ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මේ වන විට ද්විත්ව අර්බුදයකට මුහුණ දෙමින් සිටී.
එක් පසෙකින් ගෝලීය වෙළෙඳපොළේ මිල උච්චාවචනයන් මත විදේශීය සමාගම් විසින් දේශීය ඉන්ධන සැපයුම සීමා කර ඇති අතර, අනෙක් පසින් දැඩි ලාභාංශ පීඩනය හමුවේ වෙළෙඳපොළට නිකුත් වන ඉන්ධනවල ප්‍රමිතිය බාල වීමේ දැවැන්ත තාක්ෂණික අවදානමක් නිර්මාණය වී ඇත. අනාගතයේදී වාහන හිමිකරුවන්ට සිය එන්ජින් පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා අතිරේක "ඉන්ධන ප්‍රමිති රක්ෂණයක්" ලබා ගැනීමට සිදුවනු ඇතැයි යන විද්‍යාත්මක යථාර්ථය, වත්මන් සැපයුම් අර්බුදයත් සමඟ වඩාත් තීව්‍ර වී තිබේ.
ගෝලීය මිල අර්බුදය සහ විදේශීය සමාගම්වල සැපයුම් වර්ජනය
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති නොසන්සුන්තාව සහ රතු මුහුදේ නාවික ගමන් මාර්ගවලට එල්ල වී ඇති බාධා හේතුවෙන් ගෝලීය බොරතෙල් වෙළෙඳපොළේ 'බ්‍රෙන්ට්' බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත. මෙහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළෙඳපොළට එල්ල වී ඇත්තේ, වත්මන් මිල සූත්‍රයට අනුව ඉන්ධන අලෙවි කිරීමෙන් ඩීසල් ලීටරයකින් රුපියල් 160-170 ක පමණ අතිවිශාල පාඩුවක් විඳීමට සිදුවන බව පවසමින් විදේශීය සහ පෞද්ගලික සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හරහාය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ තහවුරු කරන පරිදි, මෙම තත්ත්වය මත දිවයින පුරා පිරවුම්හල් 500 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් අඩාල වී ඇත. ඒ අනුව ලංකා අයි.ඕ.සී (LIOC) පිරවුම්හල් 250ක්, සයිනොපෙක් පිරවුම්හල් 150ක් සහ ආර්.එම්. පාර්ක්ස් (RM Parks - Shell) පිරවුම්හල් 100ක් වෙත ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීම බෙහෙවින් සීමා කර තිබේ. තම තමන්ගේ විදේශ විනිමය භාවිතා කරමින්, තරගකාරී මිලකට අඛණ්ඩව ඉන්ධන සපයන බවට පොරොන්දු වෙමින් මෙරටට ඇතුළු වූ මෙම සමාගම්, ලාභ ලැබීම අභියෝගයකට ලක් වූ වහාම සැපයුම කපා හැරීමෙන් ඔවුන්ගේ සැබෑ වාණිජ අරමුණු මනාව පැහැදිලි වේ.
මූල්‍ය පාඩුව සහ "ඉන්ධන ප්‍රමිතිය" බාල වීමේ දැවැන්ත අවදානම
මෙම සැපයුම් සීමා කිරීමේ අර්බුදය සහ "ඉන්ධනවල ප්‍රමිතිය" අතර ඇත්තේ අතිශය භයානක අන්තර් සම්බන්ධයකි. සයිනොපෙක්, ආර්.එම්. පාර්ක්ස් සහ LIOC යන සමාගම් ශ්‍රී ලංකාව තුළ බොරතෙල් පිරිපහදු කිරීමක් සිදු නොකරන අතර, ඔවුන් ගෝලීය වෙළෙඳපොළෙන් නිමි ඛනිජ තෙල් (Refined Products) සෘජුවම ආනයනය කරනු ලබයි.
