SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද දේශපාලන කතිකාව තුළ 'චෙම්මනි' යනු හුදෙක්

භූමි ප්‍රදේශයක් පමණක් නොවේ. එය දශක ගණනාවක් පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ ගෝලීය සංකේතයක් විය.

 

එහෙත් 2025-2026 වර්ෂවලදී සිදුකළ පුළුල් පුරාවිද්‍යාත්මක කැනීම් සහ මහාචාර්ය රාජ් සෝමදේවගේ නවතම අධිකරණ වාර්තාව විසින් මේ දක්වා සමාජගත වී තිබූ දේශපාලනික කතන්දරය සහමුලින්ම දෙදරුම් කවා තිබේ. විවිධ පාර්ශ්වයන් තමන්ට අවශ්‍ය පරිදි ගොඩනගාගෙන තිබූ දෘෂ්ටිවාදීමය ෆැන්ටසිය විද්‍යාව හමුවේ ඛණ්ඩනය වීමේ ආරම්භය මෙයයි.

 

 

 

මහාචාර්ය සෝමදේවයන්ගේ අතුරු වාර්තාව මගින් විද්‍යාත්මකව යෝජනා කරන්නේ චෙම්මනි භූමියෙන් හමුවූ මළසිරුරු යුද අපරාධයක හෝ නීති විරෝධී ඝාතනයක ප්‍රතිඵලයක් නොව, දරුණු වසංගතයකින් හෝ ස්වභාවික ආපදාවකින් මියගිය පුද්ගලයන්ගේ විය හැකි බවයි. මෙම තනි විද්‍යාත්මක අනුමානයත් සමඟම, ජාත්‍යන්තරය සහ ඩයස්පෝරාව විසින් අනුලංගනීය සත්‍යයක් ලෙස ගොඩනගා තිබූ ආඛ්‍යානය බරපතළ කම්පනයකට ලක්ව ඇත. ආගමික වතාවත්වලට අනුකූලව ක්‍රමානුකූලව සිරුරු මිහිදන් කර තිබීම සහ ළමා හෝ කාන්තා අස්ථි බහුල වීම වැනි සාධක හරහා, මෙම මරණ සෘජු හමුදා ක්‍රියාකාරිත්වයකින් වියුක්ත කිරීමට විද්‍යාව සමත් වී සිටී.

 

 

 

මෙම තත්ත්වය දකුණේ ජාතිකවාදී කඳවුරට කදිම දේශපාලන ප්‍රාග්ධනයක් වී තිබේ. ඔවුන්ගේ නවතම තර්කය වන්නේ චෙම්මනි යනු කිසිදිනෙක යුද අපරාධයක් නොවූ බවත්, එය හුදෙක් රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමළ ඩයස්පෝරාව විසින් ජාත්‍යන්තර අරමුදල් ගසාකෑම සඳහා හිතාමතා නිර්මාණය කරන ලද කෘත්‍රිම ව්‍යාපෘතියක් පමණක් බවත්ය.

 

 

විද්‍යාත්මක වාර්තාව පලිහක් කරගනිමින් සමස්ත යුද අපරාධ චෝදනාවලින්ම නිදොස් වීමට රජය සහ ඇතැම් කණ්ඩායම් දරන ප්‍රබල උත්සාහය මින් මැනවින් පැහැදිලි වේ.

 

 

Sri Lanka's Chemmani mass grave reopens wounds from the civil war - and  families want answers

 

 

 

අනෙක් අතට, මෙමගින් රාජ්‍ය නොවන සංවිධානවල දේශපාලන ආර්ථිකය පිළිබඳවද බරපතළ ප්‍රශ්න කිරීමක් සමාජය තුළ මතුකර ඇත.

 

 

මානව ඛේදවාචකයන් දේශපාලනික හා මූල්‍යමය ප්‍රාග්ධනයක් බවට පරිවර්තනය කරගැනීමේ ව්‍යාපාරයකට ජාත්‍යන්තර සංවිධාන යොමුව සිටියාද යන සැකය දැන් සමාජගත වී හමාරය. අලුතින් මතුවන සෑම අස්ථි කැබැල්ලක්ම මුදල් ඉපයීමේ ව්‍යාපෘතියක් බවට පත්කර ගන්නා පසුබිමක, සෝමදේව වාර්තාව එම එන්ජීඕ ආඛ්‍යානවල පවතින කුහර නිරාවරණය කරන කැඩපතක් බවට පත්ව ඇතැයි දකුණේ මතවාදයන්ගෙන් කියැවේ.

