ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය ජාත්යන්තරයට ගෙන යාමේ පුළුල් දැක්මක් සහිතව,
දශක තුනක විශ්වාසනීයත්වයක් ගොඩනැගූ 'ප්රයිම් ගෲප්' (Prime Group) හි නිර්මාතෘ ප්රේමලාල් බ්රහ්මණගේ සමග 'Conversations with Alanki' වැඩසටහන හරහා කිෂානි අලංකි සිදුකළ සුවිශේෂී සාකච්ඡාවකි මේ. ශ්රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කොළඹ වරාය නගරයේ ඉදිවන අතිවිශාල 'ප්රයිම් මරීනා' ව්යාපෘතිය, ආයෝජනයක් ලෙස දේපළ වෙළඳාමේ ඇති ඉහළ වටිනාකම සහ ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ අනාගතය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. ඉංග්රීසියෙන් සිදුවූ එම සම්පූර්ණ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය පහතින් දක්වා ඇත.
අලංකි:
ආයුබෝවන් ප්රේමලාල් මහතාණෙනි. ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ වසර 30ක විශිෂ්ට සහ විශ්වාසනීය නාමයක් ගොඩනගා ගැනීමට ප්රයිම් ගෲප් සමත් වී තිබෙනවා. ආර්ථික අර්බුද වැනි අභියෝගාත්මක කාලවලදී පවා දැවැන්ත වර්ධනයක් අත්කර ගැනීමට හැකි වුණා. මේ වර්ධනය පිටුපස ඇති ප්රධාන මූලධර්ම මොනවාද?
ප්රේමලාල්:
මූලධර්ම කිහිපයක්ම බලපෑවා. අපි මුලින්ම ආරම්භ කළේ පෘථිවිය මත වඩාත් හොඳ ස්ථානයක් නිර්මාණය කිරීමේ දැක්මක් සහිතවයි. එය හුදෙක් ඉඩමක්, නිවසක් හෝ මහල් නිවාසයක් ලබා දීමක් පමණක් නොවෙයි. අපි අවධානය යොමු කළේ යහපත් අසල්වැසි පරිසරයක් සහ සමාජයක් නිර්මාණය කිරීමටයි. ඒ වගේම ව්යාපාරයක් විදියට දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ විශ්වාසය ගොඩනැගීම අපේ ගමනේ සුවිශේෂීම ලක්ෂණයක් වුණා.
නවෝත්පාදනය, වෙනස්වීම්වලට හැඩගැසීම, මූල්ය විනය සහ ශක්තිමත් නායකත්වය යන සියල්ල එක්වීමෙන් තමයි මේ තත්ත්වය නිර්මාණය වුණේ. මෑතකදී ඉන්දියාවෙන් පැමිණි උපදේශකයින් පිරිසක් අපේ ආයතනය ගැන අපූරු කතාවක් කිව්වා. ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ වසර 30ක් පැරණි සාම්ප්රදායික සමාගමකට ආවා කියලයි. නමුත් ඔවුන් දැකලා තියෙන්නේ හරියට අලුතින් පටන් ගත්ත ක්රියාශීලී (startup) සමාගමක් වගේ ආයතනයක්.
ඒ නවෝත්පාදන හැකියාව සහ ක්රියාශීලීත්වය ප්රයිම් ආයතනයේ සාර්ථකත්වයේ රහසක්. ඒ වගේම ගනුදෙනුකරුවන්ට ඉඩමක් හෝ නිවසක් සඳහා නිවැරදිම සහ හොඳම ස්ථානය තෝරා දීම අපේ සහජ ලක්ෂණයක්. ඒ හරහා ඔවුන්ගේ දේපළවල වටිනාකම අඛණ්ඩව ඉහළ යනවා.
අලංකි:
ඔබ ඉතා වැදගත් කරුණක් මතු කළා. වෙළඳපොළේ වෙනස් වන අවශ්යතා සහ බලාපොරොත්තු සපුරාලීම සඳහා ඔබ නිරන්තරයෙන් පරිණාමය වී තිබෙනවා. විවිධ ගනුදෙනුකරුවන්ගේ බලාපොරොත්තු සපුරාලීමට ප්රයිම් ගෲප් කාලයත් සමග වෙනස් වුණේ කොහොමද?
