහා අනුමැතියත් ඔවුන් ඇරන් තියෙනවා. නමුත් නකල්ස් වැනි ඉතා පරිසර සංවේධී කලාපයකින් මෙවැනි මාර්ග ඉදිකිරිම සුදුසු නැහැ.ඒ වගේම ඒ සදහා නීතිමය අවසරයකුත් නැහැ.මෙි කැලෑව මැදින් පාරක් අවශ්‍ය වෙලා තියෙන්නේ, ප්‍රදේශයේ හෝටල හිමියන් කිහිප දෙනෙක්ට විතරයි"

මෙරට පරිසර සංරක්ෂණවෙිධියකු වන සජීව චාමිකර  පෙන්වා දෙයි.

 

 

 

නකල්ස් වනාන්තර මැදින් වැටී ඇති තංගප්පුව සිට කොබට්ස්ගැප් දක්වා වන පැරණි මාර්ගය ඉංග්‍රීසි ආන්ඩු සමයේ භාවිතාකර තිබුනේ තේ දලු ප්‍රවානයටය.නමුත් ඉන් පසුව දශක පහකට පමන අධික කාලයක් මෙම මාර්ගය පාවිච්චියට නොගෙන ඇති අතර, 2000 වසරේදී, මෙම කැලෑබද මාර්ගය සහිත ප්‍රදේශයද සමග නකල්ස් කදුවැටිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණි. ඒ සදහා එවකටදී කිසිදු පාර්ශවයකින් ඔවුන්ට විරෝධයක් එල්ල නොවුනි. ඉන් අනතුරුව පරිසර පනත යටතේ මෙම වනාන්තරය පරිසර ආරක්ෂණ කලාපයක් ලෙසත්, පසුව 2010 වසරේදී යුනෙස්කෝව මෙම නකල්ස් පරිසර පද්ධතිය ලෝක උරුමයක් ලෙස නම්කරන ලද්දේ, මෙම වනාන්තරයේ ඇති පාරිසරික, ජෛවීය, සමාජීය හා ගෝලීය වැදගත්කම සලකාය.

 

නකල්ස් කදුවැටිය සංරක්ෂිත, ලෝක උරුම වනාන්තරයක් වුවත්, තංගප්පුව සිට අට්ටලමෙට්ටුව, කොබට්ස්ගැප් දක්වා වන මාර්ගය විශේෂයෙන් විදෙස් සංචාරකයින් අදාල අවසර ගැනීම්වලින් පසු මෙම ප්‍රදේශයේ සංචාරයේ නියැලෙති.ගම්වැසියන්ද ,ඉදහිට මෙම මාර්ගය පාවිච්චියට ගත්තද, ඒ සදහා වන නිළධාරින්ගෙන් බාධාවක් නොවීය. නමුත් තංගප්පුව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හිමිනමක් හා සංචාරක හෝටල පවත්වාගෙන යන කිහිප දෙනෙකු මෙම මාර්ගයේ සෆාරි ජීප් රථ ඇතුලුකිරිමට උත්සහගෙන තිබුනේ පාරිසරික අණ පනත් වලින් ආරක්ෂිත මෙම වනාන්තරට අදාල නීතිරීති වලට අභියෝග කරමිනි.මෙම හිමිනම වරක් අනවසරයෙන් බැකෝ යන්ත්‍රයක්ද මෙම කැලයට ඇතුලුකර මෙම මාර්ගය බලහත්කාරය පා ඩෝසර් කිරිමටද උත්සහකල බව වන නිළධාරිහු මෙි අතර චෝදනා කරති.

 

paara 2

 

පරිසර නීති අණපනත් නොසලකා ඉදිකිරීමට සුදානම් වන තංගප්පුව සිට කොබට්ස්ගැප් දක්වා වන පැරණි මාර්ගය

 

වර්ථමාන ආන්ඩුවෙි පාර්ලිමෙින්තු මංත්‍රීවරුන් වන ඊ.එම් බස්නායක , ජගත් මනුවර්ණ හා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් සී හේමකුමාර යන මහතුන්ගේ මැදිහත්වීමෙන් රංගල සිට තංගප්පුව දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමට අනුමැතිය ලබාදී තිබුනේ ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ආන්ඩු පක්ෂ මංත්‍රීවරුන් කිහිප දෙනෙක්ට ආධාර උපකාර කල ප්‍රදේශයේ හෝටල් හිමියන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමකටය.

