SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුළු පරිමාණ ව්‍යවසායකයාට වාමවාදී ආණ්ඩුවක් කොකා පෙන්වූ හැටි!

  

 

 

ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්තිය තුළ සැබෑ විප්ලවයක් සිදු කළේ මහා පරිමාණ සමාගම් නොව,

සිය පුද්ගලික ධනය ආයෝජනය කළ සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාය. පසුගිය දශකය තුළ මෙගාවොට් දෙදහස් පන්සියයකට අධික ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ඔවුන් සමත් විය. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මේ ජනතා බලශක්ති මෙහෙයුම මුළුමනින්ම කණපිට පෙරළා තිබේ. ඒ වෙනුවට මේ වන විට සිදුවෙමින් පවතින්නේ ධම්මික පෙරේරා සහ අක්බාර් සහෝදරයන් වැනි මහා පරිමාණ ධන කුවේරයන්ගේ අතට සමස්ත සූර්ය බලශක්ති වෙළෙඳපොළේ ඒකාධිකාරය පවරා දීමේ සූක්ෂ්ම මෙහෙයුමකි.

 

 

 SAGT invests in onsite renewable energy through rooftop solar project -  DailyNews

 

 

 

මෙම අර්බුදයේ ක්ෂණික ප්‍රේරකය වන්නේ දෙදහස් විසිහයේ සැප්තැම්බර් එකොළොස් වැනිදා බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා විසින් නිකුත් කළ ආන්දෝලනාත්මක ප්‍රතිපත්තිමය නියෝගයයි. ඊට අනුව සාමාන්‍ය ජනතාවට විදුලි බිල ශුන්‍ය කර ගැනීමට ඉඩ සැලසූ නෙට් මීටරින් සහ නෙට් එකවුන්ටින් යන සාර්ථක බිල්පත් ක්‍රමවේද සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිණි. ඒ වෙනුවට දැන් පාරිභෝගිකයන් මත බලහත්කාරයෙන් පටවා ඇත්තේ නෙට් ප්ලස් නම් වූ අතිශය අසාධාරණ ක්‍රමවේදයයි. වහලයේ ඉඩකඩ උපරිමයෙන් භාවිතා කිරීමට ඉඩ දුන් නෙට් ප්ලස් ප්ලස් ක්‍රමයද මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය විසින් අත්හිටුවා ඇත.

 

 

 

රජය සාමාන්‍ය පාරිභෝගිකයාට සහ ව්‍යවසායකයාට කොකා පෙන්වූ ආකාරය ඉතා පැහැදිලි වන්නේ මෙම නව නෙට් ප්ලස් ක්‍රමයේ මූල්‍ය ගණනය කිරීම් දෙස බැලීමේදීය. පැවති ක්‍රමය යටතේ කිලෝවොට් පහක සූර්ය පද්ධතියකින් නිපදවන ඒකක පන්සිය පනහක ප්‍රමාණය නිවසේ පරිභෝජනයට හිලව් කර ගත් විට මාසික විදුලි බිල සම්පූර්ණයෙන්ම ශුන්‍ය විය. එහෙත් නව නියාමනය යටතේ පාරිභෝගිකයා තමන් නිපදවන එම ඒකක පන්සිය පනහ රජයට විකුණා උපයා ගන්නේ රුපියල් දහතුන් දහසක පමණ සොච්චමකි. ඉන්පසුව නිවසේ පරිභෝජනයට අවශ්‍ය එම ඒකක ප්‍රමාණයම යළි විදුලිබල මණ්ඩලයෙන් මිලදී ගැනීම සඳහා ඔහුට රුපියල් හතළිස් අටදහසකට ආසන්න දැවැන්ත මුදලක් ගෙවීමට සිදුවේ.

 

 

 

තමන්ගේම වහලයේ ලක්ෂ ගණනක් ණය වී සවිකරගත් පද්ධතියකින් විදුලිය නිපදවා, අවසානයේදී රුපියල් තිස්පන්දහසක පමණ මාසික පාඩුවක් විඳීමට කිසිදු පාරිභෝගිකයෙකු සූදානම් නැත. ආණ්ඩුව ඉතා සූක්ෂම ලෙස වහල මත සූර්ය පද්ධති සඳහා ජනතාව දක්වන උනන්දුව සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත්තේ එලෙසිනි.

 

 

පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණේ නියෝජිතයින් වන සභාපති එච්.පී. රුවන් චාමර, ලේකම් සජිත් ජයවර්ධන සහ භාණ්ඩාගාරික ධනංජය ජයවර්ධන  මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක පෙන්වා දුන්නේ, රජයේ නව චක්‍රලේඛ මගින් ක්ෂේත්‍රයේ නිරත 80,000කගේ ජීවනෝපාය මේ වන විටත් අහිමි වී ඇති බවයි. තවද, දැනට ක්‍රියාත්මක ආයතනවල සේවයේ නියුතු තවත් 20,000කගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවද ඔවුහු සඳහන් කළහ.

 

 

 

 

ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ දිවයින පුරා සක්‍රීයව පැවති සුළු හා මධ්‍ය පරිමාණ සූර්ය බලශක්ති ව්‍යවසාය ඒකක 1,150 කට අධික සංඛ්‍යාව නව නීතිරීති හමුවේ 600 දක්වා පහත වැටී ඇති බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපි 34ක් යොමු කර තිබුණද සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා නොදුන් බවත් සංගමයේ නියෝජිතයෝ මහානායක හිමිවරුන් හමුවේ ප්‍රකාශ කළහ.

