SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


පොහොට්ටුවේ ලේකම් කල ප්‍රකාශය නිර්මාල් දේවසිරි විසින් භාරගෙන ඇත්තේ පොහොට්ටුව මේ වන විට

නිසි ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ නීතිය සහ පිළිවෙල තුල ස්ථාන ගතවෙමින් සිටින ආකාරයෙන් බව ප්‍රකට වේ. ඔහුට අනුව ඒ මාලිමාවේ අඩිපාරේ යමිනි. සාගරට අනුව මාලිමාව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කර තිබේ. ඒ ජනාධිපතිගේ රැස්වීම් වලට සෙනඟ ගෙනා ආකාර අනුව විය යුතුය.

 

 

nirmal_sagara.jpeg

 

ජවිපෙ විසින් ගෙන යන විපක්ෂ මර්දනයට අප එකඟ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නීතිය සහ පිළිවෙල සංස්ථාපනය කිරීමේ අර්ථයෙන් නොවේ (එලියට කුමක් කිව්වද ජවිපෙ ද එය සිදු කරන්නේ එම අර්ථයෙන් නොවේ). එය පැහැදිලිවම දේශපාලන තීරණයක් මත ක්‍රියාත්මක දේශපාලන ක්‍රියාදාමයකි. මේ පිළිබඳව නැවත ලිවිය නොයුත්තේ නිර්මාල්ගේ පැරණි සගයෙකු වන ශිරාල් ලක්තිලක හට මීට දින කිහිපයකට පෙර දුන් පිළිතුරෙහි (සබැඳිය: විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අභියෝගයට ලක්කරමින් ශිරාල් ලක්තිලක අධිකරණයට!) එය අඩංගු බැවින් සහ ඊට පෙර ඒ පිළිබඳව ලිපි රැසක් ලියා ඇති බැවිනි.

 

 

නිර්මාල්ට අනුව පොහොට්ටුව නැවත බලයට පැමිණිය පසු පරණ සෙල්ලම් කල නොහැකි වන පර්යායක් ගොඩනැගී තිබෙන අතර ඔවුන් ද ඒ ඔස්සේ ක්‍රමයෙන් යහමගට පැමිණෙනු ඇත. නිර්මාල් තේරුම් නොගන්නේ ජවිපෙ පක්ෂ ව්‍යුහය, එනම්, මාක්ස්වාදී සාමුහික ප්‍රයත්නයක ඇති වටිනාකමයි (මෙය අපගේ පරිකල්පනයක් හෝ පිටතින් බලා සිදු කරන ප්‍රකාශයක් නොවේ). පොහොට්ටුව හෝ ලංකාවේ බලය ලබා ගැනීමට පොරකන වෙනත් කිසිඳු පක්ෂයක එම ගුණය නොමැත (පෙසප සතුව ජවිපෙට ද වඩා හොඳින් එම ගුණය තිබුන ද ඒ ගැන කතා කිරීම නිෂ්ඵලය). ඔවුන්ගේ ස්ථාවරය වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි.

 

 

එම පක්ෂ වලට පැමිණෙන අය බොහෝ දෙනෙකු සිය පවුල් උරුමය තුලින් තම පවුලේ "legacy" එක නඩත්තු කරමින් සිටින අයයි. ඉන් පසු අධ්‍යාපනය ඔස්සේ ගොඩනගාගත් තම "උත්රුෂ්ඨභාවය" තුලින් පැමිණෙන අය, ව්‍යාපාරිකයින් වීම නිසා, චන්ඩින් ලෙස නමක් හදා ගැනීම තුලින් වැනි ලෙස "අනෙකාගේ ආශාව" රඟ දැක්වීමේ ආශාව තුලින් දේශපාලනයට ප්‍රවිෂ්ට වී ඇති පුද්ගල සුවිශේෂිතාවය මත පදනම් වූ අයයි. එම පක්ෂ ව්‍යුහයන් වල ප්‍රාදේශීය වශයෙන් තනිකරම සිටිනුයේ මිනී මරුවන්, චන්ඩි, හොරු, පාතාලයින්, වැනි අයයි.

