SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බලශක්ති ස්වෛරීභාවය රැකගැනීමේ ඓතිහාසික හැරවුම

 

 

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත විශාලතම සෘජු විදේශ ආයෝජනය (FDI) ලෙස සැලකුණු,

හම්බන්තොට ඉදිකිරීමට යෝජිතව තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 3.7 සිට 4.5 දක්වා වූ සයිනොපෙක් (SINOPEC) තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡා කමිටුව (CANC) නිර්දේශ කර ඇතehs . මෙම පියවර හරහා මෙරට ආර්ථික හා බලශක්ති ස්වාධීනත්වය විදේශීය බලපෑම්වලින් මුදාගැනීමේ ප්‍රබල උපායමාර්ගික ස්ථාවරයක් සනිටුහන් කර තිබේ.

 

 

 

නිල කැබිනට් ලේඛනය හෙළිකළ තීන්දුව


ප්‍රසම්පාදන ක්‍රියාවලිය සමාලෝචනය කළ අමාත්‍ය මණ්ඩල සාකච්ඡා කමිටුව (CANC) සහ ව්‍යාපෘති කමිටුව (PC) විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති නිර්දේශ පහත පරිදි වේ.

 

1. කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම:-
2023 නොවැම්බර් 27 දිනැති අමප/23/2158/621/096/විබිආර් දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, අපනයන කේන්ද්‍රීය ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා චීනයේ 'China Petroleum & Chemical Corporation' (SINOPEC) සමාගම වෙත ප්‍රදානය කර තිබූ තීරණය ස්ථිරවම අත්හිටුවීම.

 

2. නව යෝජනා කැඳවීම (RFP):-
හම්බන්තොට ප්‍රදේශයේ අපනයන කේන්ද්‍රීය ඛනිජ තෙල් පිරිපහදුවක් සහ නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා විවෘත හා විනිවිදභාවයෙන් යුතු නව යෝජනා කැඳවීමක් (Fresh Request for Proposals) සිදුකිරීම.

 

 

මෙම තීරණාත්මක නිල ලේඛනය සඳහා කමිටු සභාපති බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති, සාමාජික මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල සහ සාමාජික ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර යන නිලධාරීන් අත්සන් තබා ඇත.

 

 

 

චීන ගිවිසුම ප්‍රතික්ෂේප වීමට බලපෑ තීරණාත්මක සාධක


මූලිකව අපනයන ඉලක්ක කරගත් ව්‍යාපෘතියක් ලෙස ඉදිරිපත් කළද, සාකච්ඡා වටවලදී සයිනොපෙක් සමාගම ඉදිරිපත් කළ කොන්දේසි මෙරට ආර්ථිකයට දැඩි අහිතකර බලපෑම් එල්ල කරන බව කමිටුව නිරීක්ෂණය කර තිබේ.

 

 

• දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමේ උත්සාහය 
පිරිපහදු කෙරෙන නිෂ්පාදනවලින් 40%ක් දක්වා ප්‍රමාණයක් දේශීය පාරිභෝගිකයින් වෙත සෘජුව අලෙවි කිරීමේ අවසරය සමාගම ඉල්ලා සිටියේය. මෙයින් දේශීය වෙළෙඳපොළ අධිසැපයුමකට ලක්ව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) මූල්‍ය ශක්‍යතාව මුළුමනින්ම බිඳවැටීමේ අවදානමක් මතු විය.


• අසාමාන්‍ය බදු සහන ඉල්ලීම්
වසර 35ක දීර්ඝ ආයතනික ආදායම් බදු නිදහස් කිරීමක් සහ පුළුල් බදු සහන මාලාවක් ලබාදෙන ලෙස සයිනොපෙක් සමාගම බලපෑම් කර තිබේ. එවැනි සහන ලබාදීමෙන් රජයට අහිමි වන ආදායම ඩොලර් බිලියන ගණනක් වන අතර, එය මෙරට බදු පදනම පුළුල් කිරීමේ මූල්‍ය ප්‍රතිපත්තිවලට සෘජුව පටහැනිය.


• පාරිසරික වගකීම් පැහැර හැරීම 
දැවැන්ත පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා අත්‍යවශ්‍ය විධිමත් පාරිසරික බලපෑම් ඇගයීම් අධ්‍යයනයක් (EIA) ඉදිරිපත් කිරීම සමාගම මඟහැර තිබුණි. එමෙන්ම මෙහෙයුම් සඳහා මුහුදු ජලය පිරිසිදු කරන පවිත්‍රාගාරයක් (desalination plant) ඉදිකිරීමේ වගකීම භාර නොගෙන, ප්‍රදේශයේ සීමිත පානීය හා භූගත ජල සම්පත් පරිභෝජනය කිරීමට උත්සාහ දැරීමද බරපතළ විරෝධයට හේතු විය.

 

 

 

සපුගස්කන්ද විකල්පය සහ බලශක්ති ස්වෛරීභාවය


විදේශීය ඒකාධිකාරයකට යටත් වීම වෙනුවට, රාජ්‍ය හිමිකාරිත්වය සහිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කර පුළුල් කිරීමේ (SOREM) ජාතික වැඩපිළිවෙළට කමිටුව පූර්ණ සහාය පළ කර ඇත.

 

 

නිමි ඛනිජ තෙල් ආනයනය අවම කර, මෙරට තුළම පිරිපහදු ධාරිතාව වර්ධනය කිරීමෙන් අත්‍යවශ්‍ය විදේශ විනිමය ඉතිරි කරගත හැකිය. එමෙන්ම තෙල් අගය දාමයේ උපරිම මූල්‍ය වාසි රට තුළ රඳවා ගැනීමටත්, රජයේ ආදායම ශක්තිමත් කිරීමටත් මෙයින් ඉඩ සැලසේ. විදේශීය සමාගම්වල අහිතකර කොන්දේසි හමුවේ නොනැමී, ජාතික අවශ්‍යතාව ප්‍රමුඛ කොටගනිමින් ගත් මෙම තීරණය ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ආර්ථික ස්වාධීනත්වය තහවුරු කළ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයකි.

 

නවතම ලිපි