ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගියදා (17) සිදුකළ අනතුරු ඇඟවීම
හුදු මාධ්‍ය ප්‍රකාශයක් පමණක් නොවේ. එය සමස්ත ශ්‍රී ලාංකීය ආර්ථිකයම විදේශීය සමාගම් ත්‍රිත්වයක් විසින් ප්‍රාණ ඇපයට ගැනීමක් බඳුය. ගොඩබෑමේ පිරිවැයට අනුකූලව මිල සංශෝධනයකට රජය ඉඩ නොදෙන්නේ නම්, ලංකා අයි.ඕ.සී., සිනොපෙක් සහ ආර්.එම්. පාර්ක්ස් යන සමාගම්වලට අයත් පිරවුම්හල් 500 ක් පමණ වසා දමන බවට කරන මෙම දැවැන්ත තර්ජනය හරහා අප හමුවේ විවර වන්නේ, අත්‍යවශ්‍ය සේවා විදේශීය ආයතන වෙත පැවරීමේ භයානක ප්‍රතිවිපාකයි.
මේ වන විටත් අදාළ සමාගම් විසින් ඩීසල් නිකුත් කිරීම සියයට 50 කින් පමණ කප්පාදු කර ඇති අතර, මෙම කෘත්‍රිම හිඟය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ මෙරට පාරිභෝගිකයායි.
ලාභයේ නාමයෙන් කරන සැපයුම් කප්පාදුව සහ ගෝලීය කම්පන
මෙම අර්බුදයේ මූලිකම සාධකය වන්නේ ගෝලීය වෙළෙඳපොළේ සිදුවන මිල උච්චාවචනයයි. මැදපෙරදිග අස්ථාවරත්වය, හෝමූස් සහ බාබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධි ආශ්‍රිත අර්බුද හේතුවෙන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.09 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
නෞකා රක්ෂණ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මත වත්මන් සිල්ලර මිලට ඩීසල් අලෙවි කිරීමේදී ලංකා අයි.ඕ.සී. සමාගම රුපියල් 141 ක ද, ආර්.එම්. පාර්ක්ස් සමාගම රුපියල් 160 ක ද, සිනොපෙක් සමාගම රුපියල් 163 ක ද දැවැන්ත පාඩුවක් ලබන බව වාර්තා වේ. එහෙත් මෙරට බෙදාහැරීමේ වෙළෙඳපොළෙන් 35% ක් පාලනය කරන මෙම සමාගම් තුනට, වාණිජ ආයතන ලෙස පිරිවැය ආවරණය කරගැනීමට අවශ්‍ය වුවද, බලපත්‍ර ගිවිසුම්වලට අනුව වෙළෙඳපොළ වෙත නිකුත් කරන ඉන්ධන සැපයුම හිතාමතාම සීමා කිරීමට ඔවුන්ට කිසිදු නීතිමය අයිතියක් නොමැත.
අයි.එම්.එෆ්. (IMF) ග්‍රහණය සහ රජයේ උභතෝකෝටිකය
විදේශීය ඉන්ධන සමාගම් මිල වැඩි කරන ලෙස ඉල්ලුවද, රජය සිටින්නේ දැඩි උභතෝකෝටිකයකය. ඩීසල් ලීටරයකින් සමාගම් ලබන රුපියල් 140 කට අධික පාඩුව පාරිභෝගිකයා මත පැටවුවහොත් ඉන් රටේ උද්ධමනය යළිත් පාලනයෙන් ගිලිහී යනු ඇත. අනෙක් අතට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ රජය එකඟ වී ඇති ප්‍රධාන කොන්දේසියක් වන්නේ ස්වයංක්‍රීය මිල සූත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ බලශක්ති සහනාධාර කප්පාදු කිරීමයි. 2026 ජූනි මසින් අවසන් වූ රුපියල් බිලියන 57 ක ඩීසල් සහනාධාරය වැනි ක්‍රමවේදයක් යළි හඳුන්වා දීමට රජයට ඉඩක් නැත.
