SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විෂය නොදන්නා විමර්ශකයින් සහ මාධ්‍ය සංදර්ශන

 

 

රුපියල් ලක්ෂ 1,444ක රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කරමින්,

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (Human Immunoglobulin) සහ රිටොක්සිමැබ් (Rituximab) ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ ආන්දෝලනාත්මක නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ දිනවල විභාග වෙමින් පවතී. පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් වීමෙන් පසු, පසුගිය සතියෙන් ගෙවී ගියේ විත්තිකරුවන් සිය නිර්දෝෂීභාවය වෙනුවෙන් විත්ති කූඩුවේ සිට කරුණු දැක්වූ (විත්තිවාචක ඉදිරිපත් කළ) තීරණාත්මක අවධියයි.

 

 

එහිදී නඩුවේ 11 වැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ 12 වැනි විත්තිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අධිකරණය හමුවේ තැබූ දීර්ඝ ප්‍රකාශ හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ විමර්ශනවල ඇති බරපතළ තාක්ෂණික දුර්වලතා, පක්ෂග්‍රාහී බව සහ ඒ හරහා නිර්මාණය කළ අසාධාරණ මාධ්‍ය මෙහෙයුම පිළිබඳව කම්පනකාරී කරුණු රැසක් සමාජගත කර තිබේ.

 

 බාල බෙහෙත් නඩුවේ පැමිණිල්ල අසම්පූර්ණ බව විත්තිය පෙන්වයි

 

 

"විෂය නොදන්න මනුස්සයෙක් විමර්ශනය කරනවා" - තාක්ෂණික නොදැනුවත්කම සහ ගොනු විකෘති කිරීම

 

වෛද්‍ය තුසිත සුදර්ශන සිය ප්‍රකාශය ආරම්භ කරමින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ක්‍රියාවලියේ ඇති වෘත්තීය නොවන ස්වභාවය දැඩිව ප්‍රශ්න කළේය. "විෂය නොදන්න මනුස්සයෙක්, කන්ටෙන්ට් එක (Content) කියවන්න බැරි මනුස්සයෙක් තමයි මේක විමර්ශනය කරන්නේ" යනුවෙන් ඔහු කළ ප්‍රකාශය මුළුමහත් විමර්ශන යාන්ත්‍රණයටම එල්ල කළ දැවැන්ත ප්‍රහාරයකි.

 

 

විමර්ශන නිලධාරීන් විසින් ලිපිගොනු හුවමාරු වූ දින වකවානු පවා සාවද්‍ය ලෙස අධිකරණයට වාර්තා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. නොසැපයූ ඖෂධ සම්බන්ධයෙන් උපදෙස් පතමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා යොමු කළ ලිපිය තම අංශයට ලැබුණේ අප්‍රේල් 28 වනදා බවට විමර්ශන නිලධාරියා සාක්ෂි දුන්නද, අදාළ ලිපිය තැපැල් අංශයට ලැබී ඇත්තේ ජූනි 01 වනදා බවත්, තමන් අතට පත්වුණේ ජූනි 02 වනදා බවත් ඔහු සාක්ෂි සහිතව පැහැදිලි කළේය. කාර්යාල ක්‍රමවේදය අනුව ගොනුවක් හුවමාරු වීමේදී එය භාරගත් පුද්ගලයාගේ අත්සනක් තිබිය යුතු වුවත්, හුදෙක් මුද්‍රාවක් (Seal) තිබූ පමණින් එය තමන් වෙත ලැබුණා යැයි නිගමනය කිරීම විමර්ශනයක තිබිය යුතු මූලික තර්කනයට පවා පටහැනි බව ඔහු පෙන්වා දුන්නේය.

 

 

දුරකථන දත්ත විකෘති කිරීම: සැබෑ සැකකරුවන් වසන් කිරීමේ උත්සාහයක්ද?

