සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින
අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දූතයන් ලෙස කඩිනමින් සවුදි අරාබියට යැවීමට රජය තීරණය කර තිබේ.
මේ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුවන මෙම තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ගමන සඳහා ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම යන දෙදෙනාම රජයේ මුදල් වෙනුවට තම පෞද්ගලික ධනය වැය කිරීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.
අප මාධ්‍ය විසින් පසුගියදා විශේෂයෙන් පෙන්වා දුන්නේ මෙම අර්බුදය සඳහා ගත හැකි සාර්ථකම ක්‍රියාමාර්ගය ලෙස ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපාව සවුදි රජු හමුවට යැවිය යුතු බවයි. අපගේ එම ඉල්ලීම මල්ඵල ගන්වමින් රජය ගෙන ඇති මෙම කඩිනම් පියවර අප අගය කරන අතර, මෙම තීරණාත්මක කර්තව්‍යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට හැකිවනු දැක්ම අපගේ එකම පැතුමයි.
(මේ පිළිබඳ අපගේ පෙර ලිපිය මෙතැනින් කියවන්න:
එදා මාලදිවයිනෙන් ලහිරු බේරාගත් ෆයිසර් වහාම සවුදියට යැවිය යුත්තේ ඇයි?
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් ඉතිරිව ඇති කාලය සීඝ්‍රයෙන් ගෙවී යමින් පවතින බැවින්, සවුදි බලධාරීන් සමග සෘජුව සාකච්ඡා කර අවශ්‍ය නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නියෝජිතයන් කඩිනමින් පිටත්ව යනු ඇත.
- සාර්ථක පූර්වාදර්ශය සහ අත්දැකීම්: විදෙස් රටකදී භාෂා පරිවර්තන හෝ නිසි නීතිමය සහායක් නොමැතිව මරණ මංචකය වෙත යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු බේරාගැනීමේ මෑත ඉතිහාසයේ සාර්ථකම අත්දැකීම ෆයිසර් මුස්තාපා සතුය. 2018 වසරේදී මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි "පුහුණු ස්නයිපර්වරයෙකු" ලෙස අසාධාරණ චෝදනා ලබා වධහිංසාවලට ලක්වෙමින් සිටි ලහිරු මධුශංක වෙනුවෙන් ඔහු විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙකු ලෙස මාලදිවයිනට ගියේය.
- සෘජු රාජ්‍ය නායක මැදිහත්වීම: එදා මාලදිවයිනේ නව ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ හිටපු ජනාධිපති මාමුන් අබ්දුල් ගයූම් සමග සිදුකළ සෘජු ඉහළ පෙළේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දින දෙකක් ඇතුළත ලහිරුව නිදහස් කරගැනීමට ඔහු සමත් විය. අනෝජන් සිවරාසා අද මුහුණ දී සිටින්නේ ද එදා ලහිරු මධුශංක මුහුණ දුන් ඛේදවාචකයටම බැවින් මෙම ප්‍රායෝගික අත්දැකීම අතිශය තීරණාත්මක වේ.
- "රාජකීය සමාව" ලබාගැනීමේ නිවැරදි ප්‍රවේශය: සවුදි නීතියට ගරු කරමින්, ඉස්ලාමීය දහමේ උගන්වන දයාව සහ පසුතැවීම පදනම් කරගෙන අනෝජන් වෙනුවෙන් "රාජකීය සමාවක්" (Royal Clemency) ලබාගැනීම සඳහා ඉහළම රාජ්‍ය මට්ටමේ මැදිහත්වීමක් සිදුකිරීමේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ජනාධිපති නීතිඥවරයා සතුව පවතී.
- සමාජ සාමය සහ සහජීවනය සුරැකීම: රජය මෙම ගැටලුවට නිසි බරක් දී කඩිනමින් මැදිහත් නොවුවහොත්, මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ ජාතිවාදී කතිකාවක් නිර්මාණය වීමේ බරපතල අවදානමක් පවතී. එය දැනටමත් සංවේදී වී ඇති සමාජයේ සාමය සම්පූර්ණයෙන්ම වනසා දමන ගිනි පුපුරක් විය හැකි බැවින්, මෙම කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම එක් තරුණයකුගේ ජීවිතයක් පමණක් නොව සමස්ත රටේම සමාජ සාමය සුරැකීමේ ඓතිහාසික පියවරකි.
#නිරෝමි සුබ්‍රමනියම්

