හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාට, තම ආයතනයේම සේවකයින්ගේ සාධාරණ
වෘත්තීය විරෝධතාවයට මුහුණ දීමට අද සිදුව ඇත්තේ ආයතනය ඉදිරිපිටට වාහන හරස් කර, පොලිස් ආරක්ෂාව මැද සැඟවෙමිනි. වසරකට වැඩි කාලයක් තිස්සේ හිඟ වැටුප් නොගෙවූ, සේවකයින්ගේ දහදිය මහන්සියෙන් උපයාගත් අර්ථසාධක (EPF) සහ භාරකාර අරමුදල් (ETF) ගිල දැමූ ටිරාන් අලස් නම් දේශපාලකයාට අයත් 'මව්බිම' සහ 'සිලෝන් ටුඩේ' පුවත්පත්වල මාධ්‍යවේදීන්ගේ මේ වීදි බැසීම, හුදු කම්කරු අරගලයක් හෝ මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රශ්නයක් පමණක්ම නොවේ.
එය ඊට වඩා බොහෝ සෙයින් ගැඹුරු ය. සැබැවින්ම මෙය, මෙරට මුල්බැසගෙන ඇති 'ඩීල් දේශපාලනයේ' නග්න මුහුණුවර සමාජයට හෙළිදරව් කරන ප්‍රබල ලිට්මස් පරීක්ෂාවකි.

කාලයක් තිස්සේ සමාජයේ ආන්තිකරණයට ලක්වන ප්‍රජාව වෙනුවෙන් පෑන මෙහෙයවූ, ඔවුන්ට හඬක් වූ මාධ්‍යවේදියා අද මහ පාරට වැටී ආන්තිකරණයට ලක්ව ඇත. ඊට ප්‍රධානතම හේතුව මෙරට මාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය දේශපාලනඥයන්ගේ බූදලයක් බවට පත්ව තිබීමයි. දේශපාලකයෙකු මාධ්‍ය ආයතනයක් හිමිකර ගත් පමණින් මාධ්‍ය ස්වාධීන වන්නේවත්, ජනතාවට හෝ මාධ්‍යවේදියාට සාධාරණයක් ඉටුවන්නේවත් නැති බවට 'මව්බිම' ඛේදවාචකය කදිම සාක්ෂියකි.
පසුගිය දශක තුනක පමණ කාලය පුරාවට මාධ්‍යවේදියා කබලෙන් ලිපට වැටෙන තුරු බලධාරීන් මුනිවත රැකීම මගින් සිදුවූයේ මෙවැනි මාධ්‍ය මුදලාලිලා තවදුරටත් තරවීම පමණි. මව්බිම කාර්යාලය ඉදිරිපිට අද දිගහැරෙන්නේ, ගෙවීම් පැහැර හරිමින් සිටින තවත් මාධ්‍ය ආයතන ගණනාවක සේවකයින්ට හෙට දිනයේ අත්විය හැකි ඛේදනීය ඉරණමයි.
මේ සාධාරණ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේ අරමුණින්, 'මව්බිම' සහ 'සිලෝන් ටුඩේ' මාධ්‍ය සේවකයන් විසින් සංවිධානය කරන ලද විරෝධතා හමුව සහ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරය ඊයේ (3) උදෑසන 9.30 ට කොළඹ 7, රොස්මීඩ් පෙදෙසේ පිහිටි එම පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. වැටුප් නොගෙවීම, වැටුප් ප්‍රමාදය, සහ සේවක අර්ථසාධක අරමුදල් රඳවාගැනීම ඇතුළු පාලනාධිකාරියේ කම්කරු-විරෝධී පිළිවෙත් සහ ඊට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක්විය.
මෙම අරගලය හුදෙකලා එකක් නොවේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය යන ප්රමුඛ මාධ්‍ය සංවිධාන මේ වන විටත් කම්කරු කොමසාරිස්වරයා වෙත මෙම අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එම සංවිධානවල නියෝජිතයන්ද අද පැවති විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වීම, මෙය සමස්ත කර්මාන්තයේම ශ්‍රම සුරාකෑමට එරෙහිව නැගුණු පොදු හඬක් බව සනාථ කරයි. ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව සිටීමෙන් පෙන්නුම් කරන්නේ මෙය ක්‍රම-විරෝධයට (System Change) ඇති දේශපාලන අධිෂ්ඨානය විදහා දක්වන යෝධ කැඩපතක් බවයි.
පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කෙරුණු විට, ඔහු කියා සිටියේ ගැටළුව විසඳීම සඳහා සේවකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. මව්බිම ප්රවෘත්ති කර්තෘ බිඟුන් මේනක ගමගේ, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ෆාසීර් ආර්.ජේ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් දැන් පාරට බැස ඒ සහයෝගය ලබා දී අවසන්ය. දැන් එළඹ ඇත්තේ ආණ්ඩුවේ වාරයයි!
මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ එහිදී දැක්වූ අදහස ඉතා තියුණුය.
"රජයේ වගකීම වන්නේ මාධ්‍ය මුදලාලිලා සමග පසුපස දොරින් ඩීල් දැමීම නොව, කම්කරු නීතිය ක්‍රියාත්මක කර කම්කරුවන් ආරක්ෂා කිරීමයි."
අපට අද අවශ්‍යව ඇත්තේ අසරණ කම්කරුවාට එක නීතියකුත්, ධනවත් දේශපාලකයන්ට තව නීතියකුත් ක්‍රියාත්මක කරන පඹයින්ගෙන් පිරි ආයතන නොවේ. ටිරාන් අලස් සම්බන්ධයෙනුත් නොබියව කම්කරු නීතිය ක්‍රියාත්මක කළ හැකි කොන්දක් ඇති කම්කරු දෙපාර්තමේන්තුවක් සහ කම්කරු අමාත්‍යවරයෙකි.
මහජන මුදලින් නඩත්තු වන දේශපාලකයින් සහ මහජනතාවට සේවා සැපයීම සඳහා පිහිටුවා ඇති ආයතන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව සිටිමින්, අසාධාරණයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සමස්ත මහජනතාවගේම අත්හළ නොහැකි වගකීමකි. මව්බිම මාධ්‍යවේදීන්ගේ මේ අරගලය, නීතියේ ආධිපත්‍යයත්, ශ්‍රමිකයාගේ ගෞරවයත් උදෙසා කෙරෙන සැබෑ 'මව්බිමේ සටනක්' වන්නේ එබැවිනි. රජය මේ ලිට්මස් පරීක්ෂණයෙන් සමත් ද අසමත් ද යන්න ඉදිරි දින කිහිපය තුළ තීරණය වනු ඇත.
# SamaaraParanavithana