 

ඒ අනුව තංගප්පුවෙි සිට කොබට්ස්ගැප් දක්වා වන කිලෝමීටර් 06ක දුරකින් යුතු කැලෑබද මාර්ග කපා කාපට් කිරිමටද ඔවුහු සුදානම් වුයේ වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි විරෝධය මැදය. වන සංරක්ෂණ දෙපාර්තමෙින්තු නිළධාරින් තමන් සතු සුවිශේෂි හා සංවේධී වනාන්තරයක් පාරක් ඉදිකර ඛණ්ඩනය කිරිමට ඉඩලබා නොදෙන බවට සෘජු ස්ථාවරයක සිටින අතර, මෙම මාර්ගය ඉල්ලා සිටින පිරිස්ද, පළාතේ දේශපාලනඥයින් හා තීන්දු ගතහැකි මට්ටමෙි නිළධාරින් හරහා මෙකී මාර්ගය ඉදිකරවා ගැනීමට මෙි මොහොතේ විවිධ ආකාරයෙන් බලපෑම් කරමින් සිටින්නේ, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට නොව මී මුරේ ගම්මානයට ප්‍රවේශ මාර්ගයක් ලබාගැනීමෙි අරමුනෙන් බව පවසමිනි. මත භේදකාරි මෙම මාර්ගයේ වර්තමාන තත්වය පිලිබදව අප මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානියකුගෙන් කල විමසිමකදී පැවසුවෙි, රංගල සිට තංගප්පුව දක්වා වන මාර්ගය කාපට් අතුරා සකස්කර අවසන් කලත්, තංගප්පුව සිට කෝබට්ස්ගැප් දක්වා වන පරිසර සංවෙිදී කලාපයේ කිලෝමීටර් 06ක දුරකින් යුතු මාර්ගය ඉදිකිරිම සදහා මෙතෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ලැබී නැති බවයි.

 

paara 5

paara 7

 

රංගල තෙල්දෙණිය, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ආචාර්ය කැන්දගොල්ලේ සුමනරංසි නායක හිමියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

 

නකල්ස් වනාන්තරයට අයත් තංගප්පුව ප්‍රදේශයේ සිට කොබටස්ගැප් දක්වා වන මාර්ගය වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව විසින් ඉඩ ලබා නොදීමෙන් තමන් වහන්සේගේ හා ප්‍රදේශයේ ජනතාවගේ මානව හිමිකම් කඩවී ඇති බව පවසා රංගල තෙල්දෙණිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ආචාර්ය කැන්දගොල්ලේ සුමනරංසි නායක හිමියන් 2025.11.09 දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව මානව හිමිකම් කොමිසමට පෙත්සමක් යොමු තිබුණි. රංගල තෙල්දෙණිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නායක හිමියන් මානව හිමිකම් කොමිසමට යොමුකර ඇති මෙම මහජන පෙත්සමේ අගතියට පත් ගමිවැසියන් ලෙස තිදෙනෙකුගේ අත්සන් යොදා තිබු අතර, ඔවුන් තිදෙනාම ගම්වැසියන් නොව මෙම ප්‍රදේශයේ සංචාරක හෝටල පවත්වාගෙන යන්නන් බව අපකල සොයා බැලීමෙිදී අනාවරණය විය.

 

 

මෙම පෙත්සමින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නායකහිමියන් පෙන්වා දෙන්නේ වන නිළදාරින් විසින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මාර්ගය මාස 03ක පමණ කාලයක සිට වසා දමා, යතුරු පැදියකටවත් මාර්ගයේ ගමන්ගත නොහැකි ලෙස, මාර්ගය හරහා තැනින් තැන ගල්වැටි යොදා ඇති බවයි.

 

 

එමෙන්ම වසර 200කට අධික කාලයක් රංගල, තංගප්පුව,මී මුරේ. කන්දේගම ගම්මාන ඇතුලත් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යාකරන, මෙම මාර්ගය වසා දැමීමෙන් මෙම මාර්ගය භාවිතාකරන විශාල පිරිසකට අගතියක් වී ඇති බවද උන් වහන්සේ පෙන්වාදී තිබේ.

 

මේ චෝදනාව සමිබන්ධයෙන් අප මෙම ප්‍රදේශයේ රාජකාරී කටයුතු කරන වන නිළධාරියකුගෙන් කල විමසීමකදී තම නම ප්‍රසිද්ධ නොකරන ලෙස ඉල්ලා සිටි මේ වන කිළධාරියා පැවසුවෙි මෙවැනි කථාවකි.

 