 

 

ජවිපෙ "ප්‍රජාතන්ත්‍රවාදය" දේශපාලනික අර්ථයකින් භාවිතා කරන විට නිර්මාල් වැනි අයට එය 'ස්වාමි හැඟවුම්කාරකයකි' (master signifier).

 

 

නිර්මාල්ගේ සූත්‍රගත කිරීම කෙටියෙන් මෙසේය:

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, රීති, ආයතන- පක්ෂ එම රීති ඉගෙන ගනී. එබැවින් පොහොට්ටුව ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් වේ. මෙය ව්‍යුහවාදී (අල්තුෂරියානු අර්ථය තුල පොලා පනින ලද විෂය තත්වයන්ට අදාලව) හෝ ආයතනික (institutional) ප්‍රවේශයකි. මෙහිදී අවධාරණය වන්නේ පවතින පද්ධතියේ නීති සහ ආයතන හරහා ඕනෑම දේශපාලන කණ්ඩායමක් "ශික්ෂණය" (discipline) කළ හැකි බවයි. එනම්, ජවිපෙ විසින් පද්ධතියේ පවතින නීති සහ ආයතන නිසි පරිදි ක්‍රියාත්මක වීමට සැලැස්වීම තුල ඉදිරියේදී බලයට පැමිණෙන දේශපාලන පක්ෂ ද එම නිසි ආයතනිකත්වය තුළ ශික්ෂණයට ලක්වීම අනීවර්යක් බවයි. නිර්මාල්, Uvindu Kurukulasuriya වැනි අය 22වන සංශෝධනයට එරෙහි වන්නේද එම අර්ථයෙනි. එනම්, ව්‍යවස්ථාව අවභාවිතය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ "සුපිරිසිදු" සහ "උත්කෘෂ්ට" කුළුණු තුන කෙලෙසෙන බවය (උවිඳුලා පවසන්නේ අනේ අනුර කපුවෝ දේවාලයේ රෙන්න එපා යනුවෙනි).

 

 

නමුත් අපගේ සූත්‍රගත කිරීම:

දේශපාලනය, සංකේතීය ප්‍රතීඝතාවය (symbolic antagonism), තරඟකාරී අනන්‍යකරණ මාදිලි, විවිධ පාක්ෂික ආකෘතීන්, 'අනෙකා' (the Other) සමඟ පවතින විවිධ සබඳතා, ලෙසය. එහිදී "ප්‍රජාතන්ත්‍රවාදය" යන්නම අරගලය තුළ භාවිත වන හැඟවුම්කාරකයක් (signifier) බවට පත් වේ. අපගේ ස්ථාවරය වන්නේ ලැකානියානු අර්ථයෙන් 'කතිකාව' පිළිබඳ ප්‍රවේශයකි. මෙහිදී අප පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ස්ථාවර "රීති මාලාවක්" නොව, විවිධ අනන්‍යතාවයන් සහ 'අනෙකා' (Other) සමඟ පවතින (මෙම 'Other' යන්න පිළිබඳව විවිධ ආකාරයෙන් පූර්ව ලිපි වල පැහැදිලි කිරීම් ඇති බැවින් නැවත පැහැදිලි කල යුතු නොවේ) විවිධ මානසික සබඳතාවන් අතර සිදුවන සංකේතීය සටන් බිමක් බවයි. මෙහිදී "ප්‍රජාතන්ත්‍රවාදය" යනු අරගලය කරන පාර්ශවයන් තමන්ගේ අර්ථයන් ආරෝපණය කරන හැඟවුම්කාරකයක් (signifier) පමණි. සංයුක්ත අර්ථයෙන් ප්‍රකාශ කරන්නේ නම්, පොහොට්ටුව බලයට පැමිණියහොත් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සිදුවන්නේ ජවිපෙට "ඇඹුල්තියල් වීමටය" (ප්‍රජාතන්ත්‍රවාදය යනු ස්ථාවර "රීති මාලාවක්" නොවේ). ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එම කෙටි හැඳින්වීමට අදාළ දීර්ග විග්‍රහ කිරීම් අපගේ වෙබ් අඩවියේ තිබේ.