 

 

 

එහෙත් මේ සංකීර්ණ දේශපාලන ප්‍රහේලිකාව එතැනින් නිමා වන්නේ නැත. චෙම්මනිය හුදෙක් වසංගත සුසානයක් පමණක් යැයි කියා 1996 දී ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ විසින් පුද්ගලයින් 300කට අධික සංඛ්‍යාවක් පිළිබඳව අධිකරණය හමුවේ කළ අතිශය භයංකර පාපොච්චාරණය අපට අමතක කළ හැකිද?

 

 

Chemmani mass grave: Chief archaeologist posits infectious disease | The  Morning

 

 

හිස සුන් මළසිරුරු, යකඩ ඇණ, සහ වැහි කබා පැළඳ සිටි දෑත් බැඳ දැමූ සිරුරු කිසිසේත්ම වසංගතයකින් මියගොස් සාම්ප්‍රදායිකව වළදැමූ ලක්ෂණ නිරූපණය කරන්නේ නැත. මෙම භෞතික සාක්ෂි සෘජුවම ගැටෙන්නේ විද්‍යාත්මකව අනුමාන කරන 'ස්වභාවික විපත' යන කතාව සමඟය.

 

 

 

මෙහිදී වඩාත් යථාර්ථවාදී කියවීම වන්නේ, විවිධ ඓතිහාසික යුගයන්හි සිදුවූ ඛේදවාචකයන් එකම භූමියක් තුළ අතිච්ඡාදනය (Overlap) වී තිබීමේ ඉහළ සම්භාවිතාවයි. ඓතිහාසික වසංගත මිනීවළක් පැවති භූමියක්ම, පසුකාලීනව 1996 දී දේශපාලනික ඝාතන සඟවා තැබීම සඳහා රහසිගතව භාවිත කළා වන්නට පුළුවන. විද්‍යාව විසින් එක් යුගයක සත්‍යයක් මතුකර පෙන්වන විට, ඊට මුවා වී මෑතකාලීන ලේවැකි සත්‍යයන් යටපත් කිරීමට ජාතිකවාදී හෝ වෙනත් දේශපාලන න්‍යායපත්‍රවලට ඉඩ දිය යුතු නැත.

 

 

චෙම්මනි

විවිධ මතවාදයන් පෝෂණය කිරීමේ මුවාවෙන් සිදුවන පරීක්ෂණ හරහා සත්‍ය සිදුවීම් වැළලී ගොස් ව්‍යාජ කතන්දර ගොඩනැගීම ලාංකේය සමාජයට අරුමයක් නොවේ. විවිධ මූල්‍ය ව්‍යාපෘතීන් හරහා ආඛ්‍යානයන් රැගත් ග්‍රන්ථද එළිදැක්විය හැකිය. එහෙත් අවසානයේදී සියලු දේශපාලන ව්‍යාපෘතීන්, මූල්‍ය ව්‍යාපෘතීන්  විද්‍යාත්මක හා භෞතික සාක්ෂි ඉදිරියේ නිරුවත් වීම අනිවාර්යයකි. ඉදිරියේදී පැමිණීමට නියමිත රේඩියෝ කාබන් (C-14) පරීක්ෂණ ප්‍රතිඵල මගින් මේ කතන්දරවල ඓතිහාසික ගැඹුර තීරණය කරනු ඇත.

 

 

එතෙක්, චෙම්මනි යනු හුදෙක් අස්ථි ගොඩක් පමණක් නොව, ලාංකේය රාජ්‍යයේත්, ඩයස්පෝරා දේශපාලනයේත්, එන්ජීඕ ව්‍යාපෘතිවලත් සැඟවුණු අරමුණු පෙන්වා දෙන තියුණු දේශපාලනික කැඩපතක් බවට පත්ව තිබේ.

 

 

 

# සමාරා පරණවිතාන

නවතම ලිපි