ප්රේමලාල්:
ඒ පරිණාමය ඇති වෙන්නේ නම්යශීලීත්වයත් එක්කයි. කොවිඩ් වසංගතය, මූල්ය අර්බුද, විදේශ විනිමය අර්බුද වැනි විවිධ වෙනස්වීම්වලට අපට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් නායකත්වයේ සහ කණ්ඩායමේ ඇති නිර්මාණශීලී දැක්ම නිසා අපි ඒ තත්ත්වයන්ට සාර්ථකව හැඩගැසුණා. අපි දැඩි නීතිරීතිවලට කොටුවුණු ආයතනයක් නොවෙයි. ඒ නිසා අපට නිදහසේ වර්ධනය වෙන්නත්, ඉතා අපහසු කාලවලදී පවා අවස්ථාවට උචිත ලෙස වෙනස් වෙන්නත් පුළුවන් වුණා.
අපි අපේ ඉදිකිරීම් ව්යාපෘති අඛණ්ඩව කරගෙන ගියා. වෙළඳපොළේ අපේක්ෂාවන්ට අනුව මෝස්තර සහ සැළසුම් වෙනස් කළා. සමහර විට අපි වෙළඳපොළ අපේක්ෂාවන්ටත් වඩා ඔබ්බට ගොස් නව දේවල් නිර්මාණය කළා. නිෂ්පාදන නවෝත්පාදනය පමණක් නොව මූල්යමය නවෝත්පාදන පවා අපි හඳුන්වා දුන්නා.
පාරිභෝගිකයින්ට පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා සියයට එකේ ගෙවීමේ ක්රම සහ සියයට පහේ මූලික ගෙවීමේ ක්රම අපි ලංකාවට හඳුන්වා දුන්නා. එය දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ මූල්යමය විප්ලවයක් වුණා. පසුව බැංකු පවා ඒ ක්රමය අනුගමනය කළා. ඒ ආකාරයට සෑම අංශයකින්ම නවෝත්පාදනය කිරීම ප්රයිම් ගෲප් සාර්ථකත්වයේ යතුරක් ලෙස මම දකිනවා.
අලංකි:
ප්රයිම් ගෲප් හි ව්යාපෘති ගැන කතා කරන විට ඔබගේ නවතම දැවැන්ත ව්යාපෘතිය වන 'ප්රයිම් මරීනා' (Prime Marina) ගැන කතා නොකරම බැහැ. මේ ව්යාපෘතිය පිටුපස ඇති දැක්ම කුමක්ද?
ප්රේමලාල්:
'ප්රයිම් මරීනා' කියන්නේ ප්රයිම් ගෲප් සහ මෙල්වා ගෲප් එකතුවෙලා කරන හවුල් ව්යාපෘතියක්. කොළඹ වරාය නගරයේ තියෙන හොඳම ස්ථානය තමයි අපි මේ සඳහා තෝරාගත්තේ. මමත් සන්දමිනීත් පසුගිය වසර පහ පුරාවටම මේ ස්ථානය ගැන අධ්යයනය කළා. සමහර කාලවල මිල ගණන් හරියට තිබුණේ නැහැ, සමහර වෙලාවට දේශපාලන වාතාවරණය හරි ගියේ නැහැ. ඒ නිසා මේක කල් ගියා. නමුත් අවසානයේදී අපට වරාය නගරයේ හොඳම ස්ථානය ලබාගන්න හැකිවුණා.
ඔබ එතැනට ගියොත් දකින්න පුළුවන් ඒක කොතරම් පුදුමාකාර තැනක්ද කියලා. එය වරාය නගරයේ හෝ ලංකාවේ පමණක් නොවෙයි, සමස්ත ආසියාවේම හොඳම ව්යාපෘතියක් වෙන්න පුළුවන්. අපේ ගනුදෙනුකරුවන් මේ ව්යාපෘතිය ඉතා ආදරයෙන් වැළඳගත්තා. මෙය හුදෙක් ස්ථානයක් පමණක් නොවෙයි, එය වාස්තු විද්යාත්මක ආශ්චර්යයක්. මෙහි සැලසුම් නිර්මාණය කළේ සිංගප්පූරුවේ වසර 160ක් පැරණි ඉතා ප්රසිද්ධ ආයතනයක් වන P&T ආයතනයයි. ඔවුන් හොංකොං, චීනය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල මෙවැනි දැවැන්ත ව්යාපෘති සිදුකර තිබෙනවා.