 

 

බලශක්ති අමාත්‍යාංශය මෙම ක්‍රියාවලිය සාධාරණීකරණය කරන්නේ ජාල ස්ථායිතාව ආරක්ෂා කිරීමේ තාක්ෂණික තර්කයක් පිටුපස සැඟවෙමිනි. දිවා කාලයේ උත්පාදනය වන විදුලිය පද්ධතියට එකවර ගලා ඒම ගැටලුවක් නම්, ඊට සැබෑ විසඳුම වන්නේ ගෘහස්ථ බැටරි පද්ධති සඳහා ජනතාව යොමු කිරීමයි. එහෙත් ආණ්ඩුව කුඩා ගෘහස්ථ බැටරි පද්ධති සඳහා සියයට පනස් දෙකක දැවැන්ත ආනයනික බද්දක් පනවා තිබේ. පුදුමයට කරුණ වන්නේ මහා පරිමාණ සමාගම් ගෙන්වන මෙගාවොට් මට්ටමේ බැටරි සඳහා ආනයන බදු සම්පූර්ණයෙන්ම ශුන්‍ය කර තිබීමයි. ආණ්ඩුවේ සැබෑ නිරුවත සහ පක්ෂග්‍රාහීත්වය හෙළිවන්නේ මෙතැනදීය.

 

 

සුළු ව්‍යවසායකයා වළපල්ලට යවා ආණ්ඩුව විසින් මේ නිර්මාණය කර දෙන්නේ අක්බාර් සහෝදරයන්ගේ සහ ධම්මික පෙරේරාගේ බලශක්ති ඒකාධිකාරියයි. සමාජ මාධ්‍ය තුළද මේ වන විට කතා බහට ලක්ව ඇත්තේ මහා පරිමාණයෙන් සූර්ය බලය උත්පාදනය කිරීමට ව්‍යාපාරික කටයුතු කරනු ලබන ධම්මික පෙරේරා හා අක්බාර් සහෝදරයන්ගේ මැදිහත්වීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවයි. කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම පෞද්ගලික පුනර්ජනනීය බලශක්ති උත්පාදකයා වන වින්ඩ්ෆෝස් සමාගමේ ප්‍රධාන හිමිකාරීත්වය දරන්නේ අක්බාර් බ්‍රදර්ස් සමාගමයි.

 

 

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදී අනාවරණය කළ පරිදි, රජයේ පළමු බැටරි ගබඩා ටෙන්ඩරයේ ඒකක 16න් 13ක්ද, දෙවන ටෙන්ඩරයේ ඒකක 25න් 23ක්ද තනි ව්‍යාපාරික ජාලයන් වෙත හිමිවී තිබේ. මේ වසර තුළ මෙගාවොට් 120ක ස්වාධීන බැටරි ගබඩා පද්ධති සඳහා වින්ඩ්ෆෝස් වෙත ලිපි නිකුත් වී ඇති අතර, දැවැන්ත ටෙන්ඩර ගණනාවක් ඔවුන් සතු අනුබද්ධ සමාගම් හරහා අත්පත් කරගෙන තිබේ.

 

 

 

අනෙක් පසින් ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික ජාලයට අයත් හේලීස් සෝලර් ආයතනය මෙරට සූර්ය බලශක්ති ආනයන හා ස්ථාපන ක්ෂේත්‍රයේ දැවැන්තම වෙළඳපොළ කොටසක් මේ වන විටත් ග්‍රහණය කරගෙන සිටී. ලාෆ්ස් සමූහය වැනි අනෙකුත් ප්‍රබල සමාගම්ද මෙම යටිතල පහසුකම් ව්‍යාපාර හරහා සිය ආධිපත්‍යය පතුරුවමින් සිටී. ආණ්ඩුවේ මෙම නව චක්‍රලේඛය මගින් අරමුණ වන්නේ විමධ්‍යගත ජනතා බලශක්ති නිෂ්පාදනය හිතාමතාම අඩපණ කර, මෙගාවොට් ගණනින් විදුලිය සපයන මෙම මහා පරිමාණ සමාගම් කිහිපයට ඩොලර් මිලියන ගණනින් ලාභ ඉපයිය හැකි කතිපයාධිකාරයක් නිර්මාණය කර දීම ද?

 

 

 

විදේශ විනිමය දිනකට රුපියල් බිලියන එකහමාරකින් ඉතිරි කර දුන්, ජනතාවගේම මුදලින් ගොඩනැඟුණු පිරිසිදු බලශක්ති මාදිලියක් මේ ආකාරයට ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් නිසා ඝාතනය වෙමින් පවතී. අවම පිරිවැය විදුලි උත්පාදන මූලධර්මය බරපතළ ලෙස උල්ලංඝනය කරමින්, පාරිභෝගිකයාගේ ස්වයං පරිභෝජන අයිතිය රජය ඔවුන්ගෙන් උදුරාගෙන ඇත.

සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවට සහ ක්ෂේත්‍රය ගොඩනැගූ සුළු පරිමාණ ව්‍යවසායකයාට කොකා පෙන්වමින්, ලංකාවේ සූර්ය පැනලයේ අයිතිය සහ ලාභය ධම්මිකලාගේ සහ අක්බාර්ලාගේ සාක්කුවලට බැර කිරීමේ දේශපාලන ඩීල් එකක් වත්මන් පරිපාලනය විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන බවය යන විවේචන සාධාරණ බව මේ වනවිට ජනතාවට අවබෝධ වෙමින් තිබේ. 

 

 

#සමාරා පරණවිතාන

(පුවත් මූලාශ්‍ර - පුබුදු ජයගොඩ මාධ්‍ය හමුව / ශ්‍රී ලංකා මිරර්)

නවතම ලිපි