ඓතිහාසික පසුබිම සහ විකාශනය
වස් කවි යනු ශ්රී ලාංකේය ජන සමාජය තුළ පුරාණයේ සිට පැවත එන වාචික සම්ප්රදායකි.
බුදුදහම, හින්දු ආභාසය සහ ප්රාදේශීය ඇදහීම්වල සම්මිශ්රණයකින් නිර්මාණය වූ මෙය, යහපත ප්රාර්ථනා කරන 'සෙත් කවි' කලාවේ ප්රතිවිරුද්ධ අන්තය නියෝජනය කරයි. අක්ෂර, ගණ සහ මාත්රා නිශ්චිත රටාවකට ගලපා, යම් පුද්ගලයෙකුට හෝ පාර්ශ්වයකට විනාශය, ලෙඩ රෝග හෝ මරණය පවා ළඟා කර දීමේ අරමුණින් වස් කවි ගායනා කෙරේ. ඓතිහාසිකව, කෝට්ටේ සහ මහනුවර යුගවලදී කවියන් තමන්ට සිදුවූ අසාධාරණකම් වෙනුවෙන් දෙවියන් යැදීමට සහ වරදකරුවන්ට දඬුවම් පැනවීමට මෙම ක්රමය භාවිතා කර ඇත.
සංස්කෘතික බලපෑම
ලෝකෝත්තර විමුක්තිය අපේක්ෂා කරන බෞද්ධ දර්ශනයට වඩා, ලෞකික අවශ්යතා සහ යුක්තිය පසිඳලීම සඳහා ශ්රී ලාංකිකයන් දේවාල විශ්වාසයන් (උදා: සීනිගම, මුන්නේශ්වරම්, නවගමුව) මත යැපීම මෙයින් පෙන්නුම් කරයි. සමාජය තුළ 'වාග් දෝෂය' හෙවත් වචනයට ඇති බලය පිළිබඳව දැඩි භීතියක් සහ ගෞරවයක් පවතී. නීතියෙන් හෝ වෙනත් භෞතික ක්රමයකින් විසඳාගත නොහැකි අර්බුදවලදී, සාමාන්ය ජනයා අදෘශ්යමාන බලවේගයක පිහිට පැතීම ලාංකේය සංස්කෘතියේ ගැඹුරටම කාවැදුණු ලක්ෂණයකි.
සමාජ විද්යාත්මක අර්ථය
මහාචාර්ය ගණනාත් ඔබේසේකර වැනි මානව විද්යාඥයින් පෙන්වා දෙන පරිදි, හදි හූනියම් සහ වස් කවි යනු සමාජයේ ප්රචණ්ඩත්වය 'නාලිකාගත කිරීමේ' විධික්රමයකි. පුද්ගලයෙකුට තමාට සිදුවූ අසාධාරණයකට භෞතිකව හෝ නීතිමය වශයෙන් ප්රතිචාර දැක්වීමට නොහැකි වූ විට, එම ආවේගය සහ වෛරය පිටකරන මනෝවිද්යාත්මක ආරක්ෂණ යාන්ත්රණයක් ලෙස මෙය ක්රියාත්මක වේ. එනම්, සෘජු මිනීමැරුම් හෝ භෞතික ප්රචණ්ඩත්වය වෙනුවට, එම ආවේගය දේව කන්නලව්වක් බවට පරිවර්තනය වීම හරහා සමාජයේ සමස්ත ප්රචණ්ඩත්වය යම් මට්ටමකට පාලනය වීමක් ද සිදුවේ. එහෙත්, එයින් පෙනී යන්නේ අදාළ පුද්ගලයා තුළ පවතින ගැඹුරු පළිගැනීමේ සහ විනාශ කිරීමේ චේතනාවයි.
