යෝජිත ‘ත්රස්තවාදයෙන් රාජ්යය සුරැකීමේ පනත් කෙටුම්පත’
(Protection of State from Terrorism Bill) හරහා මෙරට මාධ්ය නිදහස සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් දැඩි අවදානමකට ලක්වන බව ඒකාබද්ධ විපක්ෂය අනතුරු අඟවයි. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙන්නේ, ජාතික ආරක්ෂාව නාමයෙන් ගෙන එන මෙම පනත, ආණ්ඩුවට එරෙහි හඬවල් නිහඬ කිරීමේ දේශපාලනික අවියක් වීමේ පැහැදිලි තර්ජනයක් පවතින බවයි.
මෙම පනතේ බරපතළම ඛේදවාචකය වන්නේ මාධ්යවේදීන්ගේ මූලික රාජකාරිය වන ‘තොරතුරු වාර්තා කිරීම’ පවා යම් පාර්ශවයකට බලපෑම් කරන ‘ත්රස්තවාදී ක්රියාවක්’ ලෙස අර්ථකථනය කිරීමට ඇති හැකියාවයි.
අතුරුදන් වූ බහාලුම් 323ක සිද්ධිය හෝ බාල ගල්අඟුරු වංචාව වැනි දූෂණ හෙළිදරව් වූයේ ගවේෂණාත්මක මාධ්යකරණය හරහාය. එහෙත්, තම තොරතුරු මූලාශ්ර හෙළි කිරීමට මාධ්යවේදීන්ට බලකෙරෙන ප්රතිපාදන මෙම පනතට ඇතුළත් වීම හරහා, මෙරට මාධ්ය ක්ෂේත්රය මුළුමනින්ම අඩාල කිරීමේ සැලසුමක් ක්රියාත්මක වන බව පෙනී යයි. සත්යය දැනගැනීමට ජනතාවට ඇති අයිතියද මින් අහිමි කෙරේ.
ලෝකයේ වෙනත් කිසිදු නීතියක දක්නට නොලැබෙන තරම් පුළුල් සහ විවෘත අර්ථකථනයක් මෙම පනත තුළ ත්රස්තවාදයට ලබා දී ඇත. රජයට යමක් කිරීමට හෝ නොකිරීමට බලපෑම් කිරීම ත්රස්තවාදී ක්රියාවක් ලෙස සැලකීම හරහා වෘත්තීය සමිති ක්රියාමාර්ග, විරෝධතා, සම්මන්ත්රණ සහ මාධ්ය හමු පවා තහනම් කිරීමේ අත්තනෝමතික බලය රජය සතු වේ.
යම් රැලියකදී කෙරෙන කතාවක් ත්රස්තවාදී ක්රියාවක් ලෙස සැලකුවහොත්, ඊට අදාළව අත්පත්රිකා බෙදන සාමාන්ය පුද්ගලයෙකුට පවා වසර 15ක සිරදඬුවමක් හෝ රුපියල් මිලියන 15කට නොඅඩු දඩයක් නියම වීමට හැකි තරමට මෙම නීතිය අසාධාරණය. පුරාවිද්යාත්මක ස්ථාන සහ විදුලිබල පද්ධතිය වැනි ක්ෂේත්ර මීට ඇතුළත් කර තිබුණද, ඊට අදාළව සිදුවිය යුතු අවම හානිය (threshold of harm) නිශ්චිතව දක්වා නොමැති වීම, මෙම නීතිය දේශපාලනිකව අවභාවිත වීමට සෘජුවම බලපායි.
අනෙක් අතට, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිසියට අසීමිත බලතල ලබාදීම හරහා නීතියේ ආධිපත්යය බරපතළ ලෙස උල්ලංඝනය වේ. ආරක්ෂක ලේකම්වරයාගේ අභිමතය පරිදි ඕනෑම අයෙකුට යම් ස්ථානයකට ඇතුළුවීම තහනම් කිරීමටත්, පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත සැකකරුවෙකු මාස දෙකක කාලයක් නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීමටත් මෙමගින් බලය පැවරේ.
යෝජිත ත්රස්තවාදයෙන් රාජ්යය සුරැකීමේ පනත් කෙටුම්පත යනු ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට වඩා ජනමාධ්ය, සිවිල් සමාජය සහ විරුද්ධ දේශපාලන මතවාද දැඩි සීමාවන්ට යටත් කරමින් රජය වෙත අසීමිත බලයක් කේන්ද්රගත කරගැනීම සඳහා ගෙන එන ප්රජාතන්ත්ර විරෝධී මර්දන යන්ත්රයක් බව ඉතා පැහැදිලිය.
මීට සමගාමීව, රජය විසින් ගෙන එන ලද ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ ද කුප්රකට ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අතිශය ම්ලේච්ඡ ලක්ෂණ යළි හඳුන්වා දෙන බවත්, එය සම්පූර්ණයෙන්ම හකුලාගත යුතු බවත් ජාත්යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) පසුගියදා අවධාරණය කර තිබුණි.
අධිකරණ නියෝගයකින් තොරව සන්නිවේදන දත්ත ලබාගැනීමට පොලිසියට අසීමිත බලතල ලබාදීම, බලහත්කාරයෙන් ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීම, අධිකරණ කටයුතු වාර්තා කිරීම මාධ්යයට තහනම් කිරීම සහ නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා සැකකරුවන් රඳවා තබාගැනීම වැනි මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කරන ප්රතිපාදන රැසක් ඊට ඇතුළත් බැවින්, මෙය මාධ්යවේදීන් මෙන්ම සාමාන්ය ජනතාවද බරපතළ අනතුරකට හෙළන ප්රජාතන්ත්ර විරෝධී පනතක් බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
# නිරෝමි සුබ්රමනියම්