 

 

ජවිපෙ වැනි පක්ෂයක පක්ෂ අනන්‍යතාවය යන්න ආත්මයේ දේශපාලනික අනන්‍යතාවය හෝ පුද්ගල ජීවන චරිතයෙන් පමණක් නිර්මාණය නොවී, සාමුහික හැඟවුම්කරණීය දාමයක් තුළ සංවිධානය වේ. එනම්, සේනානායක, බණ්ඩාරනායක, ජේ.ආර්. රාජපක්ෂ වැනි අනන්‍යතා හෝ පුද්ගල ජීවන චරිත තුලින් නිර්මාණය වන පක්ෂ අනන්‍යතාවයක් නොවේ. විශේෂයෙන්ම පොහොට්ටුවට නම් රාජපක්ෂ ශුක්‍රනුවේ අකණ්ඩතාවය කිසිදා බිඳිය නොහැකිය. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ දකුණු ආසියාවේ තත්වය එසේ වුව ද "දියණු" බටහිර රටවල එසේ නොමැති බවයි. නමුත් "දියණු" බටහිර රටවල අඩුවෙන් පවතින්නේ පවුල් උරුමය පමණි.

 

 

ජවිපෙ වැනි පක්ෂයක් තුල පක්ෂය, ඉතිහාසය, අරගලය, “පරිත්‍යාගය”, සාමූහික විනය සහ “විප්ලවීය ආත්මය” වැනි හැඟවුම්කාරක එකිනෙකට බැඳී, ආත්මයේ 'ආශාව' සහ 'ප්‍රමෝදය' (jouissance) සංවිධානය කරන විශේෂ සංකේතීය ගැටයක් (symbolic knot) නිර්මාණය කරයි. මෙම මෙම ගැටය එක් එක් ආත්මය තුළ ඔහුගේ "එකභාවී අනන්‍ය ප්‍රමෝද මාදිලිය" (singular mode of jouissance) සමඟ සම්බන්ධ වී, ඔහුගේ දේශපාලන පැවැත්ම උසුරුවන රෝග ලක්ෂනමය (sinthomatic) ආකාරයක් (sinthome) බවට පත් වී ක්‍රියාත්මක වේ (මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ චේගුවේරාය). අප ඇතුළු සියලු දෙනාටම පොදු මේ තත්වය විශේෂයෙන්ම ජවිපෙ, පෙසප වැනි පක්ෂ වල අය "කැප කිරීම" යනුවෙන් හඳුන්වයි.

 

 

එවිට ආත්මයේ “මම” යන්න,“අපි” යන සංකේතීය ස්ථානය තුළ නැවත සංවිධානය වේ. මේ තත්වය ලිබරල් පුද්ගල ආත්මය සමඟ සරලව සමාන කළ නොහැක.

 

 WhatsApp_Image_2026-09-19_at_01.03.jpeg

 

WhatsApp_Image_2026-09-19_at_01.14.jpeg

 

දැන් ඉහත විශ්ලේෂණය මෙසේ සැකවින් දැක්විය හැකිය:

 

ප්‍රශ්නය වන්නේ පොහොට්ටුව ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුළු වෙමින් සිටිනවාද, නැද්ද යන්න නොවේ. “ප්‍රජාතන්ත්‍රවාදය” යන 'ස්වාමි හැඟවුම්කාරකය' (master signifier) හරහා විවිධ දේශපාලන ආත්මීයත්වයන් විසින් තමන්ගේ සුජාතභාවය සංවිධානය කරගන්නේ කෙසේද යන්නයි.

 