“හාමුදුරුවො කිව්වත් මෙි මාර්ගය වහලා කියලා එහෙම වෙලා නැහැ අදටත් සංචාරකයෝ මෙි මාර්ගය පාවිච්චි කරනවා, ඒ වගේම නකල්ස් තංගප්පුව ප්‍රවේශපත්‍ර කවුලුවෙි ඉදලා කෝබට්ස්ගැප් දක්වා මාර්ගයේ අපි පහුගිය කාලේ ආක්‍රමණික ශාක ගලවා ඉවත්කරලා සංචාරකයින්ගේ ගමන්වලට බාධාවක් නොවන ලෙස තැනින් තැන ගොඩගහලා තියෙනවා. ඊට අමතරව පස සෝදා යන ස්ථානවල අවශ්‍ය ස්තානවල කානු කපලා මාර්ගය සහ පස සේදි යාම පාලනය කරලා තියෙනවා ඒක තමයි හාමුදුරුවො කියන්නේ පාරට ගස් කපලා දාලා මාර්ගය මැද කානු කපලා කියලා.අනික හාමුදුරුවෝ කියනවා මෙි මාර්ගය විශාල පිරිසක් පාවිචිචි කරනවා කියලා. ඇත්තෙන්ම සංචාරකයෝ සහ ඉදහිට ගම්වැසියෙක් දෙන්නෙක් හැරෙන්න මෙි මාර්ගය කවුරුවත් පාවිචිචි කරන්නේ නැහැ. රංගල සහ තංගප්පුව ගම්වැසියන්ට තෙල්දෙනියට යන්නත්,මී මුරේ හා කන්දෙගම ගම්වාසින්ට තම අවශ්‍යතාවන් සපුරගන්න හුන්නස්ගිරියට හෝ උඩුදුම්බරට යන්න වෙන් වෙන්ව ඉදිකල ඉතා හොද කාපට් මාර්ග තියෙනවා. ගම්මු ඒ මාර්ග තමයි ඒ සදහා භාවිතා කරන්නේ. පහුගිය කාලේ සිදුවු ආපදා තත්වය නිසා හුන්නස්ගිරිය- මී මුරේ මාර්ගය තැනින් තැන නාය ගිහින් තියෙනවා ඒ ගැටලුව තව දවස්කිහිපයකින් මාර්ගය ක්ලීයර් කලාම අවසන් වෙනවා" හෙතෙම පවසයි.

 

 

ආචාර්ය කැන්දගොල්ලේ සුමනරංසි නායක හිමියන්, මානව හිමිකම් කොමිසමට යොමුකර ඇති පෙත්සමින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ,තැපැල් දෙපාර්තමෙින්තුව ආරම්භයේ සිට මී මුරේ දක්වා ලියුම් රැගෙන ගියේද, ප්‍රදේශයේ විහාරස්ථානවල කඨින පිංකම් සදහා කෙටි මාර්ගයක් ලෙස භාවිතා කලේද මෙම මාර්ගය බවයි.එමෙන්ම මෙම මාර්ගය වෙළද වාහන ගමනාගමනයට යොදාගත් බවත්,ඒ නිසා ඔවුන්ට දෛනික රැකියා කටයුතු සිදුකර ගැනිමට නොහැකිව අසරණ වී ඇති බවත්.මෙහිදි උන් වහන්සේ තවදුරටත් පෙන්වාදේ. එමෙන්ම හුන්නස්ගිරිය, ලූල්වත්ත, කෝබර්ට්ගැප් හරහා මී මුරේ දක්වා ගමන් ගන්නා මාර්ගය,අධික වැසි සහිත කාලයේදී පස්කඳු කඩා වැටීම නිසා මාර්ගය වසා දැමිමෙිදී තෙල්දෙනිය, මැද දුම්බර දක්වා ප්‍රවාහන මාර්ගයක් ලෙස මෙම මාර්ගය යොදාගත් බවද උන් වහන්සේ පවසයි. රංගල තෙල්දෙණිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේ නායක හිමියන්ගේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන වන සංරක්ෂණ නිළධාරින් පවසන්නේ,මී මුරේ ගම්මානයට ලියුම් බෙදන තැපැල්කරු පා ගමනින් ගොස් එම කටයුත්ත අදටත් සිදුකරන බවත් වන නිළධාරින්ගෙන් ඒ සදහා ඔහුට බාධාවක් නැතිබවයි. එමෙන්ම මෙම මාර්ග කොටස කථින පිංකම් සදහා යොදාගන්නා බව සුමනරංසි නායක හිමියන් පැවසුවද එය අසත්‍යක් බව පවසන වන නිළධාරින් පෙන්වාදෙන්නේ. මී මුරේ වැසියන්ට මීමුරේ ගම්මානයේ විහාරස්ථානයක් හා තංගප්පුව වැසියන්ට එම ප්‍රදේශය මුල්කර ගනිමින් විහාරස්ථානයක් තිබියදී, මෙි මාර්ගය කඨින පිංකම් සදහා යොදාගන්නවා යැයි පැවසීම මානව හිමිකම් කොමිසම හිතාමතාම නොමග යැවීමක් බවයි.