ඒ වගේම ලංකාවේ වෙනත් කිසිම දේපළ සංවර්ධකයෙක් නොකළ ආකාරයට අපි මෙහි භූමි අලංකරණය සඳහා දැඩි අවධානයක් යොමු කළා. ඒ සඳහා අපි බ්රිතාන්යයේ Grant Associates ආයතනය තෝරාගත්තා. සිංගප්පූරුවේ සුප්රසිද්ධ 'Garden by the Bay' නිර්මාණය කළේත් ඔවුන් විසිනුයි. මෙය ඉතා වියදම් අධික වුවත් අවසාන ප්රතිඵලය ඉතාම විස්මිත එකක් වේවි.
මරීනා එක, ප්රොමෙනාඩ් එක, පාලම සහ ඉන්දියන් සාගරය මෙන්ම නගරයේ දර්ශනය එකට එක්වූ විට මෙය ඇදහිය නොහැකි තරම් හොඳ නිමැවුමක් වෙනවා. ලෝකයේ කොහේ වුණත් 'මරීනා' ව්යාපෘති කියන්නේ ඉතා දුර්ලභ, මිල අධික සහ සුවිශේෂී ඒවා. ඒ නිසා ඒවායේ වටිනාකම සීයට සීයකින් නොවෙයි සීයට දෙසීයකින් තුන්සීයකින් වුණත් ඉහළ යන්න පුළුවන්.
අලංකි:
ඇත්තෙන්ම ප්රයිම් මරීනා ව්යාපෘතිය යනු ලස්සන ස්ථානයක් පමණක් නොව ඉතා උපායමාර්ගික ස්ථානයක්. ජාත්යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට මේ උපායමාර්ගික පිහිටීම කෙතරම් වැදගත් කියා ඔබ සිතනවාද?
ප්රේමලාල්:
රටක් විදියට අපට අපේ දේපළ වෙළඳාම් ලෝකයට අපනයනය කරන්න පුළුවන් බව අපි නිරන්තරයෙන්ම පවසනවා. පසුගිය වසර කිහිපය පුරාවටම අපි ද ග්රෑන්ඩ්, 43 බයි ද සී වැනි වෙරළබඩ ව්යාපෘති හරහා එය සිදු කළා. ලෝකය පුරාම ඉන්න අයගෙන් ඒ සඳහා විශාල ප්රතිචාරයක් ලැබුණා. නමුත් ජාත්යන්තරයට ගොස් අපේ දේපළ වෙළඳාම් පෙන්වීමට සහ ලංකාවට එන්න කියා ඔවුන්ට ආරාධනා කිරීමට 'ප්රයිම් මරීනා' හරහා අපට සැබෑම වාහනයක් ලැබුණා.
ඕස්ට්රේලියාව, ඇමරිකාව වැනි රටවලින් මෙයට විශාල ප්රතිචාරයක් ලැබෙනවා. අපි හෙට කැනඩාවේ ටොරොන්ටෝ නුවරටත් යනවා. ඒ ආකාරයට අපි ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ වරාය නගරය ලෝකය වෙත ගෙන යනවා. එය අතිශය සාර්ථක වනු ඇතැයි මට විශ්වාසයි.
අලංකි:
ඒක ඉතා ආකර්ෂණීයයි. මන්ද ජාත්යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමෙන් ඔබ සමස්ත ශ්රී ලාංකීය ආර්ථිකයටම විශාල උත්තේජනයක් ලබා දෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
ප්රේමලාල්:
ඔව්, මම කලින් කිව්වා වගේම අපට දේපළ වෙළඳාම් ලෝකයට අපනයනය කරන්න පුළුවන්. ඩුබායි, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් කරන දේ අපටත් කරන්න පුළුවන්. අපි වෙනත් රටවලට ගියහම අපේ ව්යාපෘති ප්රවර්ධනය කරන්න කලින් අපි ප්රවර්ධනය කරන්නේ ශ්රී ලංකාවයි. වරාය නගරය ගැන කියද්දිත් අපි මුලින්ම රට ප්රවර්ධනය කරලා තමයි ඊළඟට අපේ ව්යාපෘතිය ගැන කියන්නේ.
අපට ලෝකයට පෙන්වන්න පුළුවන් පුදුමාකාර ස්ථාන තිබෙනවා. මෙය අපේ ආර්ථික වර්ධනයට සහ විදේශ විනිමය ගෙන්වා ගැනීමට භාවිතා කළ හැකි ඊළඟ ප්රධාන මාර්ගයයි. ඔවුන් මෙහි ඇවිත් මහල් නිවාසයක් මිලදී ගත්තම එය අරගෙන යන්නේ නැහැ. ඔවුන් නැවත නැවතත් මෙහි එනවා, මෙරට මුදල් වියදම් කරනවා, ඔවුන්ගේ මිතුරන් මෙහි එවනවා. ඒ වගේම කුලී පදනම හරහා විදේශ විනිමය උපයනවා.
