මෙරට පාරිභෝගිකයන් මුහුණ දෙන දැවැන්තම ගැටලුවක් වන ගෑස් හිඟයට සහ
ඊට අදාළ සේවා පැහැර හැරීම්වලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) දැඩි ක්රියාමාර්ගයකට එළඹ තිබේ. ඒ අනුව, පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයුම ලබා නොදීම සම්බන්ධයෙන් ප්රමුඛ පෙළේ ගෑස් සැපයුම්කරුවෙකු වන ලාෆ් ගෑස් (Laugfs Gas) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ (29 වැනිදා) නඩුවක් පවරා ඇත.
පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් රාජ්ය ආයතනයක් අධිකරණමය ක්රියාමාර්ගයකට එළඹුණු මෙම සුවිශේෂී අවස්ථාව සහ වත්මන් ගෑස් වෙළෙඳපොළේ තත්ත්වය පිළිබඳව කෙරෙන විමසුමකි මේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන පරිදි, මෙම නඩුව පවරා ඇත්තේ එම අධිකාරිය විසින් නිකුත් කර ඇති අංක 86 දරන විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයුම ලබා නොදීමේ චෝදනාව මතය. මෙම නඩුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ අංක 5 අධිකරණය හමුවේ ගොනු කර තිබේ.
නඩුව සලකා බැලූ අධිකරණය, ලාෆ් ගෑස් සමාගමට එරෙහිව සිතාසි නිකුත් කිරීමට නියෝග කළ අතර, අදාළ නඩුව ලබන නොවැම්බර් 11 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.
වෙළෙඳපොළේ ලාෆ් ගෑස් ඇත්තෙම නැද්ද?
මේ වන විට මාසයක පමණ කාලයක සිට දිවයිනේ බොහෝ ප්රදේශවල ලාෆ් (කහ) ගෑස් සිලින්ඩර හිඟයක් පවතී. මේ සම්බන්ධයෙන් ලාෆ් පාරිභෝගික සේවා මධ්යස්ථානයෙන් කළ විමසීමකදී ඔවුන් අනාවරණය කර ඇත්තේ, මේ මොහොතේ එකදු ලාෆ් ගෑස් සිලින්ඩරයක්වත් සමාගම සතුව නොමැති බවයි.
මෙරට මාසික ලාෆ් ගෑස් සිලින්ඩර් අවශ්යතාව ලක්ෂ හතරහමාරක් (450,000) පමණ වන නමුත්, දැනට ඇණවුම් කර ඇති ගෑස් නෞකා මෙරටට ළඟා වන නිශ්චිත දිනයක් ප්රකාශ කිරීමට පවා සමාගම අපොහොසත් වී ඇත.
ලිට්රෝ සමාගමට දැඩි බරක්
මෙරට ගෑස් වෙළෙඳපොළෙන් 80%ක් ලිට්රෝ සමාගම විසින්ද, ඉතිරි 20% ලාෆ් සමාගම විසින්ද සපුරනු ලබයි. ලාෆ් ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීම නිසා පාරිභෝගිකයන් විශාල වශයෙන් ලිට්රෝ ගෑස් (නිල් සිලින්ඩරය) වෙත යොමුවීමෙන් ලිට්රෝ සමාගමට අධික ඉල්ලුමක් ඇති වී තිබේ.
ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන සඳහන් කරන්නේ, මෙතෙක් මසකට වෙළෙඳපොළට මුදාහළ මෙට්රික් ටොන් 32,000ක ගෑස් ප්රමාණය මේ වන විට මෙට්රික් ටොන් 40,000ක් දක්වා ඉහළ නැංවීමට සිදුව ඇති බවයි. මීට පෙර මසකට අලෙවි වූ ලිට්රෝ සිලින්ඩර ලක්ෂ 18ක ප්රමාණයද මේ වන විට තවදුරටත් ඉහළ දමා ඇත. කෙසේ වෙතත්, සති කිහිපයක හිඟයකින් පසු හැටන් කොටගල වැනි ප්රදේශවලට ලිට්රෝ ගෑස් සිලින්ඩර සීමිත ප්රමාණයක් (සිලින්ඩර 140ක්) ලැබී තිබූ අතර, ඒවා ලබාගැනීමටද ජනතාවට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබිණි.
මෙම සිදුවීමෙන් පැහැදිලි වන්නේ මෙරට පාරිභෝගිකයා අත්යවශ්ය සේවාවන් සම්බන්ධයෙන් කෙතරම් අසරණ වී ඇත්ද යන්නයි. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම යනු හුදෙක් භාණ්ඩයක් සාධාරණ මිලකට ලබා ගැනීමට ඇති අයිතිය පමණක් නොවේ.
ගෑස් යනු වර්තමාන සමාජයේ මූලික මිනිස් අවශ්යතාවක් බඳු බලශක්ති ප්රභවයකි. එය අඛණ්ඩව සැපයීමට අපොහොසත් වීමෙන් පාරිභෝගිකයාගේ දෛනික ජීවිතය මෙන්ම ජීවනෝපායන්ද බිඳ වැටේ.
වෙළෙඳපොළේ එක් පාර්ශවයක් අඩපණ වන විට අනෙක් පාර්ශවයට අධික බරක් පැටවෙන අතර, එහි අවසන් ප්රතිඵලය වන්නේ පාරිභෝගිකයා පෝලිම්වල රස්තියාදු වීමයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත මගින් පාරිභෝගිකයන් සූරාකෑමෙන් වැළැක්වීමට සහ අත්යවශ්ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීම සහතික කිරීමට නීතිමය ප්රතිපාදන සලසා ඇත.
ලාෆ් ගෑස් වැනි ප්රධාන සමාගමකට එරෙහිව මෙලෙස නඩු පැවරීම, පාරිභෝගික අයිතීන් සුරැකීම උදෙසා ගත් යහපත් පියවරකි. පාරිභෝගිකයන් මුදල් ගෙවා ලබාගන්නා භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට සමාගම් නීතිමය වශයෙන් බැඳී සිටින බව මෙවැනි ක්රියාවලින් තහවුරු වේ.
අධිකරණ ක්රියාවලිය හරහා හෝ මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් ලැබෙන තෙක් පාරිභෝගික ජනතාව බලා සිටින්නේ තමන්ගේ දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කරගැනීමේ අපේක්ෂාවෙනි. රාජ්ය මැදිහත්වීම හුදෙක් දඩ ගැසීමකට හෝ නඩු පැවරීමකට පමණක් සීමා නොවී, වෙළෙඳපොළේ ගෑස් හිඟය කඩිනමින් මඟහැරවීමට සෘජු බලපෑමක් වනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.