 

paara 8

 

මෙහිදි වන නිළධාරින් තවදුරටත් පෙන්වා දෙන්නේ,නායක හිමියන් විසින් මෙම මාර්ගය දෛනික රැකියාවල නියුතු පිරිස් විශාල වශයෙන් පාවිචිචියට යොදාගන්නා බව පැවසුවද එය අසත්‍යක් බවයි.මීට දශක 06කට පෙර මෙම මාර්ගය තේ දලු ප්‍රවාහණයට යොදාගත්තද, මෙි වන විට මෙම ප්‍රදේශයේ තේ වගාව සිදුනොවන නිසා කිසිවෙකු මෙම මාර්ගය භාවිතයට නොගන්නා බවද මෙි වනවිට එය ගමනාගමනයට අපහසු වනගත මාර්ගයක් වී ඇති බවද වන නිළධාරිහු අවධාරනය කරති.

 

හදිසි ආපදා තත්වය ප්‍රයෝජනයට ගනිමින් තංගප්පුව සිට කෝබට්ස් ගැප් හරහා මී මුරේ දක්වා වන මාර්ගය කැපීමට අලුත් වටයකින් සුදානමක්

 

 

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට යැයි පවසමින් ලෝක උරුම නකල්ස් කදුවැටිය මතින් වැටී ඇති තංගප්පුව- කෝබට්ස් ගැප් මාර්ගය විවෘතකර ගැනීම අසීරුවිමෙන් පසු මෙම ප්‍රදේශයේ හෝටල කිහිපයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් පිරිසක්, ගමේ සහ පළාතේ ආන්ඩුපක්ෂ මංත්‍රීවරු පිරිසක් අල්ලාගෙන, මී මුරේ ගම්මානයට ප්‍රවේශ මාර්ග අවහිර වී ඇතැයි පවසා, විකල්ප මාර්ගයක් ලෙස මෙම මාර්ගය කැපීම සදහා අලුත් වටයකින් සුදානමක් ඇතැයි පරිසර සංවිධාන පවසයි.ඔවුන් පෙන්වා දෙන්නේ ඉකුත් අධික වැසි සමග හුන්නස්ගිරිය- මී මුරේ මාර්ගයේ ස්ථාන කිහිපයක් නාය යෑමෙන් පසු තංගප්පුව- කෝබට්ස්ගැප් මාර්ගය හරහා මී මුරේට භාන්ඩ ප්‍රවාහණය කල හැකි බවට කිසියම් සංවිධානාත්මක පිරිසක් ජනතාව හා ආන්ඩුව නොමග යවනසුලු මතයක් පතුරමින් ඇති බවයි.

 

“මී මුරේ කියන්නේ, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානයක්.ඒ ගමෙි නාය යෑම්වලින් අවතැන් වුවන්ට අවශ්‍ය ආහාරද්‍රව්‍ය හා අනෙකුත් අවශ්‍යතාවන් ලබාදෙන්නේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසිනුයි.ඒ වගේම මෙි ගම්වැසියන්ගේ සියලු දෛනික කටයුතු සියල්ල ගැටගැහිලා තියෙන්නේ හුන්නස්ගිරිය සහ උඩුදුම්බර නගරත් එක්කයි.එහෙම නැතිව තෙල්දෙණිය නගරයත් එක්ක නෙමෙයි. අනික මී මුරේට ප්‍රවේශ මාර්ගයක් ලෙස ඉල්ලන තංගප්පුව- කෝබට්ස්ගැප් මාර්ගයෙන් යන්න පුලුවන් කෝබට්ස්ගැප් දක්වා විතරයි. එතන ඉදලා මී මුරේට තවත් කිලෝමීටර් 19 ක් තියෙනවා. මෙි වෙනකොට හුන්නස්ගිරියේ ඉදලා මී මුරේට යට ප්‍රධාන මාර්ගය කෝබට්ස්ගැප් ආසන්නයටම ක්ලියර් කරලා ඉවරයි. ඒ නිසා නකල්ස් හරහා ඇති මෙි කැලැබද මාර්ගය මී මුරේට විකල්ප මාර්ගයක් ලෙස ඉල්ලා සිටිම විහිලුවක්. අනික මෙි මාර්ගය ඉල්ලන්නේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් මිසක,මීමුරේ ගම්මානය අයත් උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලේකම්තුමිය නොවීමත් ගැන අපි අවධානය යොමුකල යුතුයි.“

සොබා පදනමේ අනුර වික්‍රමසිංහ මහතා පවසයි.

 

හදිසි ආපදාතත්වය පෙරට දමා වන නිළධාරින්ටත් නොදන්වා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා ඩෝසර් යොදා තංගප්පුව -කෝබට්ස්ගැප් හරහා මීමුරේ දක්වා ඇති මාර්ගය කැපීමට හමුදාවට උපදෙස් දීලා

 

paara 6

 

 