මේ නිසා අපේ ස්ථාන හරහා අපට විශාල ආයෝජනයක් රටට ගේන්න පුළුවන්. ඩොලර් 250,000කට වඩා දේපළ වෙළඳාම් වල ආයෝජනය කරන අයට වසර දහයක වීසා ලබාදීමට රජය ගත් තීරණය ඉතා හොඳ පියවරක්. ස්ථාවර දේශපාලන පරිසරයක් සහ ස්ථාවර රජයක් තිබීම විදේශීය ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට බෙහෙවින් බලපානවා.
අලංකි:
ප්රයිම් මරීනා ගැන කතා කරන විට ප්රයිම් ගෲප් මෑතකදී ලබාගත් නව සුඛෝපභෝගී යොට් (Yacht) යාත්රාව ගැන අහන්නම ඕනේ. ඒ ගැනත් අපට කියන්න.
ප්රේමලාල්:
ප්රයිම් මරීනා කියන්නේ සුවිශේෂී ජීවන රටාවක් සහිත පරිසර පද්ධතියක්. ඒ ජීවන රටාවට අමතරව අපේ ගනුදෙනුකරුවන්ට පළමු වතාවට යොට් යාත්රාවක අත්දැකීම ලබා දෙන්න අපි තීරණය කළා. මෑතකදී අපි ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවර සංචාරය කළ අවස්ථාවේදී නවතම සුඛෝපභෝගී යොට් යාත්රාවක් ඒ වෙනුවෙන්ම මිලදී ගත්තා. එය ඉදිරි සති අටත් දහයත් ඇතුළත මෙරටට ගෙන එනවා.
අපේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය සමඟ ඒ අත්දැකීම විඳගන්න පුළුවන් වේවි. මම හිතන විදිහට මහල් නිවාසයක් සමග මෙවැනි අත්දැකීමක් ලබාදෙන ව්යාපෘතියක් ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ වෙන කොහේවත් නැති තරම්.
අලංකි:
ඕස්ට්රේලියාව ගැන සඳහන් කළ නිසා මට මතක් වුණා, ප්රයිම් ගෲප් මෑතකදී දේශීය මෙන්ම ජාත්යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබුවා. මේ සම්මාන ප්රයිම් ගෲප් ආයතනයට කොතරම් වැදගත්ද?
ප්රේමලාල්:
අපේ මෑතකාලීන ඕස්ට්රේලියානු සංචාරයේදී ශ්රී ලංකාවට විදේශ ආයෝජන ගෙන ඒම වෙනුවෙන් ඕස්ට්රේලියා - ශ්රී ලංකා ව්යාපාරික කවුන්සිලය මගින් අපට විශේෂ ඇගයීමක් ලබා දුන්නා. එය අපට ලොකු දිරිගැන්වීමක්. අපේ මෙහෙවර වුණේ ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය ලෝකයට අරගෙන යාමයි. ඊට අමතරව LMD සඟරාව මගින් මෙරට වඩාත්ම ගෞරවයට පාත්ර වූ දේපළ වෙළඳාම් සමාගම ලෙසත්, ආසියානු සංවර්ධන සම්මාන උළෙලේදී හොඳම සංවර්ධකයා ලෙසත් අපි සම්මානයට පාත්ර වුණා.
අලංකි:
ආයෝජකයින්ට ප්රයිම් ගෲප් හි නවතම ව්යාපෘති ගැන දැනගන්න කැමති වේවි. දැනට ක්රියාත්මක වන නව ව්යාපෘති මොනවාද?
ප්රේමලාල්:
අපි දැනට ව්යාපෘති කිහිපයක්ම ක්රියාත්මක කරමින් පවතිනවා. රට පුරා ඉඩම් වලට අමතරව නිවාස සහ මහල් නිවාස 4,500 කට වඩා අපි ඉදිකරමින් ඉන්නවා. කොළඹ 5, තිඹිරිගස්යාය ප්රදේශයේ ඒකක 350කින් යුත් ව්යාපෘතියේ මූලික කටයුතු අවසන් කර ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. කොළඹ 7 එලිසබෙත් ව්යාපෘතියේ නිවාස 225ක ඉදිකිරීම් ආරම්භ කළා. කොළඹ 9 ප්රදේශයේ තවත් ඒකක 550ක ඉදිකිරීම් කටයුතු කෙරීගෙන යනවා. මරීනා ව්යාපෘතියේ ඉදිකිරීම් දිවා රෑ නොබලා සිදුවෙනවා.
