SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ත්‍රීවීලරයට එල්ල වූ වෙඩිල්ල පිටුපස ඇති දේශපාලන - මනෝවිශ්ලේෂණාත්මක යථාර්ථය

 

 

පසුගියදා පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන්

16 හැවිරිදි පාසල් සිසුවෙකු බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය හුදෙක් පාරේ සිදුවූ අත්වැරැද්දක් හෝ හුදකලා විනය විරෝධී ක්‍රියාවක් නොවේ. එය ලාංකීය නීතිය, පොලිස් බලය සහ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන ආකාරය පිටුපස සඟවා ඇති බරපතළ ව්‍යුහාත්මක ප්‍රතිවිරෝධය මෙන්ම නීතියේ පවතින 'අශ්ලීල යටිපැත්ත' (obscene underside) යළි කරළියට කැඳවීමකි.

 

 

 

ත්‍රීරෝද රථයේ රියදුරු බලපත්‍ර නොමැති බාලවයස්කරුවෙකු සිටීම සහ අණ නොතකා ධාවනය කිරීම පිටුපස පැවතියේ දඩ මුදලකට හෝ නීතියට ඇති බිය විය හැකිය. එහෙත් එම රථය තුළ මත්ද්‍රව්‍ය තිබුණේ නම් එය පොලීසියේ විශිෂ්ට වික්‍රමයක් ලෙස සමාජගත වීමට ඉඩ තිබූ පසුබිමක, කිසිවක් හමු නොවූ තැන පොලිස් නිලධාරීන් බේරීම සඳහා 'අයිස්' මත්ද්‍රව්‍ය දැමූ බවට එල්ල වන දෙමාපිය චෝදනාවෙන් මතු වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් සිදුවන සාම්ප්‍රදායික ආයතනික ආවරණයේ නිරුවතයි.

 

 

 

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී චින්තනය උපකල්පනය කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියා යනු පූර්ණ සවිඥානික, තාර්කික තීරණ ගන්නා කාටීසියානු ‘ආත්මයක්’ බවයි. එනම් රෙනේ ඩෙකාට්ස්ගේ "මම සිතමි, එබැවින් මම වෙමි" යන සමීකරණයයි. එහෙත් සැබෑ ලෝකයේ රාජකාරි කරන පොලිස් නිලධාරියා එවැනි වියුක්ත, පිරිසිදු තාර්කික චරිතයක් නොවේ. ඔහු අවිඥානික ආශාවන්, පන්තිමය අසහනයන්, අනෙකා පාලනය කිරීමෙන් ලබන ප්‍රමෝදය (jouissance) සහ සංකේතීය බල සබඳතා තුළ පැටලී සිටින සංයුක්ත මනුෂ්‍යයෙකි.

 

 

 

සුඛෝපභෝගී වාහනවල යන වරප්‍රසාදිත පන්තිය ඉදිරියේ පාරේ දූවිලි නාන සාමාන්‍ය පොලිස් නිලධාරියාට තම වැටුපට අමතරව ලැබුණු අවිධිමත් ආදායම් අහිමි වූ තත්ත්වයක් තුළ, තම පැවැත්ම තහවුරු කරගැනීමට ඉතිරිව ඇත්තේ වෘත්තීය උසස්වීම් සහ බලය පෙන්වීමේ ෆැන්ටසිය පමණි. එවන් මොහොතක සාමාන්‍ය ත්‍රීරෝද රථයක් තම අණ නොතකා ඉදිරියට ඇදෙන විට, එය හුදු නීතිමය කඩකිරීමක් ලෙස නොව තම 'සංකේතීය අධිකාරියට' සහ නිල ඇඳුම හරහා ගොඩනගාගත් 'පරිකල්පනීය අනන්‍යතාවයට' එල්ල වූ බරපතළ ආත්මීය තර්ජනයක් ලෙස ඔහුට අත්විඳීමට සිදුවේ. තුවක්කුව පත්තු වන්නේ එම ආත්මීය තුවාලය සහ අධිකාරීත්වයේ අර්බුදය තුළිනි.

 

 

 

ජාක් ලකාන් පෙන්වා දුන් පරිදි "මා නොමැති තැන මම සිතමි, එබැවින් මා නොසිතන තැන මම සිටිමි." මිනිසා තමන් කරන්නේ කුමක්දැයි සවිඥානිකව ප්‍රකාශ කළ ද, තමන් එය කරන්නේ ඇයිද යන්න ඔහුගේ සවිඥානයට සම්පූර්ණයෙන් හසු නොවේ. නිලධාරියා නීතිය සුරකින බව ප්‍රකාශ කරමින් ක්‍රියා කළ ද, එම ක්‍රියාව මෙහෙයවනු ලබන්නේ තම අධිකාරිය තහවුරු කිරීමේ ආශාව සහ උසස් නිලධාරීන්ගේ ප්‍රසාදය දිනාගැනීමේ අවිඥානික වුවමනාව විසිනි. එබැවින් පවතින්නේ පූර්ණ සවිඥානික ආත්මයක් නොව, මූලික වශයෙන්ම දෙකඩ වූ බෙදුණු ආත්මයකි (split subject).