නූතන ලංකාවේ සමාජ මාධ්ය කම්පනය
(යූටියුබයේ උඩුගත කර ඇති වීඩියෝව)
සම්ප්රදායිකව ග්රාමීය සමාජයේ යුක්තිය පසිඳලීමේ අවසන් විකල්පය වූ 'වස් කවිය', අද වන විට නූතන දේශපාලන බල අරගලයේ සහ සමාජ මාධ්ය මෙහෙයුම්වල ප්රබල සන්නිවේදන මෙවලමක් බවට පත්ව ඇත. මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉලක්ක කරමින් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීමක් පදනම් කරගනිමින් නිර්මාණය වූ 'වජ්රපාණී' වස් කවිය සහ ඒ වටා ගෙතුණු සමාජ කතිකාව, ලාංකේය සමාජයේ දේශපාලන සහ සංස්කෘතික ගැටුම මනාව නිරූපණය කරයි.
වාමාංශික සහ ශාස්ත්රීය කියවීම - "චේතනාවේ භයානකකම"
විදේශීය ආචාර්ය උපාධිධාරිනියක සහ වාමාංශික දේශපාලන මතවාදයක් දරන ගීතිකා ධර්මසිංහ මෙම සිදුවීම දකින්නේ හුදු මිථ්යා විශ්වාසයක් ලෙස නොව, විපක්ෂය සහ ඇතැම් භික්ෂු කණ්ඩායම් තුළ මුල්බැසගෙන ඇති 'මිනීමැරීමේ මනෝභාවය' හෙළිදරව් කරන දේශපාලන දර්ශකයක් ලෙසිනි.
ගණනාත් ඔබේසේකරගේ මානව විද්යාත්මක න්යායන් උපුටා දක්වමින් ඇය තර්ක කරන්නේ, බලි තොවිල් හෝ වස් කවි මගින් මිනිසුන් මරා දැමිය නොහැකි වුවද, එම ක්රියාව පිටුපස ඇති පූර්ව සැලසුම්ගත චේතනාව (Premeditated Murderous Intent) ඉතා භයානක බවයි. ඇය මෙය ලාංකේය ඉතිහාසයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය දක්වා දිවයන, දේශපාලනික අරමුණු වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ප්රචණ්ඩත්වය මෙහෙයවීමේ සම්ප්රදාය සමග සමපාත කරයි. ඇයගේ සමාජභාවය අනුව, මෙය නූතන වාමාංශික රාජ්ය නායකයෙකුට එරෙහිව පැරණි වැඩවසම් සහ ආගමික බලවේග විසින් දියත් කරන ලද මනෝවිද්යාත්මක ත්රස්තවාදයක් ලෙස අර්ථකථනය කෙරේ.
නිර්මාණකරුවන්ගේ උපාය
වස් කවිය රචනා කළ පාර්ශ්වය සිය ක්රියාව සාධාරණීකරණය කරන්නේ බෞද්ධ ධර්මයේ මහායාන සහ ථේරවාද සංකල්ප (වජ්රපාණී සංකල්පය) සහ තම භාව ප්රකාශනයේ නිදහස භාවිතා කරමිනි. ඔවුන්ට අනුව මෙය ඥානසාර හිමියන් ගිහි ඇඳුමෙන් සිටිනු දැකීමෙන් ඇතිවූ කම්පනයේ ප්රතිඵලයකි.
ඔවුන් ඉතා සූක්ෂම ලෙස වගකීමෙන් බැහැර වෙමින් ප්රකාශ කරන්නේ, "බොරුවෙන් රජ වූ" සහ "චීවරයට නිගා දෙන" අයට පමණක් දඬුවම් කරන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටි බවයි. මෙහි ඇති දේශපාලන සහ සමාජීය උපක්රමය වන්නේ, යම් පාර්ශ්වයක් මෙම කවියෙන් කෝපයට පත්වන්නේ නම්, ඔවුන් ඉබේම 'බොරුවෙන් රජ වූ' පාර්ශ්වය ලෙස සමාජය ඉදිරියේ ස්ථාපිත වීමේ උගුලක් නිර්මාණය කිරීමයි. මෙය අතීතයේ දේවාලවල පළිගැසීමේදී භාවිතා කළ මානසික බලපෑම් කිරීමේ උපක්රමයේම නූතන දිගුවකි.