මේ පසුබිමක් තුල ඉකුත් දෙසැම්බර් මස 04 පොහොය දින, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් හදිසියේ ප්‍රාදේශීය ආපදාකමිටුව කැඳවා තිබුණි.ඒ අධික වර්ෂාවත් සමග ප්‍රදේශයට බලපෑ ආපදා තත්වය පිලිබදව සාකච්ජා කිරිමටය. ඒ සදහා මීට සම්බන්ධ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක නිළධාරින් පැමින තිබුණි.එහිදි ප්‍රදේශයේ ආපදා තත්වය වඩා උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මී මුරේ ගම්මානයට බලපා තිබෙන ආපදා තත්වය ගැන අවධානය යොමුකල මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගප්පුව ග්‍රාම නිළධාරිවසමේ ග්‍රාම නිළධාරිවරයා මී මුරේ ගම්මානයට යා හැකි විකල්ප මාර්ගයක් ලෙස තංගප්පුවෙි සිට කෝබට්ස්ගැප් දක්වා වන, පාවිච්යට නොගන්නා කැලැබද මාර්ගය ඩෝසර් යොදා සකස් කිරිමට සුදුසු බව යෝජනාකර තිබෙි. ඒ අනුව මැදදුම්බර ප්‍රාදේශිය ලේකම්වරයා මෙම කැලැබද මාර්ග කොටස නකල්ස් රක්ෂිතයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රදේශයක් බව දැන දැනම, තංගප්පුවෙි සිට කොබට්ස්ගැප් දක්වා මාර්ගය ඩෝසර් යොදා පිලිසකර කිරිමට ඔහු යුධ හමුදාවට උපදෙස් ලබාදී ඇති බව, වන නිළධාරිහු චෝදනා කරති. අප මෙි සමිබන්ධයෙන් මැද දුම්බර ප්‍රාදේශිය ලේකම් නුවන් හේමකුමාර මහතාගෙන් කල විමසිමකදී ඒ මහතා පැවසුවේ, වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව සතු කැලෑ ඉඩම්වලින් මාර්ග ඉදිකිරිමට අවසර ලබාදීමට තමන්ට බලයක් නැතිමුත්, මෙම රැස්වීමෙිදී මී මුරේ දක්වා ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරිමට පැමිණි යෝජනාව, නිසා මාර්ගය අයිති පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට මෙම මාර්ගය කපා මී මුරේ ගම්මානයට ප්‍රවේශවීමට මාර්ගයක් ඉදිකරන ලෙස දැනුම්දුන් බවයි.කෙසේ නමුත් මෙම මාර්ගය ඩෝසර් යොදා පිලිසකර කිරිමට යුධ හමුදාව එම ප්‍රදේශයට ගොස් තිබුනද, වන සංරක්ෂණ නිළධාරින් ඔවුන්ට කරුණු පැහැදිලි කිරිමෙන් පසු යුධ හමුදාවේ නිළධාරින් මාර්ගය කැපීමෙන් ඉවත්ව තිබුණි.

 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති, මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටුවෙිදී තංගප්පුව- කෝබට්ස්ගැප් හරහා මී මුරේ දක්වා යන මාර්ග යෝජනාව ජනාධිපතිවරයා නොතකාහරී.

 

මහනුවර දිස්ත්‍රික්කයට අධික වර්ෂාවෙන් හා නාය යෑම් වලින් පිඩාවට පත් ජනතාව සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයගේ ප්‍රධානත්වයෙන් හදිසි දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීමක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබුවෙි ඉකුත් දෙසැම්බර් මස 06 දාය. එහිදිද මෙම මාර්ගය සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මංත්‍රීවරයකු වන ඊ.එම් බස්නායක මහතා ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකලේය.නමුත් ඒ පිලිබදව නොතැකු ජනාධිපතිවරයා හුන්නස්ගිරිය සිට මී මුරේ දක්වා වන ප්‍රධාන ප්‍රවේශ මාර්ගය විවෘත කිරිමට කොපමන දින ප්‍රමාණයක් ගත වේදැයි පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් සමාන්‍යාධිකාරි ඉන්දික පුවක්ගොල්ල මහතාගෙන් විමසා තිබුණි. එහිදි ඒ මහතා පවසා තිබුනේ දින 05ක් ඇතුලත එම මාර්ගය සම්පුර්ණයෙන්ම පිලිසකර කල හැකි බවයි. කෙසේ නමුත් මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව තෙක් එම මාර්ගය මී මුරේ ගම්මානය තෙක් පිලිසකර කර නොතිබුන බැවින් අප මෙි සම්බන්ධයෙන් ඒ මහතාගෙන් විමසිමක් කලෙමු.එහිදි ඉන්දික පුවක්ගොල්ල මහතා මෙසේ පැවසීය.

