හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ බිරිඳ, සිය
සැමියාගේ බරපතල හෘද රෝගී තත්ත්වය පෙන්වා දෙමින් ඔහුට එරෙහිව පනවා ඇති රැඳවුම් නියෝගය දීර්ඝ නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ආයාචනා කර තිබේ.
අගෝස්තු 20 වැනි දිනැති ලිපියක් මගින් එස්.බී.එම්.එස්.බී. සලේ මහත්මිය ඉල්ලා සිටියේ, තම සැමියාට අඛණ්ඩව විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, ඔහුව අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
රඳවා තබා ගෙන සිටින කාලය තුළ, විශේෂයෙන්ම ඔහු උපවාසයක් ආරම්භ කිරීමෙන් පසුව සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බව ඇය පැවසුවාය. ජුනි 7 වැනිදා ඔහුව ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ජුනි 27 වැනිදා රෝහලේ හෘද රෝග ඒකකය වෙත මාරු කර යවා තිබේ.
එම ලිපියට අනුව, අඛණ්ඩව පවතින හෘදයාබාධ හේතුවෙන් සුරේෂ් සලේ පසුව හෘද ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, එහිදී ඔහුගේ හදවතට 'Implantable Cardioverter-Defibrillator' (ICD) උපකරණයක් බද්ධ කර ඇත.
ශල්‍යකර්මයෙන් පසු ඔහුට සමීප සහ විශේෂිත වෛද්‍ය නිරීක්ෂණ අවශ්‍ය බව පැවසූ ඔහුගේ බිරිඳ, ඔහුව ජාතික රෝහලෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයට මාරු කිරීමෙන් ඔහුගේ ජීවිතය බරපතල අවදානමකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවූවාය.
එබැවින්, ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපති දිසානායක ගෙන් ඇය ඉල්ලා සිටියේ, දැනට පවතින රැඳවුම් නියෝගය කල් ඉකුත් වීමට ඉඩ හැර, හිටපු බුද්ධි ප්‍රධානියාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, එවිට ඔහුගේ රැඳවුම් භාරය සහ සිදුවෙමින් පවතින විමර්ශනය අධිකරණ අධීක්ෂණය යටතේ සිදු කළ හැකි බවත්ය.
විමර්ශනයට බාධා කිරීමට හෝ ඊට අතපෙවීම් කිරීමට සලේ ට හෝ ඔහුගේ පවුලේ අයට කිසිදු අදහසක් නොමැති බවටද ඇය බලධාරීන්ට සහතික විය. අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
එස්.බී.එම්.එස්.බී. සලේ මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය පහත දැක්වේ.