 

 බාල බෙහෙත් අර්බුදයේ මහමොලකරුවා රනිල්… (කෙහෙලියගේ විත්ති වාචකයෙන් හෙලිවෙයි)  - Harideshaya.lk

විමර්ශනයේ ඇති පක්ෂග්‍රාහී බව මනාව ඔප්පු වන ප්‍රබලතම සාධකයක් වෛද්‍ය සුදර්ශන විසින් අධිකරණය හමුවේ නිරාවරණය කළේය. ඒ, දුරකථන සංවාද දත්ත (Call Records) විශ්ලේෂණය කර ඇති අන්දමයි. පළමු විත්තිකරු (සැපයුම්කරු) සමඟ අනෙකුත් නිලධාරීන් සිය ගණනක් දුරකථන ඇමතුම් ලබාගෙන තිබියදී, විමර්ශන නිලධාරීන් ඉලක්කගතව තමන්ව කොටු කිරීමට උත්සාහ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

 

 

වෛද්‍ය සැපයුම් ඒකකයේ රංජිත්  සැපයුම්කරු සමඟ ඇමතුම් 350ක්, සවින්ද කුරේ 157ක්, ප්‍රියන්ත කස්තුරිසිංහ 182ක් සහ දර්ශන බණ්ඩාර 189ක් ලෙස විශාල ඇමතුම් ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබියදී ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නැත. එහෙත් වෛද්‍ය සුදර්ශන රාජ්‍ය අමාත්‍යාංශයේ සිටියදී කොවිඩ් සමයේ මුව ආවරණ (Masks) ලබාගැනීමට ගත් ඇමතුම් 22ක්ද ඇතුළත් කර, සිද්ධියට පසු ලබාගත් ඇමතුම් 9ක්ද සමඟින් මුළු ඇමතුම් ගණන 31ක් ලෙස පුම්බා පෙන්වා ඔහුව මෙම ජාවාරමට සම්බන්ධ කිරීමට විමර්ශකයින් දැරූ උත්සාහය ඔහු අධිකරණය හමුවේ හෙළි කළේය.

 

 

 Health Ministry Clarifies Immunoglobulin Quality Concerns - Asian Mirror

 

 

මාධ්‍ය සංදර්ශන සහ අමානුෂික බන්ධනාගාර අත්දැකීම්

නිලධාරියෙකුගේ වෘත්තීය ගෞරවය කිසිදු පදනමකින් තොරව විනාශ කිරීමේ ඛේදවාචකය වෛද්‍ය සුදර්ශනගේ කතාවෙන් ගම්‍ය වේ. ජනවාරි මාසයේ ඔහුගේ කාර්යාලයට මුද්‍රා තැබීම මාධ්‍ය කැඳවා සිදුකළ සංදර්ශනයක් බවත්, එයින් වසර 31ක තම රාජ්‍ය සේවයේ ප්‍රතිරූපය මුළුමනින්ම ඝාතනය කළ බවත් ඔහු කම්පනයෙන් යුතුව ප්‍රකාශ කළේය. උදෑසන 9 සිට රාත්‍රී 10.30 දක්වා ප්‍රශ්න කර හදිසියේ අත්අඩංගුවට ගත් ඔහුව බන්ධනාගාරයේදී මුහුණදීමට සැලැස්වූයේ අතිශය අමානුෂික අත්දැකීමකටය.

 

 

මධ්‍යම රාත්‍රියේ ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා සිටින අධිආරක්ෂිත මැදිරිවලට මාරු කිරීමත්, සාවද්‍ය මාධ්‍ය වාර්තා හේතුවෙන් "ළමයි 350ක් මරා දාපු ලේකම්" යැයි කියමින් සෙසු රැඳවියන්ගෙන් එල්ල වූ මරණ තර්ජනත් හේතුවෙන් තමන් දින 7ක් නිදිවර්ජිතව සිටි බව ඔහු පැවසීය. අත්අඩංගුවට ගැනීමෙන් පසුව වරද කුමක්දැයි තමන් හැමදාම 'බී වාර්තාවෙන්' (B-Report) හෙව්වද, පළමු සැකකරු පවා බන්ධනාගාරයේදී තමන්ට හමුවී "සර් මේකට සම්බන්ධ නෑ, මට සමාවෙන්න" යැයි පැවසූ බව ඔහු කළ හෙළිදරව්ව නීතියේ ආධිපත්‍යය ගැන බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි.