දැඩි නියාමන මිල සූත්‍රයක් යටතේ රුපියල් 160-170 ක පාඩුවක් ලබන විට, ඕනෑම බහුජාතික සමාගමක් තම අලාභය අවම කර ගැනීමට ගන්නා ඊළඟ පියවර වන්නේ අන්තර්ජාතික වෙළෙඳපොළෙන් "මිලෙන් අඩු, අවම ප්‍රමිතියෙන් යුත් " ඉන්ධන තොග තෝරා ගැනීමයි.
ගෝලීයව බොරතෙල්වල සල්ෆර් ප්‍රතිශතය ඉහළ යාමත් (Sour Crude), ඒවා පිරිපහදු කිරීමේ පිරිවැය අතිශයින් ඉහළ යාමත් නිසා, උසස් ප්‍රමිතියේ ඉන්ධන සඳහා වෙළෙඳපොළේ විශාල වටිනාකමක් පවතී. ලාභය පමණක් අරමුණු කරගත් සමාගම් විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සීමාවන් යන්තමින් සමත් වන, සල්ෆර් සහ අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත් නොකළ (Hydrodesulfurization නිසිලෙස සිදුනොවූ) බාල ඉන්ධන ගෙන ඒමේ ඉහළ සම්භාවිතාවක් දැන් නිර්මාණය වී ඇත.
නවීන වාහනවල පවතින Euro 4, Euro 6 එන්ජින් පද්ධති, අධි-පීඩන ඉන්ජෙක්ටර් සහ උත්ප්‍රේරක පරිවර්තක (Catalytic converters) මෙම අපද්‍රව්‍ය හමුවේ ඉතා ඉක්මනින් විනාශ වේ. රක්ෂණ සමාගම් විසින් මෙවැනි අභ්‍යන්තර කාර්මික දෝෂ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන බැවින්, පෞද්ගලික සමාගම්වල ලාභ පිපාසයේ අවසන් වින්දිතයා බවට පත්වන්නේ මෙරට වාහන හිමිකරුවාය. "ඉන්ධන දූෂණ රක්ෂණාවරණයක්" අවශ්‍ය වන යුගයක් කරා අපව තල්ලු කරන්නේ මෙම වාණිජ යාන්ත්‍රණයයි.
පිරිපහදු මිථ්‍යාවන් සහ ජාතික සම්පතේ වැදගත්කම
පෞද්ගලික සමාගම් සැපයුම සීමා කරන විට, පාඩු විඳිමින් හෝ පාරිභෝගිකයාට අඛණ්ඩව ඉන්ධන සැපයීමේ වගකීම මේ මොහොතේත් ඉටු කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි (Ceypetco). රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව රජය සහතික කරන්නේ CPC සතු ධාරිතාව මතය. මෙහිදී සපුගස්කන්ද පිරිපහදුව පිළිබඳව සමාජයේ පවතින මිථ්‍යාවන් බිඳ හෙළීම වැදගත්ය.
පසුගිය රජයන් සමයේදී හදිසි ටෙන්ඩර් හරහා බරැති සහ සල්ෆර් අධික රුසියානු 'යූරල්ස්' බොරතෙල් ගෙනවිත් සපුගස්කන්දේ පිරිපහදු කිරීමට යාමෙන් දැවි තෙල් ප්‍රමාණය ඉහළ ගොස් විදුලි බලාගාර පවා විඛාදනයට ලක්වීමේ ජාතික ඛේදවාචකයක් නිර්මාණය විය.
සපුගස්කන්දට වඩාත්ම ආර්ථික සහ තාක්ෂණික වශයෙන් ගැළපෙන්නේ UAE හි නිෂ්පාදිත සල්ෆර් අවම, API ගුරුත්වාකර්ෂණය ඉහළ 'මර්බන්' (Murban) වැනි සැහැල්ලු බොරතෙල්ය. (මර්බන් යනු සමාජයේ මතයක් පවතින පරිදි ඉරාන නිෂ්පාදනයක් නොවේ). නිවැරදි බොරතෙල් වර්ගය ලබා දෙන්නේ නම්, විදේශීය නිමි ඉන්ධන ආනයනකරුවන්ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට මුහුණ දීම සඳහා ජාතික පිරිපහදුව ප්‍රබල පලිහක් ලෙස භාවිතා කළ හැක.