ලිබරල් පක්ෂයක ආත්මීයත්වය තමන්ව පවුල, අධ්‍යාපනය, ව්‍යාපාරය, පුද්ගල කීර්තිය සහ ප්‍රාදේශීය බලය වැනි 'හැඟවුම්කාරක' හරහා ස්ථානගත කරගත හැකි අතර, විප්ලවවාදී පක්ෂයක සාමුහික අනන්‍යතාවය, ඉතිහාසය, පක්ෂය, අරගලය සහ සාමූහික විනය වැනි හැඟවුම්කාරක හරහා තමන්ව සංවිධානය කරගත හැක. නමුත්, ප්‍රශ්නය වන්නේ මේ දෙකෙන් එකක්වත් 'මහා අනෙකාගේ' (Big Other) බලයෙන් පිටත නොවීමයි. පැවති ආණ්ඩු විසින් ඉදිකළ අධිවේගී මාර්ග වලට වඩා වැඩි ප්‍රමාණයක්, මාර්ග සංවර්ධනය, වෙනත් මහා නාගරික පරිමාණ සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක වන්නේ එබැවිනි. ඔවුන් ඒවා සාධාරණිකරණය කරන්නේ ඔවුන් පිහිටා ඇති මුඛ්‍ය දෘෂ්ටිවාදය වන "ඓතිහාසික භෞතිකවාදය" තුලිනි. එබැවින් දේශපාලනය ඇත්තේ මෙතනය. ඒ දෘෂ්ටිවාදය විචාරය කිරීම සහ පන්ති අරගලයේ නව ස්වරූපය පිළිබඳව කතිකාව ගොඩනැගීම තුලිනි. ලකානියානු අර්ථයෙන් දේශපාලන ක්‍රියාව යනු නීතියට පිටින් කරන ඕනෑම බලහත්කාර ක්‍රියාවක් නොවේ. එනම් දේශපාලන ක්‍රියාවක් යනු පවතින සංකේතීය ඛණ්ඩාංක තුළ ආත්මයේ ස්ථානයම වෙනස් කරන මැදිහත් වීමකි.

 

 

ශිරාල් විසින් මතු කරන ප්‍රශ්නයට ද මෙතනින්ම පිළිතුරු දිය හැකිය. ශිරාල් මෙසේ පවසයි: "ඒ අනුව මෙම සංශෝධනය හුදු නෛතික ප්‍රතිසංවිධානයකට වඩා ශ්‍රී ලංකාවේ දේශපාලන අවිඤ්ඤානය (political unconscious) තුළ ක්‍රියාත්මක වන රෝග ලක්ෂණාත්මක චාරිත්‍රයක් (symptomatic ritual) ලෙස හඳුනාගත යුතු බවය."

 

 

අප මින් පෙර අපගේ ලේඛන තුලින් පැහැදිලිව පවසා ඇත්තේ ෆ්රෝයිඩියානු-ලකානියානු අර්ථයෙන් "දේශපාලන අවිඤ්ඤානය" යනුවෙන් අර්ථයක් නොපවතින බවය. අප මේ පිළිබඳව මීට පෙර ලියා තිබේ. මේ එම එක් ලිපියක සබැඳියයි: https://www.facebook.com/share/v/1LUmYxMBcv/

 

 

එයට පිළිතුර ලෙස අපට පැවසිය හැක්කේ, යම් කෙනෙකු ඉතාමත් අතාර්කික ලෙස, තර්කයකට තර්කයකින් පිළිතුරු දිය නොහැකි ලෙස, අවිවෘතව යම් අධාන්ග්‍රහීත්වයක නිරත වන්නේ නම් ඔහුගේ එම සවිඥානික ක්‍රියාවන් භාෂාවක් මෙන් ව්‍යහුගතව ඇති ඔහුගේ අවිඥානය සමග ඇති සම්බන්ධය තුල ක්‍රියාත්මක බවය.

 

 

එබැවින් දැන් නිර්මාල් සම්බන්ධයෙන් අපට මෙසේ පැවසිය හැකිය:

නිර්මාල් අපගේ සංවාදයට විවෘත නොවන්නේ සහ ඔහුගේම තර්කය තුළ මතුවන දෙය ඔහුගේ ඊළඟ ප්‍රකාශය තුළම නිශේධ වන ආකාරය තුලින් අතාර්කික එකම ස්ථාවරයක් දිගින් දිගටම එලියට පැමිණෙන්නේ ඇයි? නැවතත් පැවසිය යුත්තේ ෆ්‍රොයිඩියානු–ලකානියානු අර්ථයෙන් “දේශපාලන අවිඥානය” යනුවෙන් ස්වාධීන අර්ථයක් නොපවතින බවයි. අවිඥානය යනු දේශපාලනය පිටුපස ස්වාධීනව ක්‍රියාත්මක වන කිසියම් ගැඹුරු මනෝවිද්‍යාත්මක යාන්ත්‍රණයක් නොවේ.

