හෝටන් තැන්නට නව මාර්ගයක් ඉදිකිරීමට සූදානම් වේ. හෝටන් තැන්න යනු
තාර යෙදූ මාර්ග ඉදිනොකලේ නම් සංවහනයෙන් පමණක් එම ද්‍රව්‍ය ඇතුල් විය හැකි භෞමික පිහිටීමකි. තාර (Asphalt/Bitumen) යනු එක් වරක් යෙදූ පසු නිශ්චලව පවතින දෙයක් නොවේ. එය වාහන වල ඝර්ෂණය, හිරු එළිය සහ ජලය නිසා නිරන්තරයෙන් ක්ෂය වෙමින් පවතින ක්‍රියාකාරී රසායනික ප්‍රභවයක් ලෙස විවිධ අයුරින් පරිසරයට මුසු වේ.
තාර යනු බොරතෙල් පිරිපහදුවේ අවසන් සහ ඝනම අපද්‍රව්‍යයයි. මේවා ස්වභාවධර්මයට සම්පූර්ණයෙන්ම ආගන්තුක වන්නේ ඒවායේ අඩංගු "ආගන්තුක" සහ මාරාන්තික සංයෝග රසායනික සංකීර්ණත්වය නිසාවෙනි. තාර වල ඇති දරුණුතම සංයෝග කාණ්ඩය ලෙස හැඳින්වෙනුයේ Polycyclic Aromatic Hydrocarbons (PAHs)ය. ක්ෂුද්‍ර ජීවීන්ට හෝ පසට මේවා ජීර්ණය කළ නොහැක. මේවා සෘජුවම භූගත ජලයට සහ ගංගා වලට එකතු වේ. එමගින් මිනිසුන්ට, ජීවීන්ට, ගහ කොළට මේවා දැඩි ලෙස බලපෑම් කරන බව පැවසේ.

වැනේඩියම් (Vanadium), නිකල් (Nickel), සහ ඊයම් (Lead) වැනි බැර ලෝහ (Heavy Metals) තාර වල අඩංගු වන අතර, මේවා කාලයත් සමඟ පසට සහ ජල දහරාවන්ට කාන්දු වේ. තාර මතුපිටක ඇතිවන ඝර්ෂණය නිසා වාහන ටයර් ගෙවී යාමෙන්, අතිවිශාල ක්ෂුද්‍ර ප්ලාස්ටික් තොගයක් මෙන්ම '6PPD-quinone' නම් රසායනිකය පරිසරයට මුදා හැරේ. මෙය ජලජ ජීවීන් ඇතුළු සියලු ජීවීන් හට අතිශය විෂ සහිතය.
කෘෂිකාර්මික කෘමිනාශක හෝ කර්මාන්තශාලා වලින් මුදාහරින PFAS ("Forever Chemicals") වැනි දෑ වල මීට වඩා ක්ෂණික විෂ සහිත (acute toxicity) සංයෝග පැවතිය හැක. එහෙත් තාර සුවිශේෂී වන්නේ එහි පරිමාව සහ ව්‍යාප්තිය (Volume and Ubiquity) නිසාවෙනි.

පෘථිවියේ විශාලතම භූමි ප්‍රමාණයක් වසාගෙන සිටින කෘත්‍රිම ස්තරය වන්නේ තාරය. එමගින් සෑම දිනකම, සෑම මොහොතකම ටොන් මිලියන ගණනක් දිරාපත් නොවන ක්ෂුද්‍ර අංශු සහ කාබනික වායු අපගේ පසට, ජලයට සහ වාතයට එකතු වේ. කෘමිනාශක නිශ්චිත භූමියකට සීමා වන විට, තාර යනු සමස්ත පරිසර පද්ධතියේම රුධිර නාල (ජල මාර්ග) පුරා පැතිරී යන අඛණ්ඩ වස විස වෑස්සීමකි.
තාර දැමීම යනු හුදු පරිසර දූෂණයක් පමණක් නොව, වත්මන් සමාජ-ආර්ථික ව්‍යුහය විසින් "ස්වභාවය" (nature) මත බලහත්කාරයෙන් පටවා ඇති, කිසිදා නොදිරන භෞතික බලපෑමකි. මෙම යථාර්ථය සමාජ කතිකාවෙන් යටපත් වන්නේ, යටිතල පහසුකම් ව්‍යාප්තිය යනු කිසිසේත්ම ප්‍රශ්න කළ නොහැකි "ප්‍රගතියක්" ලෙස දෘෂ්ටිවාදීමය වශයෙන් තහවුරු කර ඇති බැවිනි.