(සමාජ මාධ්යයේ සැරසරන පෝස්ටුවකි)
නීතිය සහ සමාජ මාධ්යයේ භූමිකාව
මෙම සිදුවීමත් සමග දෙමටගොඩ පොලිසිය තරුණයෙකුගෙන් ප්රශ්න කළ බවට පැතිර ගිය අසත්ය පුවත, මෙවැනි සංවේදී අවස්ථාවලදී සමාජ මාධ්ය තුළ කෘත්රිමව මතවාද ගොඩනැගීමේ වේගය පෙන්නුම් කරයි.
පොලිසිය එය ප්රතික්ෂේප කිරීම සහ පොලිස්පතිවරයා අසත්ය ප්රචාර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම තුළින් පෙනී යන්නේ, අදෘශ්යමාන බලවේගය
කට කරන ලද ආයාචනයක් වුවද, නූතන රාජ්ය යන්ත්රණයට එය මහජන සාමය කඩකිරීමේ සැබෑ භෞතික තර්ජනයක් ලෙස සලකා ක්රියාත්මක වීමට සිදුව ඇති බවයි.
අවිඥානය සහ දේශපාලන ෆැන්ටසිය
අවසන් වශයෙන් මෙම සමාජ විඥානය මනෝවිශ්ලේෂණාත්මක කියවීම් හරහා තවදුරටත් ගැඹුරින් විග්රහ කළ හැකිය. ලැකානියානු අර්ථයෙන් ගත් කල, ලාංකේය සමාජයේ මෙම දේශපාලනික හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ භාෂාවක් සේ ව්යුහගත වූ 'අවිඥානය' හෙවත් 'යටි සිත' සහ 'මහා අනෙකාගේ' (Big Other) මැදිහත්වීමයි. ශිෂැක්ගේ දෘෂ්ටිවාදය පිළිබඳ න්යායට අනුව, නූතන සමාජය මෙහිදී හැසිරෙන්නේ "මෙය මිථ්යාවක් බව අප හොඳින් දනී, නමුත් එසේ වුවත් අප එය විශ්වාස කරන්නාක් මෙන් ක්රියා කරමු" (I know very well, but nevertheless...) යන මානසිකත්වයෙනි. බාහිරින් නවීන තාක්ෂණය භාවිත කරන බුද්ධිමත් යැයි කියාගන්නා දේශපාලන ප්රජාව, තම දේශපාලනික බෙලහීනතාවය හමුවේ යටි සිතේ පවතින ප්රචණ්ඩකාරී ෆැන්ටසිය සන්තර්පණය කරගන්නේ මෙවැනි වස් කවි හරහාය. එය පිළිගන්නා වාමාංශික හා රැඩිකල් පාර්ශ්වයේ භෞතිකවාදී මතවාදයට මෙමගින් එලෙසම විභාගයට ලක්වේ.
කෙසේ වුවත්, වස් කවිය යනු හුදු ප්රාථමික ඇදහීමකට වඩා, ප්රතිවාදියා සංකේතීය ලෝකය (Symbolic order) තුළ විනාශ කර දැමීමෙන් යම් 'අතිරික්ත වින්දනයක්' (Surplus Jouissance) ලබාගන්නා නූතන දේශපාලනික අවිඥානික මෙවලමක් බව මින් මනාව ගම්ය වේ. මේවා නීතියට පටහැනි වන්නේ නම් සීනිගම, මුන්නේශ්වරම්, නවගමුව, ගැටබරුව වැනි ස්ථානයන් තහනමට ලක්කළ යුතුවේ.
# සමාරා පරණවිතාන
SLLeader