රජයේ දැඩි ස්ථාවරය: ඒකාධිකාරයට සහ ජනතා පීඩාවට ඉඩක් නැත
විදේශීය සමාගම්වල සැපයුම් වර්ජනය මගින් වෙළෙඳපොළ තුළ කෘත්‍රිම හිඟයක් මවා රජයට බලපෑම් කිරීමට උත්සාහ කළද, රජයේ විශ්වාසවන්ත තොරතුරු මාර්ග දැඩිව තහවුරු කරන්නේ වත්මන් රජය කිසිදු අයුරකින් මෙම විදේශීය සමාගම්වලට මෙරට බලශක්ති ඒකාධිකාරයක් ගොඩනැගීමට හෝ ඔවුන්ගේ මූල්‍ය අර්බුදයන්හි බර ජනතාව මත පැටවීමට ඉඩ නොතබන බවයි.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර ඇති පරිදි පෞද්ගලික සමාගම් සමඟ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, සැප්තැම්බර් අග භාගයේදී යම් මිල සංශෝධනයක් හෝ සහන පියවරක් පිළිබඳව සලකා බැලේ. එහෙත් එය හුදෙක් විදේශීය සමාගම්වල කොන්දේසිවලට යටත් වීමක් නොවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිය වී ඇත්තේ ජාතික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමයි. පෞද්ගලික සමාගම් තරගකාරීත්වය වෙනුවට අර්බුද අවස්ථාවලදී වගකීමෙන් පලා යන්නේ නම්, රාජ්‍ය අංශය (Ceypetco) ශක්තිමත් කරමින් වෙළෙඳපොළ සමතුලිතතාවය පවත්වා ගැනීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
විදේශීය සමාගම් ලාභ අරමුණු කරගෙන අඩු ප්‍රමිතියේ ඉන්ධන ආනයනය කිරීම වැළැක්වීම සඳහා කොලොන්නාව සහ මුතුරාජවෙල පිහිටි CPSTL තත්ත්ව පරීක්ෂණ රසායනාගාරවල ක්‍රියාවලිය කිසිදු වාණිජ බලපෑමකින් තොරව 100% ක් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත යුතුය.
මහජන උපයෝගිතා කොමිසම හරහා පිරවුම්හල් මට්ටමින් රසායනික සලකුණු යොදාගනිමින් හදිසි ප්‍රමිති පරීක්ෂාවන් අනිවාර්ය කරනු ඇත
විදේශීය සමාගම්වලට හිතුමතේ සැපයුම සීමා කිරීමට ඇති හැකියාව අනාගතයේදී නීතිමය එකඟතාවන් හරහා දැඩි ලෙස නියාමනය වනු ඇත.
බලශක්ති අර්බුද හමුවේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව යනු හුදෙක් ඉන්ධන පෝලිම් නැති කිරීම පමණක් නොවේ. එය ජාතික ප්‍රවාහන පද්ධතියේ නිරෝගීභාවය තහවුරු කරන 'ප්‍රමිතියෙන් යුත්' සැපයුමක් විය යුතුය. එසේ නොවුණහොත්, ඉන්ධන පෝලිම් වෙනුවට අනාගතයේදී අපට දකින්නට ලැබෙනු ඇත්තේ, බිඳවැටුණු එන්ජින් වෙනුවෙන් රක්ෂණ සමාගම් ඉදිරිපිට පෝලිම් ගැසී සිටින වාහන හිමිකරුවන්ය.
කෙසේ වුවද වත්මන් අර්බුදය හමුවේ ඛනිජ තෙල් ප්‍රමිතීන් පාවාදීමට හෝ විදේශීය සමාගම්වල ඒකාධිකාරී තර්ජනවලට යටත් වීමට රජය සූදානම් නොමැති බව මේ වන විටත් ක්‍රියාවෙන්ම ඔප්පු කර අවසන්ය.
#NiromiSubramaniyam