වත්මන් ධනවාදයට භාණ්ඩ සහ සේවාවල "බාධාවකින් තොරව සුමටව ගලා යාමක්" අවශ්‍ය වේ (ධනවාදයට සැබවින්ම අවශ්‍ය වන්නේ මෙය තව තවත් වේගවත් කිරීමයි). කළු පැහැති, සුමටව කාපට් කළ මාර්ගය යනු මෙම ධනවාදී ෆැන්ටසියේ භෞතික සංකේතයයි. අපට දෘෂ්ටිවාදීමය වශයෙන් උගන්වා ඇත්තේ මෙම සුමට මතුපිට "ප්‍රගතිය" ලෙස දැකීමටය (සුමට මතුපිට සහ ප්‍රාග්ධනයේ සංසරණය). එම තාර මාර්ගය නිරන්තරයෙන් ගෙවී යමින්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ විෂ රසායන පසට මුදාහරින ජීවමාන, දිරාපත් වන වස්තුවක් බව දැකීමට අපේ දෑස් අන්ධ කර ඇත්තේ මෙම සංවර්ධන දෘෂ්ටිවාදය විසිනි (මෙහි “ප්‍රගතිය” හෝ “සංවර්ධනය” 'ස්වාමි හැඟවුම්කාරක'/master signifier ලෙස ක්‍රියා කළ හැකිය). එබැවින් "ජනතාව" “තාර” දකින්නේ තාර ලෙස පමණක් නොවේ. ඔවුන් දකින්නේ “සංවර්ධනයයි”.
නූතනත්වයෙන් පසු කාර්මික ධනවාදය තුල සහ විශේෂයෙන්ම 1960න් පමණ පසු කසල යනු පැරණි අර්ථයෙන් කසල නොවේ. එකල කසල යනු ගසක් මුලට පොහොර සේ දැමිය හැකි ද්‍රව්‍ය වල එකතුවක් වුව ද අද කසල බැහැර කිරීම සඳහා විද්‍යාඥයින්ගේ මග පෙන්වීම් සහ අචාර්ය උපාධි ඇති අයගේ උපදෙස් අවශ්‍ය වේ. අප කුණු හෝ අපද්‍රව්‍ය බැහැර කළ විට, අප අපේක්ෂා කරන්නේ ඒවා අපගේ ඇසින් තොර "වෙනත් හිස් ලෝකයකට" (into the void) අතුරුදහන් වනු ඇති බවයි. තාර මාර්ග සම්බන්ධයෙන් ද සිදුවන්නේ මෙයයි. ඇසට පෙනෙන විශාල කසළ කඳු ගැන කතා කරන සමාජය, ටොෆියක් කා කොලය නිසි ලෙස බැහැර කරන උගතුන් ඇති සමාජය, තාර මාර්ගවලින් දිනපතා ගෙවී ගොස් භූගත ජලයට එකතු වන මාරාන්තික රසායන ගැන කතා නොකරයි. එය ඔවුනට කිසි ලෙසකින් නොපෙනවා නොවේ. ඔවුනට පෙනේ. නමුත්, පෙනුණත් ඔවුනගේ ව්‍යවහාරය තුල එය නොපෙනෙන දෙයක් ලෙසම පවත්වාගෙන යයි.
තාරවලින් වෑස්සෙන මෙම විෂ යනු සංවර්ධනය” යන සංකේතීය ගොඩනැන්වීම තුළ සම්පූර්ණයෙන් අර්ථගත කළ නොහැකි ඉතිරියක් ලෙස භායනක ආකාර වලින් ඉස්මතු වේ (යථ/the Real). එනම් එය සංකේතීය ලෝකයේ (සංවර්ධනයේ) මතුපිටින් යටපත්ව තිබී, ජලය සහ පස දූෂණය වීම හරහා යළිත් රෝග 'ලක්ෂණයක්' (symptom) ලෙස අප වෙතම කඩා වදියි. ඉන් පසු එම ක්ෂිතිය නැවතත් අර්ථවත් වන්නේ (symbolize) පවතින "විද්‍යාත්මක සංකේත රටාව" තුලය (සාමාන්‍ය සමාජයේ නොව, අදාළ විද්‍යාඥ ප්‍රජාවට අයත් "සුවිශේෂී සංකේත රටාවක්" තුලය). ඒ අනුව ඊනියා විකල්ප සහ ඊනියා විසඳුම් පැමිණෙන්නේ ඒ තුලිනි. එනම් "සුවිශේෂී සංකේත රටාවක්" තුලින් පැමිණ නැවතත් ඒවා ස්ථාපනය වන්නේ පවතින 'සංකේත රටාව' තුලමය. උදාහරණ ලෙස අපට හුස්ම ගැනීමට බැරි වූ තරම් වාතය විස වී ඇති විට අප කල යුත්තේ ඔක්සිජන් බෝතල් භාවිතා කිරීම හෝ වායු පෙරන භාවිතා කිරීමයි. එසේම වතුර බීමට සිදුව ඇත්තේ ජල පෙරනයන් මගින් පිරිසිදු කිරීමෙන් පසුවය (මේ තත්වය තුල ඉදිරියේදී පානීය ජල අර්බුධය උග්‍ර වනු ඇත).