 

 

 

නීතිය පවතින්නේ හුදෙක් ප්‍රසිද්ධ ව්‍යවස්ථාවන්, අධිකරණ තීන්දු සහ පුරවැසි අයිතිවාසිකම් මත පමණක් නොවේ. සෑම නීතිමය පද්ධතියකටම එය සමාජය තුළ ක්‍රියාත්මක වීම සඳහා නීතියට පිටින් පවතින 'අශ්ලීල යටිපැත්තක්' හෝ අශ්ලීල අතිරේකයක් (obscene supplement) අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. නීතියේ නිල පණිවිඩය වන්නේ "සියල්ලන් නීතිය ඉදිරියේ සමානය" යන්න වුවද, එහි රහසිගත ආයතනික රීතිය වන්නේ "තමන්ගේ අය, බලය ඇති අය සහ සබඳතා ඇති අය වෙනුවෙන් නීතිය නැමිය හැකිය" යන්නයි. විමර්ශන යටපත් කිරීම, සාක්ෂි වෙනස් කිරීම සහ සහෝදර නිලධාරීන් අවිධිමත් ලෙස රැකගැනීම යනු මෙම අශ්ලීල යටිපැත්තේ සාමාන්‍ය ආයතනික පැවැත්මයි.

 

 

 

වත්මන් ආණ්ඩුවේ නව පනත් කෙටුම්පත් හමුවේ ලිබරල්වාදීන් මෙන්ම සාම්ප්‍රදායික වාමාංශිකයන් ද එකම ස්ථාවරයක සිට මොරදෙන්නේ පොලීසියට හිතුමතේ ක්‍රියා කිරීමට ඉඩ ලැබෙන බව පවසමිනි. ඔවුහු නීතිය පිළිබඳ පාරිශුද්ධ, නිර්මල ප්‍රජාතන්ත්‍රවාදී මනෝරාජිකයක් ගැන කතා කරති. එහෙත් එවැනි නිර්මල නීතියක් පවතින්නේ දේශපාලන විද්‍යා පෙළපොත්වල මිස භූමියේ නොවේ. පසුගිය පාලන සමයන් පුරාම කිසිදු නව පනතක් නොමැතිවම, පැවති ප්‍රභූ පන්තියේ දේශපාලන බලපෑම් සහ අශ්ලීල අතිරේකයේ පිහිටෙන් මෙවැනි අත්තනෝමතික මර්දනයන් අති බහුල ලෙස සිදුවිය.

 

 

 

වත්මන් මාලිමා ආණ්ඩුව යටතේ පැරණි ප්‍රභූ තන්ත්‍රය මෙන් සාමාන්‍ය වැරදි සහ අපරාධ සඳහා අවිධිමත් දේශපාලන ආවරණයක් ලබාදීම සීමා වී තිබීම පැහැදිලි වෙනසකි. එහෙත් මෙහිදී සිදුවෙමින් පවතින්නේ නීතියේ අශ්ලීල අතිරේකය තුරන් කිරීම නොව, එය නව පනත් හරහා නීතිමය රාමුවකට ගොනු කිරීමේ වෑයමකි. අශ්ලීල අතිරේකය යනු හුදෙක් නීතියෙන් පිටත පවතින බලතල සමූහයක් නොවන බැවින් එය කිසිවිටෙකත් සම්පූර්ණයෙන් පනතකට ලියා අවසන් කළ නොහැකිය. මෙහිදී සිදුවන්නේ නීතියෙන් පිටත පැවති ඇතැම් ක්‍රියාවන් නීත්‍යානුකූල වීමත් සමඟ, නිල නීතිය සහ එහි අශ්ලීල යටිපැත්ත අතර සම්බන්ධතාවය අලුතින් ප්‍රතිසංවිධානය වීම පමණි.

 

 

 

 

පාලකයන්ගේ සවිඥානික යහපත් චේතනාවන් මත පමණක් නීතියේ සැබෑ හැසිරීම තීරණය නොවේ. පැරණි ප්‍රභූන්ගේ අවිධිමත් ඇඟිලි ගැසීම් සීමා වන විට, එම නව බලතල නීතියේ නාමයෙන්ම ක්‍රියාත්මක වන තවත් ආයතනික අත්තනෝමතිකත්වයකට පාර කැපීමේ ඉඩකඩ පුළුල් වේ. රාජ්‍ය බලය සහ නීතිය රැඳී පවතින්නේ මෙම ව්‍යුහාත්මක අසම්පූර්ණත්වය මත බව වටහා නොගන්නා තාක්, පොලිස් ප්‍රචණ්ඩත්වය හෝ නව පනත් පිළිබඳ විවාදය හුදු මතුපිට සදාචාරවාදී විලාපයකින් ඔබ්බට ගෙන යා නොහැකිය.

 

 

නවතම ලිපි