කාසල්රි ජලාශයට ජලය සපයන කෙසෙල්ගමු ඔයේ ඉහළ ද්‍රෝණියේ පිහිටි නෝර්වුඩ්
ෆෝට්ට්‍රී වතුයායේ සිදුවන මහා පරිමාණ අනවසර මැණික් ගැරීම හුදු පරිසර හානියක් පමණක් නොවේ. එය මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ආයතනික වගවීමේ දුර්වලතා පෙන්වන මෙන්ම ජාතික බලශක්ති සුරක්ෂිතතාවට දැඩි තර්ජනයක් එල්ල කරන සංවිධානාත්මක ජාවාරමකි.
මෙම ජාවාරම්කරුවන් විසින් ලක්ෂපාන ජල විදුලි සංකීර්ණයට අයත් කාසල්රි ජලාශය පෝෂණය කරන ප්‍රධාන ජල ධාරාවක් වන ෆෝට්ට්‍රී ඇළ සම්පූර්ණයෙන්ම හරස් කර බැකෝ යන්ත්‍ර මඟින් විශාල වළවල් හාරා ඇත. මේ හේතුවෙන් නිකුත් වන රොන්මඩ කාසල්රි ජලාශයේ තැන්පත් වී එහි ජල ධාරිතාව අඩුවන අතර, එය විමලසුරේන්ද්‍ර සහ ලක්ෂපාන බලාගාරවල විදුලි උත්පාදනයට සෘජුවම බාධා පමුණුවයි. මීට අමතරව, තේ පඳුරු ගලවා දමා පස විනාශ කිරීමෙන් කෘෂිකාර්මික ඵලදායිතාව අහිමි වන අතර, ඉවුරු ඛාදනය නිසා නායයෑම් අවදානමද තීව්‍ර වී තිබේ.
මීට වසරකට පමණ පෙර හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම වළවල් බැකෝ යන්ත්‍ර යොදා වසා භූමිය යථා තත්ත්වයට පත් කරන ලෙස නියෝග කර තිබියදීත්, ජාවාරම්කරුවන් 100ක් පමණ දෛනිකව යොදවා මෙම ජාවාරම යළිත් ක්‍රියාත්මක කර තිබීම බරපතළ තත්ත්වයකි.
කෙසේ වෙතත්, හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර ගේ සෘජු නායකත්වයෙන් දූෂණ මර්දන ඒකකය මඟින් මෑතකදී මෙහි දැවැන්ත වැටලීමක් සිදු කෙරිණි. එහිදී මුරකරුවන්ගේ සංඥා මත සැකකරුවන් පලා ගියද, භූමියේ සඟවා තිබූ අධිබලැති ජල මෝටර් 6ක් සහ උපකරණ අත්අඩංගුවට ගත් පොලිසිය, නීති විරෝධී වේලි කඩා දමා ජල ප්‍රවාහය යළි යථා තත්ත්වයට පත් කළේය.
නෝර්වුඩ් පොලිසිය අසලම මෙතරම් විශාල ජාවාරමක් දිවා රාත්‍රී දෙකෙහිම සිදුවෙද්දී ඒ ගැන පියවර නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නෝර්වුඩ් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලිඛිතව නිදහසට කරුණු විමසා ඇත. එමෙන්ම වතු පාලන අධිකාරිය වහාම කැඳවා බැකෝ යන්ත්‍ර යොදා භූමිය වහාම වසා දමා සුරක්ෂිත කරන ලෙස නියෝග කළේය. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය ද මීට පෙර මෙවැනිම මෙහෙයුම් කෙසෙල්ගමු ඔය ආශ්‍රිතව සිදු කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබීමෙන් පෙනී යන්නේ මෙය කලාපය පුරා විහිදුණු සංවිධානාත්මක ජාලයක් බවයි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පූර්ණ අනුමැතිය සහ ඇපකර මත, ස්වාභාවික ජලයට බාධා නොවන පරිදි දැව රාමු (කට තට්ටු/දෝනා) යොදාගෙන ආරක්ෂිතව සිදු කරන නීත්‍යනුකූල සාම්ප්‍රදායික පතල් කර්මාන්තය සහ මෙම ජාවාරම අතර විශාල වෙනසක් ඇත. නෝර්වුඩ් ජාවාරම්කරුවන් කිසිදු බලපත්‍රයක් නොමැතිව, අධිකරණ නියෝගද උල්ලංඝනය කරමින්, සංවේදී ජල පෝෂක කලාපයක ඇළ මාර්ග හරස් කර අධිබලැති මෝටර් යොදාගෙන විවෘතව හෑරීම් සිදු කර ඇත. අවසානයේ නීත්‍යනුකූල පතල් මෙන් ඔවුන් පරිසරය යථා තත්ත්වයට පත් නොකර විශාල අනාරක්ෂිත වළවල් එලෙසම දමා පලා ගොස් තිබේ.
අධිකරණයෙන් වරක් වැසූ වළවල් යළි හෑරීමෙන් පෙනී යන්නේ 'පශ්චාත් අධිකරණ අධීක්ෂණයේ' පවතින බරපතළ අසමත්කමයි. මෙය වළක්වා ගැනීමට පොලිසිය,ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වැවිලි සමාගම් එක්ව ඒකාබද්ධ නිරීක්ෂණ ජාලයක් ගොඩනැගිය යුතුය. ප්‍රාදේශීය පොලිසිවල බුද්ධි ක්‍රියාකාරීත්වය ඉහළ කොට්ඨාශ මට්ටමකින් නිරීක්ෂණය කිරීම මෙන්ම, වතු පාලකයන්ද මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුය. ජාතික බලශක්තියට සහ පරිසරයට තර්ජනයක් වන මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ගේ දේපළ රාජසන්තක කර දැඩි දඬුවම් පැමිණවීම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතුම කාලීන පියවරකි.

