මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ටෙන්ඩර් ක්‍රියාවලිය දැඩි විවේචනයට...
තරඟකාරිත්වය සීමා කිරීමෙන් රජයට බිලියන ගණනක පාඩුවක්!
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 4 වන අදියර (CEP 4) සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ වීමට නියමිතව තිබියදී, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම සිය ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ නිසි තරඟකාරීත්වයක් ඇති කිරීමට අපොහොසත් වී ඇති බවට ව්‍යාපෘතියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් චෝදනා කර ඇත.
ඩේලි මිරර් පුවත්පත වෙත නිර්නාමිකව අදහස් දක්වා ඇති මෙම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා පවසන්නේ මෙය හුදෙක් ක්‍රියාපටිපාටිය පිළිබඳ ගැටලුවක් පමණක් නොවන බවයි. මෙය දැඩි ලෙස දෝෂ සහිත පූර්ව සුදුසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් (prequalification system) හේතුවෙන් මහජන මුදල් රුපියල් බිලියන ගණනින් අහිමි වීමේ අවදානමක් බව ඔහු පෙන්වා දී තිබේ.
මෙහි අනතුරු ඇඟවීමේ සංඥා RDA හිම දත්ත තුළින් පැහැදිලිව දැකගත හැකි බව අදාළ ඉංජිනේරුවා එහිදී පවසා ඇත.
තරඟකාරිත්වය සීමා වීමේ ප්‍රතිඵල
CEP 3 හි දෙවන අදියරේදී (Section 2), කොන්ත්‍රාත් පැකේජ හතක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට RDA විසින් ඉඩ ලබා දුන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන් හය දෙනෙකුට පමණි.
එහි ප්‍රතිඵලය ඉතා පැහැදිලි විය. කොන්ත්‍රාත් සංඛ්‍යාවට වඩා ලංසුකරුවන් (bidders) අඩු වූ විට, තරඟකාරිත්වය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇත. ඒ අනුව සෑම කොන්ත්‍රාත්කරුවෙකුටම පාහේ ව්‍යාපෘතියේ කොටසක් හිමිවීම අනිවාර්ය විය.
මෙහි ප්‍රතිඵලය වූයේ ලැබුණු සෑම ලංසුවක්ම ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 16% ත් 21% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමයි.
ව්‍යාපෘතියේ මුල් ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 94.69ක් වුවද, මුළු පිරිවැය රුපියල් බිලියන 112.56ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව රුපියල් බිලියන 17.87ක අමතර බරක් අවසානයේදී මහජනතාවට දැරීමට සිදුවනු ඇත. ඉංජිනේරුවරයා පෙන්වා දෙන්නේ මෙය සුළු වෙනසක් නොව, සමස්ත පද්ධතියේම බිඳවැටීමක් බවයි.
තරඟකාරිත්වය ඇති තැන ඉතිරියක්
මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් CEP 3 හි පළමු අදියරේදී (Section 1) දක්නට ලැබුණු බව ඉංජිනේරුවරයා පැහැදිලි කළේය. එහිදී කොන්ත්‍රාත් පැකේජ ගණනට වඩා වැඩි ලංසුකරුවන් ප්‍රමාණයක් සිටි බැවින්, ලැබුණු ලංසු ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 38% සිට 42% දක්වා සැලකිය යුතු ලෙස අඩු විය.
එමගින් රජයට රුපියල් බිලියන 5.9කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකි විය. තරඟකාරිත්වය පවතින තැන ශ්‍රී ලංකාවට මුදල් ඉතිරි වන බවත්, එය සීමා කළ තැන රටට වැඩිපුර මුදල් ගෙවීමට සිදුවන බවත් මින් පැහැදිලි වේ.
එසේනම් RDA විසින් දෙවන අදියරේදී තරඟකාරිත්වය සීමා වන පරිදි පද්ධතියක් නිර්මාණය කළේ ඇයිද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී.
ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාට අනුව, මහාමාර්ග ඉදිකිරීම් සඳහා වන ඉහළම කාණ්ඩය වන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) CS2 ශ්‍රේණිගත කිරීම සහිත කොන්ත්‍රාත්කරුවන් දහතුන් දෙනෙකු (13) ශ්‍රී ලංකාව තුළ සිටී. එහෙත් අවස්ථාව හිමිවූයේ ඉන් හය දෙනෙකුට පමණි. ඉහළ මූල්‍ය සහ තාක්ෂණික අවශ්‍යතා පෙන්වමින් අනෙකුත් සමාගම් පෙරහනකට ලක් කර ඉවත් කර ඇත.
මතු වන බරපතල ප්‍රශ්න
මෙම සීමාවන් සැබවින්ම අවශ්‍ය ඒවාද? නැතහොත් කොන්ත්‍රාත්කරුවන් කුඩා කණ්ඩායමක් කලින්ම තෝරා ගැනීමේ අරමුණින් ඒවා සකස් කළේද යන්න පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම පිළිතුරු දිය යුතු බව ඉංජිනේරුවරයා ඩේලි මිරර් (Daily Mirror) වෙත පැවසීය.
කිසිදු ලංසුවක් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා අඩුවෙන් ඉදිරිපත් නොවීම පිළිබඳව කිසිදු බලධාරියෙකු ප්‍රශ්න නොකළේ මන්ද යන්න මෙහිදී වඩාත් වැදගත් වේ. තරඟකාරී පද්ධතියකදී මෙය පමණක් වුවද අනතුරු ඇඟවීමට ප්‍රමාණවත්ය. එහෙත් කිසිදු විමර්ශනයකින් තොරව මෙම ක්‍රියාවලිය ඉදිරියට යමින් පවතී.
