ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු කුමන පාලන අධිකාරියක් පැවතියද, අනිවාර්යයෙන්ම
අධිකරණය හමුවට යාමට සිදුවන නෛතික රණබිමක් බවට පත්ව ඇත. ආයතනයට මෙලෙස නිරන්තරයෙන් නඩු වැටෙන්නේ හුදෙක් බාහිර බලපෑම් නිසා නොව, පරිපාලනය විසින් ගන්නා තීන්දු තීරණවල පවතින බරපතළ ගැටලු නිසාවෙනි. තම දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම, බලය පවත්වාගෙන යාමේ දැඩි උවමනාව සහ නිසි ක්‍රමවේදයකින් තොරව කටයුතු කිරීම දශක ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුපුරුදු විලාසය වී තිබේ.
නඩු හබ සහ ව්‍යාපාරික වාසි මුල්කරගත් ආයතනික ව්‍යූහය
ක්‍රිකට් පරිපාලනය සහ නඩු හබ යනු වෙන් කළ නොහැකි සාධක බවට පත්වූයේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු එවකට සභාපතිව සිටියේ ආනා පුංචිහේවා ය. කුසලානය දිනාගත් අර්ජුනලාට පුංචිහේවා එපාවුනු අතර එහි ප්‍රතිපලයක් ලෙස පුංචිහේවා අභව්‍ය ලෙස බලයෙන් පහ කර තිලංග සුමතිපාල එම පුටුවේ වාඩි කරවීම සිදුවූ බව සුප්‍රසිද්ධ රහසකි. ඉන්පසු කෙටිකලකින්ම තිලංග සහ අර්ජුන රණතුංග අතර ඇතිවූ දරුණු බල අරගලය ඔස්සේ වර්ධනය වී, ශම්මි සිල්වා යුගය වන විට මෙය ආයතනික 'නඩු හබ මාෆියාවක්' දක්වා වර්ධනය විය.
පරිපාලනයට කවුරුන් පැමිණියද, ඔවුන් පැමිණෙන්නේ 'වැඩ කිරීමේ' අරමුණින් වුවද, ආයතනයේ ව්‍යූහය සකස් වී ඇත්තේම ක්‍රීඩාවෙන් එහා ගිය දැවැන්ත ව්‍යාපාරික වාසි සහ බලය රඳවා ගැනීම පදනම් කරගෙනය. එබැවින් එරාන් වික්‍රමරත්නගේ සභාපතීත්වයෙන් යුතු නව ක්‍රිකට් පරිවර්තන කමිටුවද සිය රාජකාරි ආරම්භයේදීම මේ ආකාරයෙන්ම අධිකරණයට යාමට සිදුවීම හරහා තහවුරු වන්නේ, ඔවුන්ද නිසි ක්‍රමවේදවලින් තොරව තීරණ ගැනීමේ පැරණි අර්බුදය තුළම සිරවී සිටින බවයි. වත්මන් කමිටුව සිටින්නේද එතැන බවට විචාරක මතය වී ඇත්තේ එබැවිනි.
මිලියන 680ක නීතිමය නාස්තිය
මෙම බල අරගල වෙනුවෙන් ආයතනයේ අරමුදල් අසීමිතව නාස්ති වීම මෙහි ඇති බරපතළම ඛේදවාචකයයි. විගණන වාර්තාවලට අනුව, හිටපු සභාපති ශම්මි සිල්වාගේ පාලන සමයේ වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත බාහිර නීතිඥ ගාස්තු වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 680ක් වැය කර ඇත. ඇතැම් ජ්‍යෙෂ්ඨ නීතීඥයින්ට වාර්ෂිකව රුපියල් මිලියන 50කට අධික මුදලක් ගෙවා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදලද ඉක්මවා යමිනි. තම බලය පවත්වාගැනීම උදෙසා මාධ්‍යවේදීන්ට සහ හිටපු පරිපාලකයින්ට එරෙහිව පෞද්ගලික අපහාස නඩු පැවරීම සඳහා මෙසේ ක්‍රිකට් ආයතනයේ මුදල් කාබාසිනියා කර තිබේ.
පරිවර්තන කමිටුවට එල්ල වූ පළමු අභියෝගය: බදුරලිය නඩුව
කුමාර සංගක්කාර, සිදත් වෙත්තමුනි ඇතුළු ප්‍රවීණයන් රැසක් පෙන්වා දෙන පරිදි දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නම් දේශීය කණ්ඩායම් සංඛ්‍යාව සීමා කිරීම අත්‍යවශ්‍ය වේ. වත්මන් පරිවර්තන කමිටුව මෙවර ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් තුනක් එකවර පහත දැමීමට ගත් තීරණය ඊට අදාළව ගත් පියවරකි.
එහෙත් නිසි ක්‍රමවේදයකින් තොරව හදිසියේ ගන්නා මෙවැනි තීරණ හේතුවෙන් බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. මෙම කණ්ඩායම් පහත දැමීමේ තීරණය අත්තනෝමතික, වැරදිසහගත සහ මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා පැනවූ නියෝගයන්ට මෙන්ම ක්‍රිකට් ව්‍යවස්ථාවටද පටහැනි බව ඔහුගේ තර්කය වී තිබේ.
කුමරප්පෙරුමගේ භූමිකාව සහ කමිටුවේ වගකීම
ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ ඡන්ද 147ක විකෘති ක්‍රමවේදයක් පවතින තාක් කල්, කුඩා ක්‍රීඩා සමාජවලට ආයතනයේ තීරණ අභියෝගයට ලක්කිරීමේ අසීමිත බලයක් හිමිව ඇත. මෙහිදී මතු වන ප්‍රධාන ප්‍රශ්නය නම්, අතීතයේ මෙන් මිලියන ගණනින් බාහිර නීතීඥයින්ට මුදල් පොම්ප කිරීමේ ඩ්‍රැකියුලාකරණයට වත්මන් කමිටුවද හසුවන්නේද යන්නයි.
මෙම කමිටුව තුළ ප්‍රබල ජනාධිපති නීතීඥවරුන් වන උපුල් කුමරප්පෙරුම සහ ඩිනාල් ෆිලිප්ස් නියෝජනය කරති. බලය පවත්වාගැනීමේ අරමුණින් තොරව, අතීත දූෂිත ක්‍රමවේදය නතර කිරීමට නම්, ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම නඩුවට ඔවුන් නොමිලයේ පෙනී සිටීම හෝ අභ්‍යන්තර නීති අංශය ඵලදායී ලෙස මෙහෙයවා බාහිර නීති ගාස්තු අවම මට්ටමකට ගෙන ඒම අනිවාර්ය වේ. වත්මන් කමිටුව ආයතනයේ මුල් බැසගත් ව්‍යාපාරික හා දේශපාලන ව්‍යූහයෙන් මිදී සැබෑ පරිවර්තනයක් කරනවාද, නැතහොත් පැරණි මාවතේම යනවාද යන්න තීරණය වන පළමු කඩඉම මෙය වනු ඇත.
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

