සාම්පල ජර්මනියට ගෙන ගිය හැටි...
විත්තියෙන් දැඩි ප්‍රහාරයක්!
රුපියල් ලක්ෂ 1,444 ක මහජන මුදල් වංචා කරමින් ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ්
ඖෂධ රජයේ රෝහල්වලට සැපයීම සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක 'බාල බෙහෙත්' නඩුව මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. සමාජය පුරා දැඩි කතාබහකට ලක්වූ මෙම නඩුවේදී, පැමිණිල්ල විසින් ගොඩනගන ලද ඇතැම් චෝදනා සහ විමර්ශන ක්‍රියාවලීන්හි පවතින බරපතළ අඩුපාඩු, විත්තියේ නීතිඥවරුන්ගේ තියුණු හරස් ප්‍රශ්න කිරීම් හමුවේ එකින් එක නිරාවරණය වෙමින් පවතින ආකාරය පසුගිය (18) මහාධිකරණයේදී පැහැදිලිව දැකගත හැකි විය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, සමාජ මාධ්‍ය සහ පොදු සමාජය තුළ විශාල ඝෝෂාවක් නිර්මාණය කළ ඇතැම් කරුණු නෛතික තර්ක හමුවේ හුදු 'පුස්සක්' බවට පත්වීමේ අවදානමක් පවතින බව නඩු වාර්තාව සියුම්ව නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.

සාම්පල ලබාගැනීම සහ අතුරුදන් වූ මුද්‍රා
ඊයේ දිනයේ ප්‍රධාන අවධානය යොමු වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ-නියාමන (වැඩ බලන) අර්ජුන දයාසේන පද්මපෙරුම ගේ සාක්ෂිය කෙරෙහිය. ප්‍රශ්නගත ඖෂධ වයල් සියය බැගින්, තමන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ජර්මනියේ රසායනාගාරයකට රැගෙන ගිය ආකාරය පිළිබඳව පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල විසින් දැඩි හරස් ප්‍රශ්න කිරීමක් සිදු කළේය.
නීතිඥ හරේන්ද්‍ර බානගල: "වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලබාගත් ඖෂධ වයල් ජර්මනියට ගෙන යාම සම්බන්ධයෙන් ඔබ ඊයේ සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔබ සඳහන් කළා සෘජුෆෝම් පෙට්ටි තුළ ඒවා ඇසුරූ බව. එම සෘජුෆෝම් පෙට්ටි ලබා ගත්තේ කොහෙන්ද?"
සාක්ෂිකරු: "වෛද්‍ය සැපයුම් ඒකකයෙන් එම පෙට්ටි ලබාගත්තා."
නීතිඥවරයා: "අදාළ සාම්පල ලබා ගැනීම නිරීක්ෂණය කිරීමට මාණ්ඩලික නිලධාරියෙක් සිටියා ද?" සාක්ෂිකරු: "අදාළ සාම්පල ලබාගන්නා බව සහකාර අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණත් මාණ්ඩලික නිලධාරියකු එම අවස්ථාවට සහභාගි වුණේ නෑ."
නීතිඥවරයා: "එම සාම්පල් ලබා ගන්නා අවස්ථාවේ දී එය නිෂ්පාදනය කළ අයිසොලේස් බයෝ ටෙක් පාමා සමාගමේ නියෝජිතයකු එහි සිටියාද?"
සාක්ෂිකරු: "නොසිටි බව කිව යුතුයි."
නඩු භාණ්ඩයක් විදේශ රටකට ගෙන යාමේදී අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාවලිය පිළිබඳව ප්‍රබල සැකයක් මතු කරමින් නීතිඥවරයා අදාළ පෙට්ටි සඳහා මුද්‍රා තැබූ ආකාරය ප්‍රශ්න කළේය. එහිදී සාක්ෂිකරු පිළිගත්තේ ඖෂධ නියාමන අධිකාරියේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුද්‍රාව භාවිතා නොකළ බවත්, ගබඩා භාරකරුගේ මුද්‍රාව යොදාගනිමින් එය මුද්‍රා තැබූ බවත්ය.

ඡායාරූප නෑ, වාර්තා නෑ - සාක්ෂි දාමය බිඳ වැටෙයිද?
අපරාධ නඩුවක 'සාක්ෂි දාමය' කෙතරම් දුර්වලව පවත්වාගෙන ගොස් ඇත්ද යන්න නීතිඥවරයාගේ මීළඟ ප්‍රශ්න කිරීම් හරහා මනාව තහවුරු විය.
නීතිඥවරයා: "මුද්‍රා තැබීම සම්බන්ධයෙන් ජර්මනියට ගිහිල්ලා දෙන්න ඕන වාර්තාවක් ගත්තද?"
සාක්ෂිකරු: "එවැනි වාර්තාවක් ලබා ගත්තේ නෑ. ලක්සිරි මහතාත් මමත් එම භාණ්ඩ ලබා ගැනීම නිරීක්‍ෂණය කළා."
නීතිඥවරයා: "ඒ සම්බන්ධයෙන් වාර්තාවක් බාර දිය යුතුයි නේද?"
සාක්ෂිකරු: "එවැනි අවශ්‍යතාවයක් මතු වුණේ නෑ. ඖෂධ සාම්පල පරීක්ෂා කළා."
නීතිඥවරයා: "ඔබ ඒ ගැන වාර්තා රැගෙන ගියේ නැද්ද?"
සාක්ෂිකරු: "මා එවැනි වාර්තාවක් රැගෙන ගියේ නෑ."
නීතිඥවරයා: "ඔබ දන්නවා අධිකරණයේ අවශ්‍යතාවයකට මෙම සාම්පල රැගෙන ගියේ කියලා. අධිකරණයට ඉදිරිපත් කිරීමටවත් එවැනි වාර්තාවක් අවශ්‍ය යි කියලා තබා ගත්තේ නැද්ද?"
සාක්ෂිකරු: "එවැනි වාර්තාවක් ලබා ගත්තේ නෑ." (එසේම ඒවා වීඩියෝ කිරීමක් හෝ ඡායාරූප ගත කිරීමක් නොකළ බවද සාක්ෂිකරු පිළිගත්තේය).
නීතිඥවරයා: "මේවා විවෘත නොකර භාරදුන් බවට පිළිගත හැකි සාක්ෂියක් තියෙනවද?"
සාක්ෂිකරු: "නැහැ."
නීතිඥවරයා: "මෙම සාම්පල ලබා ගැනීමේදී ඔබ නිසි ක්‍රියාවලිය අනුගමනය නොකළ බවට යෝජනා කරනවා."
සාක්ෂිකරු: "අදාළ යෝජනාව මම ප්‍රතික්ෂේප කරනවා."
ශීතදාමය (Cold Chain) සහ Data Logger අභිරහස
ඖෂධ ප්‍රවාහනයේදී අතිශය වැදගත් වන ශීතදාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද විත්තිය දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.
නීතිඥවරයා: "අදාළ සාම්පල් ඇසුරුම් කළ පෙට්ටිය තුළට data logger එකක් දැමූ බව ඔබ සඳහන් කළා. ඒ data logger එක මිලදී ගත්තේ කුමන ආයතනයකින් ද?"
සාක්ෂිකරු: "එය පෞද්ගලික ආයතනයකින් මිලදී ගත්තා. ඊට අදාළ පිළිවිතර මා සතුව තිබෙනවා."
නීතිඥවරයා: "අදාළ data logger එම ඇසුරුම් තුළට ඇතුළත් කර තිබූ බවට සහතිකය තියෙනවාද?"
සාක්ෂිකරු: "එවැනි සහතිකයක් නෑ. ඊට අදාළ ඡායාරූපත් නෑ."
නීතිඥවරයා: "මා යෝජනා කරනවා මෙම data logger අදාළ සාම්පල් ඇතුළට දමා නොතිබූ බව."
සාක්ෂිකරු: "මම එය ප්‍රතික්ෂේප කරනවා." (ශීතදාමය ආරක්ෂා කර ගැනීමට කිසිදු සහතිකයක් නොමැති බවට කළ යෝජනාවද සාක්ෂිකරු ප්‍රතික්ෂේප කළේය).
නීතිඥවරයා: "අදාළ ඖෂධ රැගෙන ගිය කූල් පැක් වල ජීව කාලය කොපමණද?"
සාක්ෂිකරු: "ජීව කාලයක් කිව නොහැකියි. අදාළ ශීතදාමය රැකෙන පරිදි යම් කාලයක් එය පවත්වා ගත හැකියි."
නීතිඥවරයා: "යම් කාලය යනු කුමක්ද?"
සාක්ෂිකරු: "එය දින තුනක් හෝ හතරක් විය හැකියි."
නීතිඥවරයා: "ඒ බව සහතික කරන්න ඔබට දත්ත තියෙනවාද?"
සාක්ෂිකරු: "එවැනි දත්ත මා ළඟ නෑ. නමුත් තිබෙන අත්දැකීම් අනුව එය ප්‍රකාශ කළ හැකියි."
අනතුරුව සාම්පල ප්‍රවාහනය කළ ආකාරය පිළිබඳව නීතිඥවරයා විමසීය.
නීතිඥවරයා: "සීල් තබන ලද බහාලුම අරගෙන ගියේ ගුවන් යානයක ද?"
සාක්ෂිකරු: "ශ්‍රි ලංකන් එයාර් ලයින් සමාගමට අයත් ගුවන් යානයකින් එය රැගෙන ගියා."
නීතිඥවරයා: "ඊට අදාළ ලේඛන භාර දුන්නේ කාටද?"
සාක්ෂිකරු: "ඊට අදාළ ලේඛන කිසිවක් නෑ. එම සාම්පල් ඇතුළත් පෙට්ටි ලගේජ් (Luggage) ලෙස තමයි භාර දුන්නේ."
නීතිඥවරයා: "මේ සම්බන්ධයෙන් රාජකාරිය පවරන ලද රාජ්‍ය නිලධාරියා ඔබ. මේවාට මුද්‍රා තැබූ බවට වගකීමක් නෑ. එය ගුවන් සමාගමට භාර දුන්න බවට ලියවිල්ලකුත් නැහැ. ජර්මනියේ දී ශීතදාමය තිබුණු බවට වාර්තාවකුත් නෑ. මා යෝජනා කරනවා වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලබාගත් භාණ්ඩ ජර්මනියට භාර දීම කිසිදු වගකීමකින් කර නැති බවට."
සාක්ෂිකරු: "එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා."
ඖෂධවල අතීතය සහ ලංකාවේ ඖෂධ නිෂ්පාදනය
අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය විසින් නිෂ්පාදිත සියලුම නිෂ්පාදන භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වන 2023.10.17 දින නිකුත් කළ චක්‍රලේඛය පෙන්වා දෙමින් නීතිඥවරයා ප්‍රශ්න කළේ, සාම්පල ලබාගත්තේ ඉන් වසරකුත් මාස හතරකට පසු බැවින් අදාළ සාම්පල ඊට පෙර කොහේ තිබුණේද යන්න සාක්ෂිකරු දන්නේද යන්නයි. තමන් දන්නේ ඒවා ලබා ගන්නා විට වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ බව පමණක් බව සාක්ෂිකරු පිළිගත්තේය.
මීට අමතරව දේශීය ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් නීතිඥවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කීවේ ලංකාවේ ඖෂධ සමාගම් 26ක් ඇති නමුත් වැක්සින් නිෂ්පාදනය කරන සමාගම් නොමැති බවයි. එය අසත්‍ය සාක්ෂියක් බවට විත්තිය යෝජනා කළද සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කළේය.
පැමිණිල්ලේ යළි ප්‍රශ්න කිරීම සහ විනිසුරු මඬුල්ලේ මැදිහත්වීම
හරස් ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් පැමිණිල්ල වෙනුවෙන් යළි ප්‍රශ්න කිරීම් ඇරඹුවාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: "ඔබ සාම්පල් ජර්මනියට අරන් රැගෙන යාම සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසුවා. ඒ පිළිබඳව හොයන්න කියලා උපදෙස් ලැබුණේ කාගෙන්ද?"
සාක්ෂිකරු: "අධිකරණ නියෝගයක් ඒ සම්බන්ධයෙන් තියෙනවා. සභාපතිවරයා මාව කැඳවා ඒ බව දැනුම්දුන්නා." (එහි ඡායාරූප හෝ වීඩියෝ ගත කරන ලෙස නියෝගයක් නොතිබූ බව ඔහු කීය).
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: "මෙම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී dangerous cargo section එකට දැනුම් දීමක් කළ බව ඔබ කිව්වා."
සාක්ෂිකරු: "ඔව්, එයට දැනුම් දීමක් කළා."
මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ඍජුවම මැදිහත් වෙමින් ප්‍රශ්න කළේය.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ: "මොකක්ද ඒ section එක?"
සාක්ෂිකරු: "මෙහි biological items අඩංගු නිසා අපි ඔවුන්ට ඒ බව දැනුම් දුන්නා. ඔවුන්ට අවශ්‍ය උපදෙස් දුන්නා මේවා ඒ විදිහටම තියන්න කියලා."
විනිසුරු ප්‍රියන්ත ලියනගේ: "මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වුණේ?"
සාක්ෂිකරු: "ඒවාට හානියක් නොවීම ඉන් බලාපොරොත්තු වුණා."
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කළ විමසීමේදී, අදාළ නඩු භාණ්ඩ භාර ගැනීම ජර්මානු රසායනාගාරය විසින් ප්‍රතික්ෂේප නොකළ බවත්, එහි තිබූ data logger දෙක CID නිලධාරියා විසින් ලබාගත් බවත් සාක්ෂිකරු තහවුරු කළේය.
දුරකථන දත්ත සහ විත්තියේ නෛතික ආරක්ෂාව
නඩුවේ මීළඟ අදියර වූයේ විත්තිකරුවන්ගේ දුරකථන සංවාද සම්බන්ධයෙනි. SLT Mobitel ආයතනයේ සම්බන්ධීකරණ විමර්ශක ධම්මික දිනේෂ් ගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය. 2022 ජනවාරි සිට 2023 ඔක්තෝබර් දක්වා කාලය තුළ හුවමාරු වූ දත්ත ඇතුළත් සීඩී පටයක් සහ ලේඛනයක් ඇය අධිකරණයට ඉදිරිපත් කළාය. ජාතික හැඳුනුම්පත් අංකය හරහා අදාළ සිම්පත ලබාගත්තේ කවුරුන්ද යන්න තහවුරු කළ හැකි බව සාක්ෂිකරු කීය.
මෙම දත්ත පිළිගන්නේද යන්න සම්බන්ධයෙන් සභාපති විනිසුරුවරයා විත්තියෙන් කළ විමසීමේදී, අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර දැක්වූයේ අතිශය ප්‍රවේශම් සහගත නෛතික ප්‍රතිචාරයකි.
නීතිඥ නයන්ත විජේසුන්දර: "අදාළ දුරකථන ඇමතුම් වාර්තාව ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව අධ්‍යයනය කර එය පිළිගන්නවද නැද්ද යන්න පිළිබඳව ඉදිරිපත් කළ හැකියි."
ඉන් අනතුරුව 11 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න, සාක්ෂිකරුවකු සහ පළමුවන චූදිතයා අතර වූ දුරකථන සංවාද 93ක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසමින් කරුණු තහවුරු කර ගත්තේය.
මීට අමතරව නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, විමර්ශනය සිදුකළ CID නිලධාරියාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පෙර, මෙතෙක් විභාග වූ සමස්ත නඩු වාර්තාව තමන්ට අවශ්‍ය බව විත්තියේ නීතිඥවරු දැඩිව ඉල්ලා සිටියහ. විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට එය අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දුන් අතර, ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට සභාපති විනිසුරුවරයා තීරණය කළේය. එසේම, නඩුවට අදාළව ජර්මානු ජාතිකයෙකුගෙන් සාක්ෂි ලබාගැනීමට සිතාසි නිකුත් කර තිබුණද, ජර්මානු රජය එය කළ නොහැකි බව දන්වා ඇති බැවින් ඊට විකල්ප ක්‍රමවේදයක් සොයා බැලීමටද අධිකරණයේ අවධානය යොමු විය.
සමාජය විසින් වරදකරුවන් ලෙස තීන්දු කර අවසන් කර ඇති ඇතැම් චෝදනා, නීතියේ තරාදිය සහ විත්තියේ තර්ක ඉදිරියේදී නිශ්චිත සහ ක්‍රමවත් සාක්ෂි නොමැතිව ඔප්පු කිරීම කෙතරම් දුෂ්කරද යන්න, අපරාධ විමර්ශන යාන්ත්‍රණයේ පවතින සිදුරු නිරාවරණය කළ 18 දිනයේ හරස් ප්‍රශ්න කිරීම් මාලාව මනාව සනාථ කරනු ලබයි.
#NiromiSubramaniyam
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