"පරිසරවාදය යනු ජනතාවට දෙන නව අබිං විශේෂයකි." එනම්, ප්‍රධාන ධාරාවේ පරිසරවාදය (උදා: කඩදාසි බෑග් භාවිතය, පොලිතීන් සීමා කිරීම, කුණු වෙන් කිරීම... වැනි) යනු සැබෑ ව්‍යුහාත්මක ප්‍රශ්නය වසං කරන දෘෂ්ටිවාදී ව්‍යවහාරයයි. යටිතල පහසුකම් පුළුල් කිරීම (තාර දැමීම) වැනි යෝධ ව්‍යුහාත්මක දූෂණයන් නොදැක්කා සේ හිඳිමින්, සුළු පාරිසරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් අප අපගේ හෘද සාක්ෂිය පිරිසිදු කර ගනී. තාර මාර්ගය යනු "මානවයා" පෘථිවිය මත ඇති කළ දරුණුතම "ආගන්තුක" මැදිහත්වීමක් වුවත්, දෘෂ්ටිවාදය එය අපට අත්‍යවශ්‍ය, "ප්‍රගතිශීලී" ("මානවයා" ගින්දර සොයා ගත් දිනයේ සිට වන සමාජ සංවර්ධනය) සාමාන්‍ය දෙයක් බවට පත් කර ඇත.
වේල්සයේ මෑතකදී කළ ව්‍යාපෘතියකින්, භාවිත කළ ළදරු නැපි ටොන් ගණනින් ප්‍රතිචක්‍රීකරණය කර මාර්ග සෑදීමට යොදාගෙන ඇත. ඉන්දියාව ද ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගෙන මාර්ග කිලෝමීටර් ලක්ෂ ගණනක් සාදා ඇත. නෙදර්ලන්තය ද මෙවැනි සනීපාරක්ෂක ද්‍රව්‍ය තාර සමග මිශ්‍ර කර මාර්ග සාදයි. ලංකාවේද කාගිල්ස් වැනි ආයතන තම භූමිය සකස් කර ගැනීම සඳහා මෙය සිදු කෙරයි. මෙවැනි මෝඩ විකල්ප තුලින් සිදුවන්නේ වැඩි වැඩියෙන් එම ප්ලාස්ටික් නිෂ්පාදන සිදු කල හැකි වීම සහ ඒවා නැවතත් වෙනත් ආකාරයකට රූපාන්තරණය කොට පරිසරයට මුසු කිරීමයි.
එබැවින් සැබෑ පාරිසරික පිබිදීමක් ආරම්භ වන්නේ, "ස්වභාවය" (nature) යනු අපට අහිමි වූ සුසංයෝගී තැනක් යැයි සිතීම නතර කර, අප දැනටමත් ජීවත් වන්නේ කෘත්‍රිමව විනාශ කරන ලද (උදාහරණයකට තාර වලින් වැසූ) ලෝකයක බවත්, ඉන් ගැලවීමක් නැති බවත් සම්පූර්ණයෙන්ම භාරගත් තැනිනි.
බටහිර රටවල් මේ වන විට තාර ඉවත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කර තිබේ. නමුත්, ඒ හරහා ඔවුන් සිදු කරන්නේ ද පවතින ධනවාදී යටිතල පහසුකම් ජාලයම වෙනත් මුහුණුවරකින් නඩත්තු කිරීම පමණි.
ගෝලීය වශයෙන් මෙම තාර ඉවත් කිරීමේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ "Depaving" (තාර සහ කොන්ක්‍රීට් ගැලවීම) යනුවෙනි. "Depaving" හෙවත් "Desealing" ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය මේ වන විට බටහිර ලෝකයේ ප්‍රබල පාරිසරික සහ නාගරික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ලෙස පුළුල්ව ව්‍යාප්ත වෙමින් පවතී. විශේෂයෙන්ම උතුරු ඇමරිකාවෙන් (ඔරිගන් හි පෝට්ලන්ඩ් නගරයෙන්) ස්වේච්ඡා ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ මෙය, අද වන විට යුරෝපයේ ප්‍රධාන නගරවල රාජ්‍ය ප්‍රතිපත්ති මට්ටමින් ක්‍රියාත්මක වේ.
