SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කාලය හරස් වෙයිද?

 

 

සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින

අනෝජන් සිවරාසාගේ ජීවිතය මේ මොහොතේ රඳා පවතින්නේ තත්පරයෙන් තත්පරය ගෙවී යන කාලය සහ ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ වේගය මතය. නිසි නීතිමය නියෝජනයක් හෝ භාෂා පරිවර්තන පහසුකමක් නොමැතිව, විදෙස් රටකදී අසරණ වූ අපේම පුරවැසියෙකු මරණ මංචකය වෙත පියනගමින් සිටින විට, ඊට එරෙහිව ගත හැකි සාර්ථකම පූර්වාදර්ශයක් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළින්ම අපට හමු වේ.

 

 

 

ඒ, 2018 වසරේදී මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමට පැමිණි "පුහුණු ස්නයිපර්වරයෙකු" ලෙස අසාධාරණ ලෙස චෝදනා ලබා, මාෆුෂි බන්ධනාගාරයේ වධහිංසාවලට ලක්වෙමින් සිටි ලහිරු මධුශංක නමැති ශ්‍රී ලාංකික තරුණයා බේරාගැනීමේ මෙහෙයුමයි. ඔහුට ද තමන්ට නොතේරෙන 'දිවෙහි' භාෂාවෙන් නඩු අසමින් නීතිඥ සහාය පවා අහිමි කර තිබිණි.

 

 

එහෙත්, එවකට විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස මාලදිවයිනට ගිය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, එරට නව ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ හිටපු ජනාධිපති මාමුන් අබ්දුල් ගයූම් සමග සිදුකළ සෘජු ඉහළ පෙළේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දින දෙකක් ඇතුළත ලහිරුව නිදහස් කරගැනීමට සමත් විය.

 

 

 

අද අනෝජන් සිවරාසා මුහුණ දී සිටින්නේ ද එදා ලහිරු මධුශංක මෙන්ම ඊට පෙර රිසානා නෆීක් මුහුණ දුන් ඛේදවාචකයටමය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අවධාරණය කරන්නේ, සවුදි නීතියට ගරු කරමින්, ඉස්ලාමීය දහමේ උගන්වන දයාව සහ පසුතැවීම පදනම් කරගෙන අනෝජන් වෙනුවෙන් "රාජකීය සමාවක්" (Royal Clemency) ලබාගැනීම සඳහා ඉහළම රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමක් කඩිනමින් සිදුවිය යුතු බවයි.

 

 

මෙම ඓතිහාසික අත්දැකීම් සහ වර්තමාන අර්බුදයේ ස්වභාවය සලකා බැලීමේදී, ශ්‍රී ලංකා රජය මේ මොහොතේ ගත යුතු තීරණාත්මකම පියවර වන්නේ ෆයිසර් මුස්තාපා සහ තවත් ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයෙකු වහාම සවුදි අරාබිය වෙත විශේෂ දූතයන් ලෙස පිටත් කර හැරීමයි. රාජ්‍ය නායක මට්ටමේ පණිවිඩයක් රැගෙන ගොස් සවුදි බලධාරීන් සමග සෘජුව සාකච්ඡා කර, අවශ්‍ය නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට රජය තවත් ප්‍රමාද නොකළ යුතුය. මන්දයත්, අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් ඉතිරිව ඇති කාලය සීඝ්‍රයෙන් ගෙවී යමින් පවතින බැවිනි.

 

 

අනෙක් අතට, රජය මෙම ගැටලුවට නිසි බරක් දී කඩිනමින් මැදිහත් නොවුවහොත්, එහි ප්‍රතිවිපාක එක් තරුණයකුගේ ජීවිතයකින් පමණක් කෙළවර නොවනු ඇත. මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ ජාතිවාදී කතිකාවක් නිර්මාණය වීමේ බරපතල අවදානමක් පවතී. එය දැනටමත් සංවේදී වී ඇති අපේ සමාජයේ සාමය සහ සහජීවනය සම්පූර්ණයෙන්ම වනසා දමන ගිනි පුපුරක් විය හැකිය. එබැවින්, අනෝජන්ගේ ජීවිතයත්, රටේ සමාජ සාමයත් සුරැකීමේ ඓතිහාසික වගකීමක් රජය හමුවේ මේ මොහොතේ ලියැවී තිබේ.

 

 

නවතම ලිපි