SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් සිය ධුරයෙන්

ඉල්ලා අස්වී තිබේ. 2026 අගෝස්තු 17 වන දිනැතිව, සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත යොමු කරන ලද සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහු දක්වා ඇත්තේ, පෞද්ගලික සහ වෘත්තීය හේතූන් මත තමන් මෙම තීරණය ගත් බවයි.

 

 

 

කෙසේ වෙතත්, සංචාරක මණ්ඩලයේ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මෙය ස්වකැමැත්තෙන් සිදුවූවක් නොවන බවයි. අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ සෘජු ඉල්ලීම මත මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති අතර, රජයේ ප්‍රබල පෞද්ගලික ලේකම්වරයෙකු විසින් ද මෙම ඉල්ලා අස්වීම සිදුකරන ලෙස ඔහුට දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වේ. විශේෂත්වය වන්නේ, ඉල්ලා අස්වූ සභාපති බුද්ධික හේවාවසම් එම ධුරයට පත් කරනු ලැබුවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වීමයි.

 

 

 

සංචාරක මණ්ඩලයේ අභ්‍යන්තර කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, බුද්ධික හේවාවසම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට පෙර, එනම් පසුගිය සතියේදීම නව සභාපතිවරයාගේ පත්වීමේ ලිපිය අමාත්‍යවරයාගේ අත්සන සඳහා සකස් කර තිබූ බවයි.

 

resignation_letter_buddhika.jpeg 

 සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් බුද්ධික හේවාවසම් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ලද මෙම ධුරයේ කටයුතු කිරීම ගෞරවයක් කොට සලකන බවත්, 2024 ඔක්තෝබර් සිට 2026 අගෝස්තු දක්වා වූ සිය ධුරකාලය තුළ සෑම විටම ජාතික අවශ්‍යතාව හා ආයතනික අඛණ්ඩතාව පෙරදැරිව කටයුතු කළ බවත්ය. 'ඩිට්වාහ්' (Ditwah) සුළි කුණාටුව වැනි ස්වභාවික විපත්, ගෝලීය සමාජ-දේශපාලනික අර්බුද සහ ගුවන් තොටුපළ පරිශ්‍රයේ මෙහෙයුම් සීමාවන් වැනි දැඩි බාධක මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් වාර්තා කිරීමට සමත් වූ බව ඔහු එහි සඳහන් කර ඇත. එසේම, 2025 වසරේදී ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීය සම්මාන 15කට අධික ප්‍රමාණයක් හිමිකර ගත් බවද ඔහු සිහිපත් කර තිබේ. ජනාධිපතිවරයාට මෙන්ම විෂයභාර අමාත්‍යවරයාට ද ඔහු සිය ස්තූතිය එහිදී පළ කර ඇත.

 

 

මේ අතර, පුරප්පාඩු වූ සංචාරක මණ්ඩලයේ සභාපති ධුරය සඳහා සුරංජිත් වෑවල පත් කර ඇති බව වාර්තා වේ. ප්‍රවීණ දේශකයෙකු මෙන්ම, සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ වෘත්තීය සමිතියේ (ACTSPA) ලේකම්වරයා සහ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කර ඇත. එසේම ඔහු කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සම්මානලාභීයෙකු වන අතර කිරි ව්‍යවසායකයෙකු  මෙරට ප්‍රධානතම සංචාරක පරිපාලන ආයතනයේ ඉහළම පුටුවට ගෙන ඒම ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

 

 

 

කෙසේ වුවද මේ සියලු පත්කිරීම් යට ඇත්තේ යම් බලවත් දේශපාලකයකුගේ න්‍යාය පත්‍රයක්ද? නැතහොත් රාජපක්ෂ සමයේ සිට සංචාරක මණ්ඩලයේ අයිතිය කරට ගත් ව්‍යාපාරික ජාලයක උවමනාවක්ද? පවත්නා නඩු යට ගැසීමේ යටිපෙළ ක්‍රියාකාරකමක්ද?  නැත්නම් මේ කාරණා සියල්ලෙහිම සුසංයෝගී උවමනාවක්ද?

 

 

සෙස්ස පස්සට...

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි