රිසානාගේ ඛේදවාචකය යළිත්?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කරගැට ආවෘත දෑතින් ඔසවාගෙන සිටින විදේශගත ශ්‍රමිකයන්ගේ
නීතිමය සුරක්ෂිතභාවය පිළිබඳව යළිත් වරක් බරපතල සංවාදයක් නිර්මාණය වී තිබේ. ඒ, සවුදි අරාබියේදී සයිබර් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට පත් වූ කල්මුනේ, නට්පිට්ටිමුනේ ප්‍රදේශයේ පදිංචි සිවරාසා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයාට එරට අභියාචනාධිකරණයක් මගින් මරණ දඬුවම නියම කිරීමත් සමගය.
මෙම ඛේදවාචකයේ මූලාරම්භය 2024 කතරගම පාද යාත්‍රාවට එක්වූ "සුබ්‍රමනි" නමැති වීදි සුනඛයාට පහරදීමේ සිදුවීම හා බැඳී පවතී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ෆේස්බුක් සංවාදයකට මැදිහත් වෙමින්, ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් අදහස් දැක්වීමක් (Comment) කිරීම අනෝජන්ට එල්ල වූ චෝදනාවයි. වරද වටහාගත් වහාම ඔහු එම ප්‍රකාශය මකා දමා ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියද, ඩිජිටල් අවකාශයේ සංසරණය වූ තිර ඡායාරූප (screenshots) ඔහුගේ ඉරණම තීරණය කළේය.
රුපියල් කෝටි 24ක දඩය සහ ඛේදනීය අභියාචනය
පසුගිය ජූලි 28 වැනිදා අල්-අහ්සා (Al-Ahsa) අපරාධ අධිකරණය විසින් ඔහුට වසර 5ක සිරදඬුවමක් සහ සවුදි රියාල් මිලියන 3ක (රුපියල් කෝටි 24ක පමණ) දැවැන්ත දඩයක් නියම කළේය. අභියාචනයක් මගින් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව "අතිශය අවම" බවට සවුදි නීතිඥ උපදෙස් ලැබී තිබියදීත්, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ගේ උපදෙස් මත පවුලේ ඥාතීන් අභියාචනයක් ගොනු කිරීමට තීරණය කළ බව වාර්තා වේ.
එහි ප්‍රතිඵලය වූයේ සමස්ත නඩුවම යළි විවෘත වීමයි. ඒ අනුව සයිබර් නීතියේ සීමාවන්ගෙන් ඔබ්බට ගිය අභියාචනාධිකරණය, ආගමික අපහාසය යටතේ විනිසුරුවරයාට හිමි අභිමතානුසාරී බලය භාවිත කරමින් ඔහුට මරණ දඬුවම නියම කළේය.
කොන්සියුලර් සේවයේ ප්‍රශ්නාර්ථ සහ අතුරුදන් වූ නීතිඥයා
මෙම ක්‍රියාවලිය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් බරපතල ප්‍රශ්න කිරීමක් සිදු කර ඇත.
අනෝජන්ගේ පියා විසින් නීතිඥ ගාස්තු ලෙස රුපියල් 1,890,766 ක මුදලක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමින් පවතින ලංකා බැංකු ගිණුමකට බැර කර තිබිණි. එහෙත් අධිකරණ ලේඛනවල "අද්ලාන් අබ්දුල්ලා අල්-සුබායි" ලෙස නීතිඥයකුගේ නමක් සඳහන් වුවද, සැබැවින්ම අධිකරණයේ පෙනී සිට ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනත් නීතිඥවරයෙකි. තවද, අගෝස්තු 24 ගොනුකළ අභියාචන ලේඛනවල පරිවර්තන පවුලේ සාමාජිකයන්ට යවා ඇත්තේ මරණ දඬුවම නියම වීමට හරියටම එක් දිනකට පෙර (සැප්තැම්බර් 16) වීම පුරවැසියෙකුගේ ජීවිතයක් සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණය දැක්වූ නොසැලකිල්ල මනාව පෙන්වා දෙයි.
ජනාධිපති නීතිඥ ෆයිසර් පෙන්වා දෙන ගැලවුම් මාවත
මෙම අතිශය තීරණාත්මක මොහොතේ, අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ගත යුතු කඩිනම් නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තුවේදී පුළුල් විමර්ශනාත්මක අදහසක් ඉදිරිපත් කළේය.
කාලය සමග පවතින සටන ජයගැනීමට නම් අදාළ තීන්දුවේ නිල ලිඛිත පිටපත ලබාගෙන දින 30ක් ඇතුළත සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court) හමුවේ අභියාචනයක් ගොනු කිරීම අනිවාර්ය වේ. එහෙත් නීතිමය රාමුවෙන් ඔබ්බට ගිය තීරණාත්මකම සාධකය වන්නේ "රාජකීය සමාවක්" (Royal Pardon) අයැද සිටීමයි. ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන පරිදි, අනෝජන් සිය වරද වහාම නිවැරදි කර ප්‍රසිද්ධියේ සමාව ගැනීම (Tawbah / පසුතැවීම) ඉස්ලාමීය මූලධර්මයන්ට අනුව සමාව දීමට ශක්තිමත් පදනමක් සපයයි.
රිසානා නෆීක්ගේ නඩුවේදී (Qisas කාණ්ඩය) වින්දිත පවුලට සමාව දීමේ අයිතිය තිබුණද, අනෝජන්ගේ නඩුවේදී එවැන්නක් නොමැත. මහජන අයිතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකෙන මෙය අයත් වන්නේ 'තාසීර්' කාණ්ඩයට බැවින්, සමාව දීමේ පරම බලය ඇත්තේ සවුදි රජුට පමණි. අනෝජන්ගේ මව ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් කර ඇති සංවේදී ආයාචනයට ප්‍රතිචාර දක්වමින්, මේ වන විටත් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක නලින්ද ජයතිස්ස තහවුරු කර ඇත.
රුපියල් බිලියන 14ක අරමුදල සහ SLBFE හි වගකීම
රිසානා නෆීක් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් වන්දි ගෙව්වේද භාෂා පරිවර්තන ඌනතා සහ නිසි නීති උපදෙස් නොමැති වීමෙනි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව රුපියල් බිලියන 14ක දැවැන්ත අරමුදලක් පැවතියදීත් අනෝජන්ගේ පවුලට රුපියල් ලක්ෂ 18ක් පෞද්ගලිකව වියදම් කිරීමට සිදුවීම ඛේදවාචකයකි. විදේශයන්හිදී අසරණ වන මෙවැනි ශ්‍රමිකයන්ට ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා දීම සඳහා විධිමත් 'නීති ආධාර අරමුදලක්' කඩිනමින් ස්ථාපිත කිරීම සහ විදේශගත වීමට පෙර මැදපෙරදිග සයිබර් නීති පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබා දීම අනිවාර්ය බව මෙම සිදුවීමෙන් යළිත් තහවුරු වේ.
සවුදි අරාබියේ ස්වෛරීභාවයට සහ නීතියට ගරු කරන අතරම, තම පුරවැසියකුගේ ජීවිතය බේරාගැනීම ශ්‍රී ලංකා රජයේ අත්හළ නොහැකි වගකීමකි. අනෝජන්ගේ හුස්ම රැඳී ඇත්තේ අපගේ රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණයේ වේගය සහ රාජ්‍ය නායක මට්ටමේ මානුෂීය මැදිහත්වීමේ ප්‍රබලතාවය මතය. එය හෙටට කල් තැබිය නොහැක.