 

 

 

එබැවින් නිර්මාල් සම්බන්ධයෙන් ප්‍රශ්නය වන්නේ ඔහු තුළ සැඟවී ඇති කිසියම් “දේශපාලන අවිඥානයක්” ඔහුගේ සවිඥානික දේශපාලන ක්‍රියාවන් පාලනය කරන්නේ මන්ද යන්න නොවේ (අවිඥානය යනු දේශපාලනය පිටුපස ස්වාධීනව ක්‍රියාත්මක වන කිසියම් ගැඹුරු මනෝවිද්‍යාත්මක යාන්ත්‍රණයක් නොවේ). ප්‍රශ්නය වන්නේ ඔහුගේම කථනය තුළ මතුවන තර්ක හා ඒවාම ඊළඟ මොහොතේ නිශේධ කරන ප්‍රකාශ, නැවත නැවත මතුවන ස්ථාවරයන් සහ ඒවා අතර පවතින පරස්පරතා තුළ 'ආත්මය' (subject) විසින් සම්පූර්ණයෙන් පාලනය නොකරන හැඟවුම්කාරක ක්‍රියාකාරීත්වයක් හඳුනාගත හැකිද යන්නයි.

 

 

වෙනත් වචනවලින් කිවහොත්, යම් කෙනෙකුට තර්කයකට තර්කයකින් පිළිතුරු දිය නොහැකි තරම් අතාර්කික ලෙස එකම ස්ථාවරයක නැවත නැවත රැඳී සිටීමට සිදුවන විට, එය ඔහුගේ ඇතුළත සැඟවී ඇති 'අවිඥානයක්' ඔහුගේ ක්‍රියාව පාලනය කරන බවට සාක්ෂියක් නොවේ. ඒ වෙනුවට, ඔහුගේම කථනය තුළ 'ආත්මය' නොදන්නා ආකාරයකින් හැඟවුම්කාරක ක්‍රියාත්මක වන ආකාරයයි. ලකානියානු අර්ථයෙන් අවිඥානය යනු යම් සැඟවුණු අභ්‍යන්තර වස්තුවක් නොව, 'ආත්මයේම' කථනය තුළ ඔහු නොදන්නා ලෙස කථා කරන දෙයයි. අපට ඒවා සෙවිය නොහැක. නමුත් මෙසේ පැවසිය හැකිය: එනම්, ඔහු මේ ලෝකයට ඉපදී, පසුව, විශේෂයෙන්ම, ඔහු දේශපාලනයට පැමිණි ඉතිහාසය, දේශපාලනයට ප්‍රවේශ වූ සහ ඉතාම උද්වේගවත් සමයේ සිද්ධීන්, ආශාව, අනන්‍යකරණය, ඔහු ස්ථානගත වූ 'අනෙකාගේ ආශාව', ෆැන්ටසීන්, ඔහුට හමුවූ හැඟවුම්කාරක සහ ඒවා හමු වූ ආකාරය සහ සංදර්භයන්, ආදිය තුළ ආත්මයක් ලෙස ඔහු ගොඩනැගී තිබීම තුළ අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගතව ක්‍රියාත්මක වේ. එනම්, ඔහුගේ සවිඥානික දේශපාලන ප්‍රකාශ හා ක්‍රියා තුළම, ඔහු විසින් සම්පූර්ණයෙන් පාලනය නොකරන හැඟවුම්කාරක වල සම්බන්ධතා, 'පුනරාවර්තන' (repetitions), ප්‍රතිවිරෝධතා (contradictions) සහ දිව ලිස්සා යාම් ආදිය හරහා අවිඥානය ක්‍රියාත්මක වේ (එය ආත්මයේම කථනය හා ක්‍රියාව තුළ, ආත්මය නොදන්නා ආකාරයකින් හැඟවුම්කාරක ක්‍රියාත්මක වන තැනයි). එවිට දෘෂ්ටිවාදය යනු “ආත්මයක් නොමැති දැනුම” ලෙස ක්‍රියාත්මක වන හැඟවුම්කාරක, ආත්මයේ ආශාව සහ ප්‍රමෝදය (jouissance) යම් නිශ්චිත ආකාරයකට සංවිධානය කරමින් එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරයයි.

 

 

නමුත් අපට ඔහුගේ “අවිඥානය” සොයාගෙන, එය මෙය යැයි නිශ්චිතව පෙන්වා දිය නොහැක.