 

“හුන්නස්ගිරියේ ඉදලා කිලෝමීටර් 11ක් සම්පුර්ණයෙන්ම අපි මෙි වෙනකොට වාහන ගමනාගමනයට පහසු විදිහට පිලිසකර කරලා අවසන්. මෙි වෙනකොට අපි ඉන්නේ අත්තලවෙට්ටුව ප්‍රදේශයේ නාය ගිය තැනක පස් ඉවත් කරමිනුයි. කොහොම උනත් මාර්ගය කැඩිලා ගිහිල්ලා ලොකු හානියක් වෙලා නොතිබුනොත් තව සතියකට අඩු කාලයක් තුලදි අපට හුන්නස්ගිරිය - මී මුරේ දක්වා මාර්ගය සම්පුර්ණයෙන් විවෘත කරන්න පුලුවන්"

හෙතෙම අප සමග පැවසීය.

 

 

ඉල්ලා සිටින රංගල තංගප්පුව - කෝබට්ගැප් හරහා මී මුරේ දක්වා මාර්ගයත් නාය ගිහින්

 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් පෙන්වා දෙන අන්දමට තංගප්පුවෙි සිට කොබට්ස්ගැප් දක්වා නකල්ස් වනාන්තරය දක්වා ඇති මාර්ගය ස්ථාන 20 කින් පමන මෙි වනවිට නාය ගොස් තිබෙි.ඔවුන් පවසන්නේ මෙම කිලෝමීටර් 06 ක දුරකින් යුතු මාර්ග කොටස තමන් විවෘත කලද, එතැන සිට මී මුරේ දක්වා යාමට ඇති කොටසද මෙි වනවිට නාය යෑම් හේතුවෙන් විනාශ වී ඇති නිසා එයද පිලිසකර කල යුතුව ඇති බවයි. මෙි සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් විශේෂ සමිබන්ධිකරණ කමිටු රැස්වීමෙිදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙි ප්‍රධානියකු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේද තංගප්පුව සිට කෝබට්ස්ගැප් දක්වා ඇති මෙම කැලෑ කොටස අධික ලෙස නාය ගොස් ඇති නිසා එම මාර්ගයද කඩිනමින් පිලිසකර කිරිමට නොහැකි තරමට විනාශ වී ඇති බවයි.

 

 

නකල්ස් කඳුවැටිය එහි නීතිමය සම්මුතීන් හා ජෛව විද්‍යාත්මක වටිනාකම

 

නකල්ස් කදුවැටිය මධ්‍ය කදුකරයේ හෙක්ටයාර 21000ක් පුරා ව්‍යාප්තව තිබේ. ඉංශ්‍රීසින් විසින් 1873 වසරේදී දුම්බර කදුවැටියේ මුහුදු මට්ටමෙි සිට අඩි 5000 වඩා ඉහළින් ඇති වළාකුලු වනාන්තර ප්‍රදේශ දේශගුණික රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කල අතර එය නකල්ස් කදුවැටියේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ප්‍රථම නීතිමය ආරක්ෂාව වෙි.

 

 

paara 4

 

 

ඉන්පසු වසර 127කට පසුව 2000 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව විසින් මෙය වන සංරක්ෂණ ආඥාපනත යටතේ සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කලේය.2007 වසරේදී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙසත්,2008 වසරේදී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් නම්කරන ලද්දේ මෙම පරිසර පද්ධතියේ ඇති මිලකල නොහැකි භු විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක වටිනාකම සැලකිල්ලට ගෙනය. පසුව 2010 වසරේදී මෙම දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස එක්සත් ජාතින්ගේ යුනෙස්කෝ සංවිධානය ( UNESCO – United Nations Educational, Scientific and Cultural Organization ) නම් කලේය.එසේ ප්‍රකාශයට පත්කර ඇත්තේ අප රටට ලැබී ඇති මෙම අනර්ඝ දායාදය ලොව සිටින සමස්ථ මානව වර්ගයා වෙනුවෙන්ම ආරක්ෂාකර ගනු ඇතැයි අපේක්ෂාවෙනි.

 

දුම්බර කදුපංතිය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මිනිපේ,උඩුදුම්බර,මැදදුම්බර, හා පන්විල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ හතරෙන්ද, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල,රත්තොට,ලග්ගල,පල්ලේගම, හා විල්ගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ පහෙන්ද මායිම්ව පවති.

 

දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ එහි පවතින අමිල වටිනාකම නිසා ය. සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගඟේ ප්රධානත ම ජල පෝෂක ප්රදේශය යි. මහවැලි ගගේ ජල පෝෂක ප්රදේශ අතුරින් සියයට 30ක් පමන පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. මේ කඳුකරයේ බටහිර බෑවුමෙන් පටන්ගන්නා හුළු ගඟත්, නැගෙනහිර බෑවුමේ උතුරු කොටසින් පටන් ගන්නා කළු ගඟත්, නැඟෙනහිර බෑවුමේ දකුණු කොටසින් පටන් ගන්නා හීන් ගඟත් මහවැලි ගඟේ ප්රධාන පෝෂක දියදහරාවන් වෙයි.