නමුත් අවධාරණය කල යුතු කාරණය නම් ගෝලීයව ක්‍රියාත්මක වන 'Depaving' ව්‍යාපෘතිවල ප්‍රධානතම සහ නිල අරමුණ වන්නේ තාරවල ඇති විෂ සහිත බව (toxicity) පිළිගැනීම නොවන බවයි. බටහිර රටවල් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ප්‍රධාන වශයෙන්ම ජල කළමනාකරණය (වතුර බැස යාමට ඉඩ හැරීම) සහ නාගරික උෂ්ණත්වය පාලනය කිරීම සඳහාය.
ලෝකයේ සිදුවන සියලු ව්‍යසනයන් දෙස බලනුයේ ආර්ථිකයට වන හානිය පිළිබඳව ගණනය කිරීම් තුලින් පමණි. ඒ අනුව, ආර්ථිකයට දැනෙන ක්ෂණික තර්ජනය වී ඇත්තේ ගංවතුර සහ උෂ්ණත්වයයි.
නගර සම්පූර්ණයෙන්ම තාර සහ කොන්ක්‍රීට් වලින් වැසී යාම නිසා වැසි ජලය පොළොවට උරාගැනීම නතර වී නගරවල ක්ෂණික ගංවතුර ඇතිවීම දැන් බහුල වී ඇත. මේ නිසා සිදුවන දේපළ හානි සහ රක්ෂණ සමාගම්වලට ගෙවීමට සිදුවන වන්දි මුදල් ඩොලර් බිලියන ගණනින් ඉහළ ගොස් තිබේ. එබැවින්, පොළොවට ජලය උරාගැනීමට ඉඩ සැලසීම (Sponge Cities ආකෘතිය) පවතින ධනවාදී ආර්ථික ව්‍යුහය බිඳ නොවැටී පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය භෞතික කාරණයක් වී ඇත.

නමුත් තාක්ෂණික විකල්ප මගින් කල් දමා ඇති සැබෑ අර්බුධය ක්‍රියාත්මකව ඇත්තේ "විෂ බව" වසන් කිරීමේ දෘෂ්ටිවාදය තුලය. තාර ගෙවී යාමෙන් පරිසරයට එකතු වන්නේ PAHs සංයෝග, බැර ලෝහ සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළු අතිශය භයානක විෂ වර්ග බව "විද්‍යාත්මකව සත්‍යයකි". නමුත් කිසිදු රාජ්‍යයක් හෝ නාගරික සැලසුම්කරුවෙකු තාර ගැලවීමට හේතුව ලෙස "තාර යනු විෂකි" යන්න නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ නැත.
ඔවුන් එසේ නොකරන්නේ මන්ද? "තාර යනු සමස්ත ජෛව ගෝලයටම එකතු වන විෂක්" බව රාජ්‍ය මට්ටමින් පිළිගතහොත්, ඉන්පසුව ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ හුදු නගරයක ගංවතුර ප්‍රශ්නයකට නොවේ. ලෝකය පුරා දැනට පවතින සහ අලුතින් ඉදිවෙන මිලියන ගණනක් වූ අධිවේගී මාර්ග සහ සැපයුම් ජාලයම (supply chains) ප්‍රශ්න කිරීමට ඔවුන්ට සිදුවේ. එය සෘජුවම ධනවාදී ප්‍රාග්ධන සංසරණයේ හදවතටම එල්ල වන ප්‍රහාරයක් වනු ඇත.
ඒ අනුව ඔවුන් සිදු කරනුයේ 'රෝග ලක්ෂණයට' (symptom) පමණක් ප්‍රතිකාර කිරීමයි. එබැවින් පවතින ක්‍රමය විසින් සිදු කරන්නේ සැබෑ රෝග නිධානය (තාර යනු අතිශය විෂ සහිත, ආගන්තුක ද්‍රව්‍යයක් වීම) යටපත් කර, එයින් මතුවන ලක්ෂණ දෙකක් (ජලය බැස නොයාම සහ උෂ්ණත්වය ඉහල යාම) සඳහා පමණක් තාක්ෂණික විසඳුම් සෙවීමයි. Depaving යනු එම තාක්ෂණික පැලැස්තරයයි.
