මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සුවපහසුව වෙනුවෙන් රාජ්‍ය දේපළ විකිණීම
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හුදු අහඹුවක් නොව, දශක ගණනාවක් පුරා
දේශපාලන අධිකාරිය සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතර පැවති අශුද්ධ සන්ධානයේ ප්‍රතිඵලයක් බවට ආසන්නතම සහ ප්‍රබලම සාක්ෂිය වන්නේ කොළඹ ගාලු මුවදොර පිහිටි ෂැන්ග්‍රි-ලා (Shangri-La) සහ One Galle Face ගොඩනැගිලි සහිත ඉඩම් ගනුදෙනුවයි. 2026 ඔක්තෝබර් 29 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට "අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය" සංවිධානය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලත් සමඟම, මෙම මහා පරිමාණ රාජ්‍ය සම්පත් කොල්ලයේ සුලමුල යළිත් වරක් කරළියට පැමිණ තිබේ.


ෂැන්ග්‍රි-ලා ගනුදෙනුවේ දූෂිත ස්වභාවය

අදාළ පැමිණිල්ලෙන් මනාව පැහැදිලි වන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයේ ඉඩම් ආඥා පනතේ (454 අධිකාරය) 23(2) වගන්තිය දැඩි ලෙස උල්ලංඝනය කරමින් මෙම ගනුදෙනුව සිදුකර ඇති බවයි.
මෙහි ඇති වඩාත්ම සැකකටයුතු සහ බරපතළ කාරණය නම්, පළමු ඉඩමට අදාළ (හෙක්ටයාර 2.4361ක කොටස) සියලුම කටයුතු දින තුනක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කර තිබීමයි. 2010 දෙසැම්බර් 27 පිඹුර සකස් කිරීම, දෙසැම්බර් 28 ඔප්පුව ලිවීම සහ දෙසැම්බර් 29 වැනිදා එය ලියාපදිංචි කිරීම යන සියල්ලම විදුලි වේගයෙන් සිදුවී ඇත.

මෙම ඉඩම් විකිණීම සඳහා කැබිනට් අනුමැතියක් ලබාගෙන නොමැති වීම, ප්‍රසිද්ධ වෙන්දේසියක් හෝ විවෘත අයදුම්පත් කැඳවීමක් සිදු නොකිරීම, සහ තක්සේරු වාර්තා පිළිබඳව කිසිදු පාරදෘශ්‍යභාවයක් නොතිබීම මඟින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල සම්පූර්ණයෙන්ම අවභාවිත කර ඇති බව පැහැදිලි වේ.
සමස්තයක් ලෙස අක්කර 10යි පර්චස් 11ක් පමණ වන අතිශය වටිනා වාණිජ භූමියක් රුපියල් මිලියන 13,749කට ෂැන්ග්‍රි-ලා ගෝල්ෆේස් ලංකා සමාගමට විකුණා ඇත්තේ නියමිත ක්‍රියාපටිපාටියෙන් බාහිරවය.

කිංග්ස්බරි ගනුදෙනුව
ෂැන්ග්‍රි-ලා ගනුදෙනුව යනු රාජ්‍ය සම්පත් මංකොල්ලයේ එක් පැතිකඩක් පමණි. ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත්, කොළඹ 01 ජනාධිපති මාවතේ පිහිටි කිංග්ස්බරි (The Kingsbury) හෝටල් භූමියට අදාළ මතභේදයද මෙවැනිම තවත් නිදසුනකි.
අක්කර 5.5කින් සමන්විත (හෝටල් ගොඩනැඟිල්ලට අක්කර 4.5ක් සහ රථගාල සඳහා අක්කර 1ක්) මෙම අතිශය වටිනා වාණිජ භූමිය වෙනුවෙන් රජයට වාර්ෂිකව ගෙවා ඇත්තේ රුපියල් මිලියන 2ත් 2.5ත් අතර ඉතා අවම බදු මුදලකි. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් එහි සැබෑ වාර්ෂික කුලී වටිනාකම රුපියල් මිලියන 325ක් ලෙස නිල වශයෙන් තක්සේරු කර තිබියදීත්, හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ මැදිහත්වීමෙන් 2026 වසරේ සිට එම බදු මුදල රුපියල් මිලියන 5ක් දක්වා පමණක් සංශෝධනය කිරීමට එකඟ වී ඇත. මෙයින් රජයට වාර්ෂිකව අහිමි වන ආදායම රුපියල් මිලියන 320කි.
වඩාත් කනගාටුදායක කරුණ නම්, මෙම පෞද්ගලික ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් රජයේ ඉහළ නිලතල දරන පුද්ගලයින් පෙනී සිටීම සහ දේශපාලඥයින්ට වරප්‍රසාද ලබාදෙමින් සැබෑ තක්සේරුව මඟහැරීමට දරන උත්සාහයන්ය.
වත්මන් ආණ්ඩුවට ඇති වගකීම
සාමාන්‍ය ජනතාව එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට නොහැකිව අසාමාන්‍ය බදු බරකින් මිරිකෙමින් සිටියදී, මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට දේශපාලන හිතවත්කම් මත මෙලෙස ජාතික සම්පත් අවභාවිත කිරීමට ඉඩ දීම කිසිසේත්ම යුක්ති සහගත නොවේ.
පෙර පාලන යුගයන්හි සිදුව ඇති මෙවැනි අකටයුතුකම් හිතමිතුරුකම්වලින් තොරව නීතිය හමුවට ගෙනැවිත්, අහිමි වූ රාජ්‍ය ආදායම නැවත අයකර ගැනීමත්, දූෂිත ගනුදෙනු හරහා ලබාදුන් ඉඩම් (ෂැන්ග්‍රි-ලා පැමිණිල්ලෙන් ඉල්ලා ඇති පරිදි) නැවත රජයට පවරා ගැනීමත් වත්මන් වාමවාදී ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීමකි. නීතිය සැමට සමාන විය යුතුය. සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරමින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වල පල්ලට ඇද දමන බදු වලින් හිරකරමින්, මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට /ධනපතියන්ට පමණක් සුවසේ වැජඹීමට ඉඩ දීම මහජන අපේක්ෂාවන්ට මෙන්ම වාමවාදී ප්‍රතිපත්තිවලටද කරන නිගාවකි.
#SamaaraParanavithana

