2026 ඊශ්රායල මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මූලික අදියරේදී
(25% ක් ගණන් කර ඇති අවස්ථාවේදී) සිය ජයග්රහණය පිළිබඳව හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහු දැඩි විශ්වාසයක් පළ කළද, මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

බීබීසී (BBC), ද ගාඩියන් (The Guardian) සහ ටයිම්ස් ඔෆ් ඊශ්රායල් (Times of Israel) යන විදෙස් මාධ්ය වාර්තා කරන අන්දමට, 85% කට වඩා ඡන්ද ගණන් කර අවසන් වන විට නෙතන්යාහුගේ දකුණාංශික කඳවුරට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වීමේ දැඩි අවදානමක් මතු වී තිබේ. 77.7% ක වාර්තාගත ඉහළ ඡන්දදායක සහභාගීත්වයක් පෙන්නුම් කළ මෙම මැතිවරණය ඊශ්රායල දේශපාලන ගමන් මගෙහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්යයක් වනු ඇති බව එම මාධ්ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
බීබීසී පුවත් සේවය පෙන්වා දෙන පරිදි, ආසන 120 කින් යුත් ඊශ්රායල පාර්ලිමේන්තුවේ (Knesset) බහුතරය සඳහා ආසන 61 ක් අවශ්ය වුවද, නෙතන්යාහු ප්රමුඛ ලිකුඩ් (Likud) පක්ෂය ඇතුළු දක්ෂිණාංශික සන්ධානයට ලබාගත හැකිවී ඇත්තේ ආසන 53 ක් පමණි. එය ඔවුන් මීට පෙර භුක්ති වින්ද බලයට වඩා ආසන 15 ක විශාල පසුබෑමකි.

අනෙක් අතට, හිටපු හමුදා ප්රධානී ගාඩි අයිසන්කොට් ප්රමුඛ වෙනසක් අපේක්ෂා කරන යුදෙව් විපක්ෂ කඳවුර ආසන 48 ක් දිනාගෙන ඇත. මෙහිදී වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ ඊශ්රායලයේ අරාබි ජනතාව නියෝජනය කරන පක්ෂ පෙර නොවූ විරූ අන්දමින් ආසන 19 ක් දිනා ගනිමින් රජුන් තනන්නන්ගේ (Kingmakers) තත්ත්වයට පත්වීම බව ද ගාඩියන් සහ ටයිම්ස් ඔෆ් ඊශ්රායල් වාර්තා අවධාරණය කරයි.
නෙතන්යාහුගේ මෙම පසුබෑමට ප්රධාන වශයෙන් බලපා ඇත්තේ රට තුළ වර්ධනය වූ යුද විරෝධී සහ වෙනසක් අපේක්ෂා කරන ජනතා මතය බව විදෙස් මාධ්ය පෙන්වා දෙයි. 2023 ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ ප්රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ ආරක්ෂක අසාර්ථකත්වයේ වගකීම නෙතන්යාහු රජය භාර නොගැනීම පිළිබඳව ඊශ්රායල වැසියන් තුළ දැඩි අප්රසාදයක් පවතින බව බීබීසී වාර්තාවේ අදහස් දැක්වූ ඡන්දදායකයින්ගේ ප්රකාශවලින් ද තහවුරු වේ.
ඊට අමතරව, දිගින් දිගටම පවත්වාගෙන ගිය යුදකාමී ප්රතිපත්ති, ඇමෙරිකානු බලපෑම් මත පදනම් වූ විදේශ ප්රතිපත්ති පිළිබඳ අතෘප්තිය සහ ඉටමාර් බෙන්-ග්විර් වැනි අමාත්යවරුන්ගේ අන්ත දක්ෂිණාංශික මෙන්ම ජාතිවාදී දේශපාලන හැසිරීම් ප්රතික්ෂේප කිරීමට ඊශ්රායලයේ මධ්යස්ථ මතධාරී ජනතාව මෙන්ම අරාබි ජනතාව ද පෙළඹී ඇති බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අරාබි පක්ෂවල මෙම ඓතිහාසික නැගීමත් සමඟ සිය බහුතරය අහිමි වීම හමුවේ නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය මේ වන විට මැතිවරණ දූෂණ චෝදනා එල්ල කරමින් සිටියි. අල්ලස්, තර්ජන සහ නීති විරෝධී මෘදුකාංග භාවිත කරමින් අරාබි පක්ෂ විසින් ඡන්දය සොරකම් කර ඇති බවට ඔවුන් චෝදනා කළද, ඒ සඳහා කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, නව රජයක් පිහිටුවීම සඳහා අරාබි පක්ෂ සමඟ සන්ධානගත වීමට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් කැමැත්ත පළ කළද, ගාඩි අයිසන්කොට්ගේ සන්ධානයේ සිටින දක්ෂිණාංශික පක්ෂ අරාබි පක්ෂ සමඟ එක්වීමට දැඩි කොන්දේසි පනවා තිබීම නව ආණ්ඩුවක් පිහිටුවීමේ ක්රියාවලිය තවදුරටත් සංකීර්ණ කර තිබේ.

ජාත්යන්තර මාධ්ය මෙලෙස ඊශ්රායල මැතිවරණයේ සැබෑ බිම් මට්ටමේ තත්ත්වය සහ නෙතන්යාහුගේ පසුබෑම පුළුල් ලෙස වාර්තා කරද්දී, ශ්රී ලංකාවේ රාජ්ය මාධ්ය මෙම සිදුවීම වාර්තා කිරීමේදී වෙනස් මුහුණුවරක් ගෙන ඇති බව නිරීක්ෂණය වේ. ඊශ්රායලයේ බහුතර ජනතාව නෙතන්යාහුගේ ප්රතිපත්ති ප්රතික්ෂේප කර ඇති පසුබිමක වුවද, ශ්රී ලාංකීය රාජ්ය මාධ්ය බොහෝදුරට ඔහුගේ පරිපාලනය වෙනුවෙන් පෙනී සිටින හෝ යම් අනුකම්පා සහගත ප්රවේශයක් නිරූපණය කර ඇත. මීට ප්රධාන වශයෙන් බලපා ඇත්තේ ශ්රී ලංකාව සහ ඊශ්රායලය අතර පවතින රාජ්ය තාන්ත්රික සබඳතා, දහස් ගණනක් වූ ශ්රී ලාංකිකයින් ඊශ්රායලයේ කෘෂිකාර්මික හා රැකියා ක්ෂේත්රවල නිරත වීමෙන් ලැබෙන ආර්ථික වාසි සහ දෙරට අතර පවතින අඛණ්ඩ සබඳතාවයි.
එබැවින්, නෙතන්යාහු මුහුණ දෙන දේශීය විරෝධය සහ යුද විරෝධී ජනමතය ඉස්මතු කරනවාට වඩා, නිල ද්විපාර්ශ්වික සබඳතා සහ රාජ්ය තාන්ත්රික අවශ්යතා ආරක්ෂා කර ගැනීමේ ප්රතිපත්තිය මෙරට රාජ්ය මාධ්ය වාර්තාකරණය තුළින් මනාව පිළිඹිබු වේ.