එලේනා ග්‍රනාටා
මෙම ව්‍යාපෘති හරහා තාර ඉවත් කළද, ධනවාදී යටිතල පහසුකම්වල අවශ්‍යතාවයන් (ප්‍රවාහනය, රථවාහන නැවැත්වීම) එලෙසම පවත්වා ගැනීමට විවිධ ඊනියා විකල්ප යොදා ගැනේ. (ඉතාලියේ නගර සැලසුම්කරණ මහාචාර්යවරියක වන එලේනා ග්‍රනාටා පවසන්නේ, "අද කාලයේ දක්ෂ නගරාධිපතිවරයෙකු යනු තාර දමන අයෙකු නොව, තාර ගලවන අයෙකු" බවයි).
මෙම ව්‍යාපෘති හරහා තාර ඉවත් කළද, ධනවාදී යටිතල පහසුකම්වල අවශ්‍යතාවයන් (ප්‍රවාහනය, රථවාහන නැවැත්වීම) එලෙසම පවත්වා ගැනීමට විවිධ ඊනියා විකල්ප යොදා ගැනේ. එනම් පැරණි ෆැන්ටසිය වූ ගල්-තාර සහ කොන්ක්‍රීට් ප්‍රගතිය වෙනුවට නව ෆැන්ටසිය වන “හරිත යටිතල පහසුකම් තුලින් තිරසාර ප්‍රගතිය” ආදේශ වෙමින් තිබේ. නමුත් යටින් පවතින ව්යුහය වන්නේ "වඩා කාර්යක්ෂම සංසරණය දිගටම පැවතිය යුතුය" යන්නයි. එබැවින් "හරිත තාක්ෂනය" ධනවාදයෙන් පිටත විකල්පයක් නොවී ධනවාදී සංසරණයේ නව සංකේතීය ආකෘතියක් බවට පත්වෙමින් තිබේ.
නමුත් ලංකාවේදී ධනවාදයේ කේන්ද්‍රීය රටවල් විසින් කරගෙන යන මෙම ඊනියා විකල්ප හෝ ක්‍රියාත්මක කල නොහැක. ඊට ප්‍රධාන හේතුව එම රටවල ආර්ථික තත්වය සහ ලංකාවේ ආර්ථික තත්වය අතර සැමදා පවතින පරතරයයි (ධනවාදය තුල මෙය කිසි දිනක නොවිසඳේ).

ලංකාවේ දේශපාලනය තුළ "සංවර්ධනය" යන්න මනින ප්‍රධානතම භෞතික නිර්ණායකය වී ඇත්තේ තාර (කාපට්) දැමීමයි (මාර්ග ඝනත්වය අතින් මේ වන විට ලංකාව පසු වන්නේ 15 වන ස්ථානයේ පමණය). දේශපාලඥයෙකු තම බලය සහ ප්‍රගතිය ජනතාවට පෙන්වන අවසාන සංකේතය වන්නේ කළු පැහැති, සුමට කාපට් පාරකි. "ජනතාවද" ඡන්දය ලබා දෙන්නේ මෙම භෞතික නිමැවුමටයි. මෙවැනි තත්ත්වයක් තුළ, "පාරවල්වල තාර ගැලවීම" යනු ලංකාවේ දේශපාලඥයෙකුට දේශපාලන සියදිවි නසාගැනීමක් බඳුය. සංවර්ධනය පිළිබඳ පවතින දෘෂ්ටිවාදය භූමියට යළි හුස්ම ගැනීමට කිසිසේත් ඉඩ නොදෙයි.
ප්‍රාග්ධන සමුච්චයනය සහ කොන්ත්‍රාත් දේශපාලනය තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති යනු හුදෙක් ගමනාගමනය සඳහා වූ ව්‍යුහයන් පමණක් නොව, දේශපාලන සහ ව්‍යාපාරික පැලැන්තියට ප්‍රාග්ධනය එක්රැස් කරගැනීමේ ප්‍රධානතම මෙවලමයි. මහා පරිමාණ තාර දැමීමේ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ණය (ADB, World Bank, විදේශීය ණය) ලබාගත හැකි අතර, ඒ හරහා දැවැන්ත කොන්ත්‍රාත්තු සහ කොමිස් ජාලයක් නඩත්තු වේ. Depaving හෝ කුඩා පරිමාණයේ ස්වාභාවික ජලවහන ව්‍යාපෘති හරහා මෙතරම් විශාල මූල්‍ය ප්‍රවාහයක් මධ්‍යගතව හැසිරවීමට සහ සූරාකෑමට නොහැකි බැවින්, පවතින ධනවාදී රාමුව තුළ ඊට ඉඩක් නොලැබේ.