කිරිබත්ගොඩ යොලෝ (Yolo) ව්යාපෘතියේ ඒකක 48ම වගේ විකිණී අවසන් අතර එහි ඉදිකිරීම් අඩක් පමණ අවසන්. පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුම අසල නිවාස 55ක ව්යාපෘතියේ වැඩ අවසන් වෙමින් පවතිනවා. කඩවත බ්ලොසම් නිවාස 225 ව්යාපෘතියත්, තලවතුගොඩ රිෆ්ලෙක්ෂන් ව්යාපෘතියත් ඉතා වේගයෙන් ඉදිවෙමින් පවතිනවා. ඒ වගේම තලවතුගොඩ විලා 75ක ව්යාපෘතියක් ද ක්රියාත්මකයි. මේ සියලු ව්යාපෘති හරහා බදු ආදායම්, රැකියා උත්පාදනය සහ දළ දේශීය නිෂ්පාදිතයට අපේ දායකත්වය ලබා දෙමින් සමස්ත ආර්ථිකයම ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා.
අලංකි:
මිනිසුන් අතීතයේදී මහල් නිවාසයක් දෙස බැලුවේ හුදෙක් නිවසක් විදිහට පමණයි. නමුත් දැන් එය හොඳ ආයෝජනයක් ලෙස දකිනවා. මේ දෙස ඒ කෝණයෙන් බලන පිරිසට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
ප්රේමලාල්:
සාමාන්ය පාරිභෝගිකයෙකුට අපි ලබාදෙන්නේ සාමකාමීව, හොඳ සමාජ වටපිටාවක් එක්ක ජීවත් වෙන්න පුළුවන් ඉතා හොඳ නිවසක් හෝ මහල් නිවාසයක්. නමුත් ආයෝජකයෙකුට අපි ලබා දෙන්නේ නිසැක ලාභයක්. අපේ අවසන් කළ ව්යාපෘති මිලදී ගත් අයට විශාල ප්රතිලාභ ලැබී තිබෙනවා. ගොඩක් දේපළවල වටිනාකම සීයට සීයකින් පමණ ඉහළ ගිහින්. සමහරු මිලියන 50 ට ගත්තු දේපළ දැන් මිලියන 125 ක් වෙනවා.
'43 බයි ද සී' ව්යාපෘතියේ මිලියන 40 ට තිබුණු දේපළ දැන් මිලියන 85 ක්. ගම්පහ ප්රදේශයේ අපි නිවාස 480 ක් මිලියන 10-12 ට දුන්නා, දැන් ඒවා මිලියන 36 කට අලෙවි වෙනවා. එනම් තුන් ගුණයක ලාභයක්. ඒ වගේම කුලියට දීමෙනුත් විශාල ආදායමක් ලබන්න පුළුවන්.
මෑතකදී එක් ගනුදෙනුකරුවෙක් අපට කිව්වා මුහුද පෙනෙන මහල් නිවාසයක් මිලියන 23 කට අරගෙන පසුගිය මාස 12 තුළ කුලී පදනම හරහා පමණක් මිලියන 10 ක් ඉපයූ බව. එය විශාල ප්රතිලාභයක්. ප්රයිම් සමාගමෙන් දේපළක් ගත් විට එහි ගුණාත්මකභාවය, ලබාදෙන දිනය සහ ආයෝජනයේ ප්රතිලාභ ගැන කිසිම බියක් ඇති කරගන්න අවශ්ය නැහැ.
අනෙක් කාරණය තමයි දේපළ වෙළඳාමේ තියෙන වාසිය. ඔබ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා නම් සම්පූර්ණ මුදලම යොදවන්න ඕනේ. නමුත් මෙහිදී මිලියන 50 ක නිවසකට මුලින් ගෙවන්නේ මිලියන 10 ක් වුණත්, වටිනාකම වැඩිවෙන්නේ අර සම්පූර්ණ මිලියන 50 ට අදාළවයි. ඒ නිසා ලැබෙන සැබෑ ප්රතිලාභය අතිශයින් ඉහළයි. ඒ වගේම මෙය ඔබට ස්පර්ශ කළ හැකි, පාවිච්චි කළ හැකි සැබෑ වත්කමක්. කඩදාසියක කරන ආයෝජනයක් නොවෙයි.