 

එහෙත් දීප්ති මේ දිනවල ඒ කාර්යයේ (“අවිඥානය” සොයාගැනීම) නිරත වී සිටී. ඒ ඔහුගේ දෙකේයායේ මිස්ටර් මනප්පු ප්‍රෝෆයිලයෙනි. ඔහුම පවසන පරිදි ඔහු ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඒ සඳහා තෝරාගත යුතු හොඳම පුද්ගලයාය. ඒ NSSPයේ සිටි අජිත් මුණසිංහය. එහිදී දීප්ති විශ්ලේෂකයා (analyst) වෙමින් අජිත්ව Facebook කවිච්චියේ හාන්සි කරවා "විශ්ලේෂණ ක්‍රියාවලියේ යෙදෙන" අතර අජිත් විශ්ලේශිතයා (analysand) බව දීප්ති පවසයි. නමුත් ප්‍රශ්නය වන්නේ analysand වන අජිත් දීප්ති (analyst) යනු "subject supposed to know" ලෙස නොපිළිගැනීමයි. එබැවින් එතැනින්ම විශ්ලේෂණය ක්‍රියාවලිය අසාර්ථක වේ. එනම්, විශ්ලේශිතයා විසින් විශ්ලේෂකයා ඉහත කී ආස්ථානයේ පිහිටුවාලන්නේ නැත්නම් විශ්ලේෂණ ක්‍රියාවලිය ඉදිරියට නොයයි. නමුත්, එකල පාරේ යන මිනිසුන්ගේ පවා අවිඥානය කියවූ දීප්ති ඉන් පසු නොබසී. ඔහු දිගටම අජිත් කවුද යන්න ප්‍රකාශ කරමින් සිටී. කෙසේ වෙතත් සංවාදය ෆුල් ආතල්ය. ඒ කෙසේ වෙතත් අපට අජිත් සම්බන්ධයෙන් ද පැවසිය හැක්කේ ද නිර්මාල් සම්බන්ධයෙන් පවසන දෙයමය. නමුත් අජිත් සිටිනුයේ නිර්මාල් තරම් හෝ විවෘතභාවයක නොවේ. ඒ අජිත්ට අදාලව දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරය තුලය (දෘෂ්ටිවාදය යනු “ආත්මයක් නොමැති දැනුම” ලෙස ක්‍රියාත්මක වන හැඟවුම්කාරක, ආත්මයේ ආශාව සහ ප්‍රමෝදය (jouissance) යම් නිශ්චිත ආකාරයකට සංවිධානය කරමින් එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරයයි).

 

 

 

නැවතත් ශිරාල්ගේ ප්‍රශ්නය වෙත ප්‍රවේශ වෙමින් පැවසිය හැක්කේ අනුරගේ අවිඥානය ජවිපෙ නමැති සාමුහික ප්‍රයත්නය තුල තීරණාත්මක සාධකයක් නොවන බවය. එනම්, අනුර විධායක ජනාධිපති වූ පමණින් ඔහු UNPයේ ජේ.ආර්., රනිල් හෝ SLFPයේ චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන මෙන් ක්‍රියා කරන්නෙකු විය නොහැකි වේ. නමුත් බොහෝ දෙනෙකු සිතා සිටිනුයේ අනුරට අවශ්‍ය නම් 22 පිළිබඳව තීරණයක් ද ගත හැකි බවයි (උවිඳුගේ ගොං කතා බලන්න).

 

 

 

මේ ලිපිය කියවීමෙන් නිර්මාල් මෝක්ෂය අත්පත් කරගනිතැයි අප සිතන්නේ නැත. නමුත් ඔහුට ඒ පිළිබඳව ගැඹුරින් සිතා බැලිය හැක. එසේ නොමැති නම් අපව බිත්තියට හේත්තු කොට ප්‍රශ්න කල හැකිය.

 

# ස්පාටකස් ලිපි

 

 

මීට අදාළ පෙර ලිපි සබැඳිය

https://slleader.lk/news/14254-2026-08-16-14-44-54

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අභියෝගයට ලක්කරමින් ශිරාල් ලක්තිලක අධිකරණයට!