 

මුහුදු මට්ටමේ සිට මීටර් 760 ත් මීටර් 1900 ත් අතර උච්චත්ව පරාසයේ පිහිටි සමස්ත දුම්බර කඳුකරයේ පැහැදිලි ව හඳුනාගත හැකි කඳු මුදුන් 35 ක් සහ කඳුවැටි 17ක් පමණ වෙයි. ඒ අතුරින් උස ම කඳුශිඛරය ගොම්බානිගල කඳුශිඛරය වෙයි. එහි උස මීටර 1904 කි. මීට අමතර ව නකල්ස් (මිටර 1862), කිරිගල්පොත්ත (මීටර 1646), දුම්බානාගල (මීටර 1642), කළුපහන (මීටර 1628), වමාරපුගල (මීටර 1558), දෝතළුගල (මීටර 1553), කෙහෙල්පොත්දෝරුවගල (මීටර 1528), පතනගල (මීටර 1514), තෙලඹුගල (මීටර 1331) හා ලකේගල (මීටර 1317) වැනි කඳුශිඛර ගණනාවකි.

 

මෙම කඳුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර), කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ්ර සදාහරිත වනාන්තර, ගංගාශ්රිත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්යාප්ත ව ඇත.

 

මෙම ස්වාභාවික පරිසර පද්ධතිවල අධික ශාක විවිධත්වයක් දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ, වලාකුළු වනාන්තර හෙවත් ඉහළ කඳුකර වනාන්තර ප්රදේශයේ මෙරටට ආවේණික කීන විශේෂ (Calophyllum trapezifolium, Calophyllum walkeri), ආවේණික ශාක විශේෂයක් වන Garcinia echinocarpa, කඳුකරයේ පමණක් වාර්තා වන මෙරටට ආවේණික දුර්ලභ නෙළු ශාක විශේෂ (Strobilanthes pulcherrima, Strobilanthes sexennis) දැකගත හැකි වේ. උප කඳුකර තෙත් වනාන්තර ආශ්රිත ව ලංකාවට ආවේණික මල් වෙරළු (Elaeocarpus gladulifer), මෙරටට ආවේණික මලබොඩ (Myristica dactyloides) වැනි ශාක ද, අතරමැදි කලාපීය කඳුකර වනාන්තරයන්හි මෙරටට ආවේණික මැටිදවුල (Actinodaphne stenophylla), ඇටවීර (Drypetes gardneri) වැනි ශාක ද දැකගත හැකි වේ. වියළි මිශ්ර සදාහරිත වනාන්තර ආශ්රිත ව මොර (Dimocarpus longan), ගැට බදුල්ල (Semecarpus nigroviridis), මිල්ල (Vitex altissima) වැනි ශාක වාර්තා වේ. ගංගාශ්රිත වනාන්තර තීරයේ තිඹිරි (Diospyros malabarica), කොටදිඹුල (Ficus hispida), අට්ටික්කා (Ficus racemosa), මෙරටට ආවේණික ඇටඹ (Mangifera zeylanica& වැනි ශාක දක්නට ලැබේ. තෙත් පතන් තෘණභූමි ආශ්රීත ව ඇත්අඩි (Elephantopus scaber), ආවේණික බිනර (Exacum trinervium), වැල් පත්පාඩගම් (Mollugo oppositifolia), පිටවක්කා (Phyllanthus debilis) හා නිල්මොනරැස්ස (Utricularia bifida) වැනි ශාක ද වියළි පතන් බිම්වල රුක්අත්තන (Alstonia scholaris), හීන් ඇටෝර (Cynodon dactylon), මානා (Cymbopogon nardus), ඉළුක් (Imperata cylindrica, Themeda tremula) වැනි ශාක විශේෂ ගණනාවක් දැකිය හැකි ය.

 

දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප්රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් සියයට 27.4 ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් සියයට 17.3 ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. කීන විශේෂයක් වන Calophyllum cuneifolium, දඹ විශේෂ වන Syzygium congylos, Syzygium madugodensis හා Eugenia apica යන ශාක විශේෂ හතර සහ මෑතක දී සොයා ගත් ෂකැං නබමජ්කැබිසි ශාකය දුම්බර අඩවියට ආවේණික ශාක වෙයි. දුම්බර අඩවියේ පිටවල පතන වැනි පතන් බිම්වල දක්නට ලැබෙන පතන් අල (Brachystelma lankana) ශාකය ද දුම්බර අඩවියට ආවේණික ශාක අතර වෙයි.

 

විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශ්රීත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ දැක ගත හැකි උඩවැඩියා ශාක විශේෂ අතර Adrorhizon purpurascens, Eria bicolor, Podochilus falcatus, Malaxis purpurea, Pholidota imbricata හා රාස්සන (Vanda tessellata) වැනි ශාක වෙයි.