CEP 3 හි පළමු අදියරේදී මධ්‍යම මට්ටමේ සමාගම් ද ඇතුළුව කොන්ත්‍රාත්කරුවන් පහළොවකට පමණ තරඟ කිරීමට අවසර ලැබුණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට පෙර අධිවේගී මාර්ග ඉදිකළ අත්දැකීම් නොතිබුණද, ඔවුන් නියමිත ප්‍රමිතියට හා කාලයට ව්‍යාපෘතිය සාර්ථකව නිම කළ බව ඉංජිනේරුවරයා පැහැදිලි කළේය.
වර්තමානයේ පනවා ඇති දැඩි සීමාවන් එදා ක්‍රියාත්මක වූවා නම්, අද සිටින ප්‍රධාන පෙළේ කොන්ත්‍රාත්කරුවන් බොහෝ දෙනෙකුට කිසිදා ඒ සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි වනු ඇත.
RDA විසින් CEP 4 සහ රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කිරීමට සූදානම් වන විට, මහජන මුදල් අතිවිශාල ප්‍රමාණයක් සම්බන්ධ වන මෙම ව්‍යාපෘතිවලදී ද එම දෝෂ සහිත ආකෘතියම නැවත ක්‍රියාත්මක වීමේ දැඩි අවදානමක් පවතින බවට ඔහු චෝදනා කළේය.
ඉදිරියට ගත යුතු පියවර
ඉදිකිරීම් ප්‍රමිතිය පහත නොහෙළා අධිවේගී මාර්ග ටෙන්ඩර් සඳහා වැඩි තරඟකාරීත්වයක් ගෙන ඒමට ප්‍රායෝගික ක්‍රම පවතින බවද ඉංජිනේරුවරයා පැහැදිලි කළේය.
ජාත්‍යන්තර සමාගම් වලට අවස්ථාව දීම-
දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කොන්ත්‍රාත්කරුවන්ට ලංසු තැබීමට අවසර දීම. ඔවුන් දේශීය නීති සහ පරිසර අවශ්‍යතා ගැන දන්නා බැවින් පරිපාලනමය බරක් ඇති නොවේ.
CS2 සමාගම් වලට දොර විවර කිරීම-
අදාළ මූල්‍ය හා තාක්ෂණික ප්‍රමිතීන් සපුරාලන්නේ නම්, මහාමාර්ග ඉදිකිරීම් සඳහා ඉහළම CIDA ශ්‍රේණිගත කිරීම (CS2) ඇති සියලුම දේශීය කොන්ත්‍රාත්කරුවන්ට අවස්ථාව ලබා දීම.
ඒකාබද්ධ ව්‍යාපාර (Joint Ventures) දිරිමත් කිරීම-
ජාත්‍යන්තර තාක්ෂණය සහ මූල්‍ය ශක්තිය සමග දේශීය සම්පත් මුසු කරමින් ශ්‍රී ලාංකීය CS2 සමාගම් සහ පළපුරුදු ජාත්‍යන්තර සමාගම් අතර හවුල්කාරිත්වයන් ඇති කිරීම.
සාධාරණත්වය, විනිවිදභාවය සහ තරඟකාරිත්වය සහතික කිරීම සඳහා ජාතික ප්‍රසම්පාදන කොමිසමට පැහැදිලි වගකීමක් ඇත. මහජන මුදල් සුරැකීම අමාත්‍යාංශයේ වගකීමයි. මෙම ප්‍රතිපත්ති කඩ නොවන බව සහතික කිරීම ක්‍රියාත්මක කරන ආයතනය ලෙස RDA හි යුතුකමකි.
ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය විනයක් පවත්වා ගැනීමට පීඩනයකට ලක්ව ඇති මෙවන් සමයක, දුර්වල තරඟකාරිත්වය හේතුවෙන් රුපියල් බිලියන 17.87ක් අහිමි වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.
අනෙක් පසින් මේතාක් දූෂණ චෝදනාවක් නොලත් අමාථ්‍යවරයෙක් වූ බිමල් රත්නායක ගේ අමාත්‍යාංශයක් තුළ සිදුවන මෙම ක්‍රියාවෙන් ඔහුට ද චෝදනා එල්ල විය හැකිය. එයත් යම් සැලසුමක් වන්නට පුළුවන් බව විචාරක අදහසය.
මේ සම්බන්ධයෙන් සත්‍ය දැනගැනීමේ අයිතිය මහජනතාවට ඇත. CEP 3 හි පාඩම් නොසලකා හැරියහොත්, එහි ප්‍රතිවිපාක හුදෙක් මූල්‍යමය පාඩුවකට පමණක් සීමා නොවනු ඇත. එය ජාතික ව්‍යාපෘති කළමනාකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය මුළුමනින්ම විනාශ කර දමනු ඇත.
මේ පිටුපස ඉන්නේ කව්ද?
සියල්ල පිටුපස ඇති ව්‍යාපාරික ජාලය කාගේ ද?
මේ පිළිබඳව මාධ්‍ය විමර්ශනයකින් පසු විස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
# සමාරා පරණවිතාන
ඩේලි මිරර් පුවත ඇසුරිනි.