අලංකි:
දේපළ වෙළඳාම් ක්ෂේත්රය කියන්නේ දැඩි තරඟකාරීත්වයක් තියෙන තැනක්. ප්රයිම් ගෲප් මේ වෙළඳපොළ තුළ වෙනස් වන්නේ කොහොමද?
ප්රේමලාල්:
මම කලින් කිව්වා වගේම අපි නිරන්තරයෙන්ම නවෝත්පාදන කරනවා. අර යොට් යාත්රාව ගැන, අලුත් ගෙවීමේ ක්රම ගැන වෙන කිසිවෙක් හිතලා තිබුණේ නැහැ. යොලෝ ව්යාපෘතිය නව පරපුර ඉලක්ක කරගෙන, ලංකාවේ ප්රථම වතාවට බෝලිං පහසුකම පවා සහිතවයි නිර්මාණය වෙන්නේ. ඒ වගේම අපේ විශ්වාසනීයත්වය ඉතා වැදගත්. අපි පොරොන්දු වෙන දේ අනිවාර්යයෙන්ම ලබා දෙනවා.
අපි බොරු දේවල් ප්රචාරය කරන්නේ නැහැ. දැන්වීම් හරහා අපි ලස්සන දේවල් පෙන්වනවා, නමුත් පාරිභෝගිකයාට අවසානයේ ලැබෙන දේ ඒ පෙන්වන දේටත් වඩා ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. අපි කිසිම විටෙක සදාචාර විරෝධී වෙළඳ දැන්වීම් හෝ තරඟකරුවන්ට මඩගසන ව්යාපාර කරන්නේ නැහැ. මිනිස්සුන්ට ඒ වෙනස දැන්වීම් හරහාම තේරුම් ගන්න පුළුවන්.
අලංකි:
අවසන් ප්රශ්නය විදිහට, ඉදිරි වසර 5-10 තුළ ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දකින විශාලතම අවස්ථාවන් මොනවාද?
ප්රේමලාල්:
රටක් විදිහට අපි දේපළ වෙළඳාම් ගැන නිසි අවධානයක් යොමු කළොත් මේක විශාල අවස්ථාවක්. ඩුබායි සහ බටහිර ආසියානු කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් නිසා ආයෝජකයින් ආරක්ෂිත ස්ථාන සොයමින් ඉන්නවා. ඉන් සුළු කොටසක් හෝ ලංකාවට ගේන්න පුළුවන් නම් ඒක විශාල ජයග්රහණයක්. ඕස්ට්රේලියාවේ පවා දේපළ වෙළඳාම් ක්ෂේත්රය යම් පසුබෑමකට ලක්වෙලා නිසා මිනිසුන් ලංකාව වගේ නැගී එන ලස්සන රටවල් ගැන අවධානය යොමු කරනවා.
ඒ වගේම විදේශිකයින්ට විශ්රාම කාලය ගත කරන්න, එහෙමත් නැත්නම් නිදහසේ ඉන්න ලංකාවට එන්න පුළුවන්. අපට යාබදව තියෙන ඉන්දියාවේ ඉන්න විශාල මධ්යම පන්තිය සහ ඉහළ ආදායම් ලබන අය ආකර්ෂණය කරගන්න පුළුවන්. චීන ජාතිකයින්ට වුවත් මෙය හොඳ වෙළඳපොළක්.
දිනෙක මේ රට දේපළ වෙළඳාම් ආයෝජනය සඳහා මෙන්ම සංචාරක කර්මාන්තයේ ආයෝජනය සඳහා ප්රධාන ගමනාන්තයක් වෙනවා දකින්නයි මට අවශ්ය. ඒ සඳහා රජයත් නීතිමය රාමු ලිහිල් කරලා කඩිනම් ක්රියාවලියක් සකස් කර දිය යුතුයි. අපට අනාගතයේදී ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් සාර්ථකව ලෝකයට අපනයනය කරන්න පුළුවන් වේවි යැයි මම විශ්වාස කරනවා.
අලංකි:
ඔබට ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය මෙන්ම සමස්ත රට සම්බන්ධයෙන්ම සුන්දර දැක්මක් තිබෙනවා. ප්රයිම් ගෲප් හි නවතම ව්යාපෘති ගැන සහ ලංකාව ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් ලෙස ගොඩනැගීමේ ඔබේ අදහස් බෙදාගැනීම පිළිබඳව ප්රේමලාල් මහතාණෙනි ඔබට බොහොම ස්තූතියි.
# නිරෝමි සුබ්රමනියම්
(සිංහලට පරිවර්තනය කර සකස් කළේ)