 

 

 

NMRA හි භූමිකාව සහ විද්‍යාත්මක තීරණ ගැනීම - වෛද්‍ය විජිත් ගුණසේකරගේ විත්තිවාචකය 

 ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධානී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට -  මව්බිම

 

නඩුවේ 12 වැනි විත්තිකරු වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර ගේ විත්තිවාචකය හරහා ඖෂධ අත්හිටුවීමේ විද්‍යාත්මක පදනම සහ ආයතනික සීමාවන් පැහැදිලි කෙරිණි. 2022 වසරේ පැවති උග්‍ර ඖෂධ හිඟය මධ්‍යයේ, ලියාපදිංචි නොමැති ඖෂධ හදිසි අවශ්‍යතාව මත නිශ්චිත තොගයක් සඳහා පමණක් ගෙන්වා ගැනීමට WOR (Waiver of Registration) සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඔහු විස්තර කළේය.

 

 

ඔහු මතු කළ වඩාත්ම තර්කානුකූල කාරණය වූයේ ඖෂධයක සංකූලතාවක් (Adverse Drug Reaction - ADR) වාර්තා වූ පමණින් එය වහාම නතර කිරීමේ ප්‍රායෝගික අර්බුදයයි. සංකූලතාවකට රෝගියාගේ ආවේණික ලක්ෂණද හේතු විය හැකි බැවින්, නිසි විමර්ශනයකින් තොරව ඖෂධයක් අත්හිටුවීමෙන් සමස්ත සැපයුම් ජාලයම බිඳවැටී එම බෙහෙතින් සුවය ලබන දහස් ගණනක් මිය යාමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එසේ වුවද, MRI ආයතනයේ වෛද්‍ය රජීව් ගෙන් තොරතුරු ලැබුණු වහාම අදාළ බෙහෙත කඩිනමින් ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා අත්හිටුවීමට පියවර ගත් බව ඔහු සනාථ කළේය.

 

 

මුදල් ගෙවීමකට, මිලදී ගැනීමකට හෝ ඇගයීමකට කිසිදු සම්බන්ධයක් නොමැති තමන්ව මෙම නඩුවට ඈඳා ගැනීමෙන් සිය වෘත්තිය සහ කීර්තිනාමය අහිමි කර ඇති බව ඔහු අධිකරණයට දන්වා සිටියේය.

 

 

 

සැඟවුණු ජාවාරම්කරුවන් සහ පද්ධතියේ බිල්ල

 

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රුවන්මැලි මහා සෑය වන්දනාමාන කර ආශිර්වාද  ලබා ගනී | Sirikatha.lk

 

 

වෛද්‍ය තුසිත සුදර්ශන සහ වෛද්‍ය විජිත් ගුණසේකර යන පරිපාලන නිලධාරීන්ගේ මෙම විත්තිවාචක නූතන ලාංකීය අපරාධ යුක්ති ක්‍රියාවලියේ සහ මාධ්‍ය සංස්කෘතියේ ඛේදනීය පැතිකඩක් නිරාවරණය කරයි. ඖෂධ මාෆියාවේ සැබෑ ජාවාරම්කරුවන් සහ ඊට අනුබල දුන් දැවැන්තයන් නීතියේ සිදුරු තුළින් රිංගා යද්දී, කිසිදු තාක්ෂණික හෝ විද්‍යාත්මක අවබෝධයක් නොමැති විමර්ශන නිලධාරීන් විසින් අත්තනෝමතික ලෙස ලේඛන ගලපා නිලධාරීන්ව බිල්ලට දී ඇති බවක් මෙම සාක්ෂි මගින් පෙන්නුම් කෙරේ.

 

 

 

"මම තනි පුද්ගලයෙක් වුණාට කමක් නෑ, මේක නිසා සිස්ටම් එකම ඉවරයි" යනුවෙන් වෛද්‍ය සුදර්ශන කළ ප්‍රකාශය සමස්ත රාජ්‍ය සේවයටම කරන ලද අනතුරු ඇඟවීමකි. මාධ්‍ය මගින් මහජන කෝපය අවුස්සා, පක්ෂග්‍රාහී පොලිස් විමර්ශන හරහා අහිංසකයින් දංගෙඩියට යැවීමේ ඛේදවාචකයට එරෙහිව යුක්තිය පසිඳලීමේ එකම සහ අවසාන බලකොටුව බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පත්ව ඇති බව මෙම නඩු විභාගයේ ඉදිරි පියවරයන් දෙස බලා සිටින සමස්ත සමාජයේම අපේක්ෂාවයි.

 

 

(ද ලීඩර් අධිකරණ වාර්තාව ඇසුරින් සකස් කළ ලිපියකි)

නවතම ලිපි