පෞද්ගලික අංශයේ මෙම අත්තනෝමතික කප්පාදුව හමුවේ සමස්ත බර දරාගැනීමට සිදුව ඇත්තේ "ජාතික වගකීමක්" ලෙස සලකා ක්‍රියාත්මක වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) පමණි. විදේශීය සමාගම්වලින් ඉන්ධන නොලැබීම නිසා පාරිභෝගිකයින් සංස්ථා පිරවුම්හල් වෙත විශාල වශයෙන් ඇදී ඒමෙන් පෝලිම් නිර්මාණය වී ඇත.
මේ හේතුවෙන් සංස්ථාව හා සම්බන්ධ පිරවුම්හල් 1050 න් පිරවුම්හල් 432 කට පමණක් අවම තොග පවත්වාගෙන යාමට සිදුවීමෙන් පෙනී යන්නේ, විදේශීය සමාගම්වල සැපයුම් කප්පාදුව සමස්ත දේශීය සැපයුම් ජාලයම කෙතරම් අස්ථාවර කර ඇත්ද යන්නයි.
විදේශ ආයෝජනවල නිරුවත සහ ආර්.එම්. පාර්ක්ස් අර්බුදය
මෙම අර්බුදය තුළින් විදේශීය ඛනිජ තෙල් සමාගම්වල මෙහෙයුම් ස්ථාවරත්වය පිළිබඳවද බරපතළ ප්‍රශ්නාර්ථ මතු වේ. විශේෂයෙන්ම ෂෙල් (Shell) සන්නාමය යටතේ මෙහෙයුම් සිදුකරන ඇමෙරිකානු ආර්.එම්. පාර්ක්ස් සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවට නිල නොවන වාර්තා පළ වේ.
තරඟකාරී සමාගම් සිය නියෝජිතයන්ට භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම් ලබා දෙද්දී, ආර්.එම්. පාර්ක්ස් සමාගමට එවැනි නම්‍යශීලීභාවයක් පවත්වා ගැනීමට නොහැකි වී ඇත. අද වන විට එම සමාගම සමග ගිවිසුම්ගත වූ ඇතැම් අලෙවිකරුවන් යළිත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට පත්වීමට අවසර ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ, බලශක්ති අංශය පෞද්ගලීකරණය කිරීමේදී රජය තැබූ විශ්වාසය කෙතරම් දුර්වල පදනමක් මත පිහිටා තිබුණේද යන්නයි.
ජාතික නිදහස තීරණය වන ගබඩා ධාරිතාව
පෞද්ගලික අංශය කෘත්‍රිමව නිර්මාණය කරන මෙවැනි සැපයුම් අවහිරතාවලට ඇති එකම සහ ශක්තිමත්ම පිළිතුර වන්නේ ජාතික යටිතල පහසුකම් පුළුල් කිරීමයි. දැනට රජය සතුව ඇත්තේ දින 27 කට සෑහෙන ඉන්ධන ධාරිතාවක් පමණි. රුපියල් බිලියන 4.77 ක ආයෝජනයකින් කොලොන්නාව පර්යන්තයේ මෙට්‍රික් ටොන් 86,000 ක නව ටැංකි ඉදිකිරීම සහ මුතුරාජවෙල ඝන මීටර 40,000 ක ගබඩා ධාරිතාවයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති කඩිනම් කිරීම අනිවාර්ය වන්නේ එබැවිනි.
පිරවුම්හල් 500 ක් වසා දමන බවට පෞද්ගලික සමාගම් ගෙන එන තර්ජනය හමුවේ රජය දණනැමිය යුතු නැත. මෙය ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය පිළිබඳ සෘජු අභියෝගයකි. ජාතික උපායමාර්ගික සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීමේදී ස්වාධීන නියාමනයක් සහ ශක්තිමත් රාජ්‍ය ගබඩා ජාලයක් නොමැතිවීමේ ආදීනව අද ජාතියක් ලෙස අප අත්විඳිමින් සිටිමු. කඩිනමින් රාජ්‍ය ගබඩා ධාරිතාව දින 30 සීමාවෙන් ඔබ්බට වර්ධනය කිරීම හැර වෙනත් විකල්පයක් මෙරට බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ඉතිරිව නැත.
#SamaaraParanavithana