 

මෙහි මීවන ශාක විශේෂ 42 ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 06 ක් ලංකාවට ආවේණික වෙයි. දුර්ලභ මීවන ශාක විශේෂ වන Elaphoglossum spathulatum, Botrychium daucifolium, Huperzia phyllantha හා Psilotum nudum දුම්බර අඩවියෙන් වාර්තා වේ.

 

දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.

 

උභයජීවීන්, උරගයන්, මත්ස්යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ.

 

මුළු ලොවින් ම දුම්බර කඳුකරයේ පමණක් ජීවත් වන උභයජීවී විශේෂ නවයක් වෙති. එනම් දුම්බර පඳුරු මැඬියා (Pseudophilautus fulvus), හොෆ්මාන් ගේ පඳුරු මැඬියා (Pseudophilautus hoffmanni), විශාල පාදැති පඳුරු මැඬියා (Pseudophilautus macropus), මුරි ගේ පඳුරු මැඬියා (Pseudophilautus mooreorum), ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා (Pseudophilautus steineri), ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා (Pseudophilautus stuarti), හැන්කේන්ගේ පඳුරු මැඬියා (Pseudophilautus hankeni), දුම්බර ගල්පර මැඬියා (Nannophrys marmorata) සහ දුම්බර වකරැලි මැඬියා (Lankanectes pera) යන විශේෂ නවයයි.

 

දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්ය විශේෂ අතුරින් එක් විශේෂයක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා (Labeo fisheri) හා දුම්බර පෙතියා (Systomus martenstyni) දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගඟේ ප්රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක් ආවේණික මත්ස්ය විශේෂය මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා (Dawkinsia srilankensis) ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගඟේ දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.

 

මෙරට වාර්තා වන සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා සර්ප විශේෂ අතුරෙන් තුනක් මුළු ලොවින් ම වාර්තා වන්නේ දුම්බර අඩවියෙන් පමණි. එනම් දුම්බර අඟ කටුස්සා හෙවත් පත්ර අඟ කටුස්සා (Ceratophora tennentii), දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා (Cophotis dumbara), පෙතියාගොඩගේ දැතිකොණ්ඩ රහිත කටුස්සා (Calotes pethiyagodai), ස්මිත්ගේ සර්ප හීරළුවා (Nessia bipes) යන සිව්පා උරගුන් හා සර්ප විශේෂ වන ෆිලිප්සිගේ තුඩුල්ලා (Rhinophis phillipsi), ගුණසේකරගේ තුඩුල්ලා (Rhinophis gunasekarai) හා දසිල්වාගේ මැඩිල්ලා (Aspidura desilvai) ඒ අතර වේ.

 

මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 35 අතුරින් 32 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා (Sri Lanka Woodpigeon), ගුරුකොණ්ඩයා (Yellow - eared Bulbul), ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush), ලංකා හම්බු කුරුල්ලා (Sri Lanka Warbler), අඳුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා (Dusky - blue Flycatcher), කඳුකර මල් කුරුල්ලා (Hill White - eye), කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie) වැනි පක්ෂීහු රැසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.

 

දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්යයනයක් සිදු කර නොමැති වුව ද 2000 වසරේ දී S.P. Benjamin සහ R.Jocque යන විද්යාඥයන් විද්යා ලොවට හඳුන්වාදුන් Suffasia mahasumana නම් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

 

මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. එනම්, Ceylonthelphusa sanguinea, Ceylonthelphusa callista, Ceylonthelphusa cavatrix හා Perbrinkia fido ය. මේ ජීවී විශේෂ සියල්ල දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ.

 

“වන සංරක්ෂණ ආඥාපනතේ 3අ(1) උප වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තරයක් ප්රකාශයට පත් කළ පසු ව පනතේ 3අ(3) හා (4) උප වගන්තිවලට අනුව සංරක්ෂණ වනාන්තරය සඳහා කළමනාකරණ සැලැසුමක් සකස් කළ යුතුයි. ඒ මත පමණක් නිශ්චිත කාර්යයන් ක්රියාත්මක කළ හැකි ය. එසේ නොමැතිව සංචාරක ක්ෂේත්රයේ ව්යාපාරිකයන්ට හෝ මන්ත්රිවරුන්ට හෝ ප්රාදේශීය ලේකම්වරුන්ට අවශ්ය සංරක්ෂණ වනයක ක්රියාත්මක කළ නොහැකි ය.

 

මෙම පනතේ 6 වන වගන්තියට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අනවසරයෙන් ඇතුළු වීම, ශාක හෝ ශාක කොටස් කැපීම හෝ ඉවත් කිරීම හෝ ඉඩම් එළිපෙහෙළි කිරීම හෝ පාරවල් තැනීම හෝ පාරක් වෙනස් කිරීම හෝ භාවිත කිරීම යන ක්රියාකරකම් සියල්ල ම තහනම්".

පරිසරවේදී සජීව චාමිකර පවසයි.

 

@ නයනජීව බන්ඩාර