SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ආන්දෝලනාත්මක බාල ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩු විභාගය මේ වන විට මෙරට දේශපාලන හා පරිපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් නිර්මාණය කරමින් තිබේ. විශේෂයෙන්ම විත්තිවාචක ඇරඹීමෙන් පසු නඩුවේ 8 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විත්ති කූඩුවේ සිට කළ දීර්ඝ අනාවරණය සහ අධිකරණය හමුවේ සභාගත වූ සාක්ෂි මගින් මෙතෙක් සමාජගත නොවූ බරපතළ සැඟවුණු පැතිකඩ රැසක් කරළියට පැමිණ ඇත.

 
 
 
 

මෙම සමස්ත නඩුකරයේ කොඳුනාරටිය බඳු වූ කරුණ වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන තීරණ ගත් බව කියන රැස්වීම්වල සටහන් (Meeting Minutes) කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් පැවැති බවට ගොනුකර තිබීමයි. "ස්වාමීනී, මං ඔය කියන රැස්වීම් තිබ්බ දවස් දෙකේම අමාත්‍යාංශයේ හිටියේ නැහැ. ඒ නිසා ඒ රැස්වීම් මගේ ප්‍රධානත්වයෙන් තියෙන්න විදිහක් නැහැ. ඒ දේ මට 100%ක් විශ්වාසයි. මේ meeting minutes කාගේ උවමනාවට හැදුණාද කියලා මං දන්නේ නැහැ" යනුවෙන් හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ කළ ප්‍රකාශයේ සත්‍යතාව ස්වාධීන ලේඛන මගින් මේ වන විට තහවුරු වෙමින් පවතී.

 

 

WHO_meating_1.jpeg

 

 

පැමිණිල්ල ඉදිරිපත් කළ ලේඛනයකට අනුව රැස්වීමක් පැවැත්වුණා යැයි කියන 2022 සැප්තැම්බර් 05 වන දින, හිටපු අමාත්‍යවරයා මෙරට පවා නොසිටි අතර ඔහු රැඳී සිටියේ භූතානයේ පාරෝ නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අග්නිදිග ආසියානු කලාපීය 75 වන සැසිවාරයේය. භූතාන අග්‍රාමාත්‍යවරයා සහ WHO කලාපීය අධ්‍යක්ෂිකාව සමඟ ඔහු නිල ඡායාරූපවල පෙනී සිටිමින් සමුළුව ඇමතූ බවට වන නිල වාර්තා, ගුවන්ගමන් බලපත්‍රයේ ආගමන විගමන මුද්‍රා මෙන්ම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා තහවුරු වන සංචාරක තොරතුරු මගින්ද ඔහු භූතානයේ සිටි බව නොබිඳිය හැකි අයුරින් ඔප්පු වේ. (ඔහු විසින් අදාළ විමර්ශන ක්‍රියාවලියේදී එය නිසි ලෙස ඉදිරිපත් කර නොතිබීම වෙනත් දෙයකි.)

 

 

එමෙන්ම  2022 ඔක්තෝබර් 10 වන දින රැස්වීම පැවැති වේලාවේදී, හිටපු අමාත්‍යවරයා එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් (Yaden Laboratories) විවෘත කිරීමේ රාජ්‍ය උත්සවයක ප්‍රධාන ආරාධිතයින් ලෙස රැඳී සිටියේය. එදින විවෘත කළ සමරු ඵලකයේ දින සටහන්, ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ඡායාරූප මෙන්ම පැමිණිල්ල විසින්ම සලකුණු කළ ඩයලොග් දුරකථන කුළුණු වාර්තා මගින්ද තහවුරු වන්නේ ඔහු එදින උදෑසන කටුනායක සහ ජා-ඇළ ප්‍රදේශවල රැඳී සිටි බවයි. එසේ නම්, අමාත්‍යවරයා භෞතිකව නොසිටි රැස්වීම් පිළිබඳ ව්‍යාජ සටහන් අමාත්‍යාංශ ලිපිගොනුවලට රිංගවූයේ කාගේ අදිසි හස්තයකින්ද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයකි.

 

 

WHO_meating_2.jpeg

 

 

මෙම ගනුදෙනුවේ ප්‍රතිපත්තිමය පසුබිම විමසා බැලීමේදී වඩාත්ම කම්පනකාරී කරුණ වන්නේ, ආන්දෝලනාත්මක හදිසි ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාව පවා සකස් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොව එවකට පැවති පාලනයේ මුදල් අමාත්‍යාංශයෙන් වීමයි. එකල මුදල් අමාත්‍ය ධුරය දැරුවේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ය. සෞඛ්‍ය අමාත්‍යවරයා මුලින් ඉල්ලා තිබූ කොවිඩ් ප්‍රසම්පාදන ක්‍රියාවලිය දීර්ඝ කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර, නව හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දෙමින් කැබිනට් අනුමැතිය ලබාගැනීමට කටයුතු කළේද මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා උපදෙස් මගිනි.

 

 

 

එපමණක් නොව, අධිකරණය හමුවේ අනාවරණය වූ නිල සාක්ෂිවලට අනුව, මෙම ක්‍රියාවලියට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වා ඇත්තේ මුදල් අමාත්‍ය කාර්යාලය විසිනි. එහිදී එවක රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම්වල සම්බන්ධීකරණ කටයුතුවලට මෙන්ම පසු විපරම් කටයුතුවලට සෘජුව මැදිහත්වී ඇති බව සාක්ෂි මගින් සනාථ වී තිබේ. අදාළ තීරණවල ප්‍රගතිය මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමේ ක්‍රමවේදය ලෙස ලිපි ලේඛන ජනාධිපති ලේකම්වරයාට සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත නිරන්තරයෙන් යොමු කර ඇත්තේද එම පසුබිම තුළය.

 

 WhatsApp_Image_2026-11-09_at_17.29.jpeg

 

 

 


වගකිවයුතු මාධ්‍යයක් ලෙස මෙම තොරතුරු හෙළිදරව් කරනු ලබන්නේ කිසිසේත්ම අධිකරණයේ විභාග වන නඩු කටයුත්තට බලපෑම් කිරීමට හෝ එය ඉක්මවා යෑමට නොවේ. අධිකරණයට ඉදිරිපත් වී ඇති ලේඛන, නඩු සාක්ෂි පදනම් කරගනිමින්, විමර්ශන නිලධාරීන් විසින් මගහැර ඇති හෝ යටපත් කර ඇති මෙන්ම පැමිණිල්ල විසින් දිගින් දිගටම සැලකිල්ලට නොගන්නා ව්‍යාජ රැස්වීම් පිළිබඳ සටහන් සම්බන්ධයෙන් ඒ පසුපස සිටින සැබෑ මහමොළකරුවන් කව්ද යන්න පිළිබඳ සාධාරණ සමාජ සැකය රට හමුවේ තැබීම ජනමාධ්‍ය සතු නොපැකිළෙන ජාතික වගකීමක් වන බැවිනි.

 

 

 

නවතම ලිපි