හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ 29 හැවිරිදි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය
සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඊයේ (29) මාධ්ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් අවධාරණය කළේ, නීතිවිරෝධී, සමාජ විරෝධී හෝ කිසියම් අකටයුත්තකට සම්බන්ධ වන කිසිදු පොලිස් නිලධාරියෙකු ආරක්ෂා කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා, එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, වැටලීමට සහය වූ මත්ද්රව්ය නාශක අංශයට අනුයුක්ත උප ස්ථානාධිපතිවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
අතීත ආණ්ඩු ක්රියාකළ ආකාරය
ශ්රී ලංකාව තුළ පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අභිරහස් ලෙස මියයාම හෝ ඝාතනය වීම කලක පටන් සුලබව වාර්තා වූ ඛේදවාචකයකි. මෙතෙක් පැවති බොහෝ ආණ්ඩු මෙවැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හමුවේ කටයුතු කළේ පොලිසියේ වැරදි වසා දැමීමට හෝ කිසියම් කතන්දරයක් ගොතා ඒවා සාධාරණීකරණය කිරීමටය. අත්අඩංගුවේදී සිදුවන ඝාතනවලට සෘජුවම වගකිව යුතු පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ රාජකාරි කළ නිලධාරීන්ට බොහෝ විට හිමිවූයේ 'ස්ථාන මාරුවක්' වැනි ඉතා සුළු දඬුවමකි.
මීට කදිම උදාහරණය වන්නේ වැලිකඩ පොලීසියයි. මෙවැනි බිහිසුණු ඝාතන සිදුකළ බොහෝ පොලිස් නිලධාරීන් මුල් අවස්ථාවේදී දේශපාලන හා පොලිස් බලය යොදාගෙන නීතියෙන් රිංගා යෑමට හෝ හුදු ස්ථාන මාරුවකින් ගැලවී යාමට උත්සාහ කළ අයුරු මුළු රටම දුටුවේය. එමගින් වක්රාකාරව එම ඝාතනයන් යුක්ති සහගත කිරීමක් සහ අපරාධකරුවන්ට රාජ්ය අනුග්රහය ලැබීමක් සමාජය තුළ ප්රදර්ශනය විය.
වැඩ තහනමෙන් නොනැවතී නීතියට අනුව දඬුවම් දිය යුතුයි!
හෝමාගම සිද්ධියට අදාළව නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීම යහපත් මූලික පියවරක් වුවද, එය කිසිසේත්ම ප්රමාණවත් නොවේ. මෙවැනි අමානුෂික ඝාතන සම්බන්ධයෙන් හුදෙක් වැඩ තහනම් කිරීමෙන් හෝ ස්ථාන මාරු කිරීමෙන් පමණක් නොනැවතී, ඍජුවම සාමාන්ය නීතියට අනුව ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය. පොලිස් නිල ඇඳුමට මුවා වී මිනීමරන පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්රහය යටතේ මිනීමැරුම් චෝදනා ගොනුකර, ස්වාධීන අධිකරණ ක්රියාවලියක් හරහා නිසි දඬුවම් පැමිණවීම අත්යවශ්ය වේ.
මෙම හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය මේ වනවිටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ, බස්නාහිර පළාත් දකුණු දිසාව භාර විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාළ ආඥාපනතේ 125 වැනි වගන්තිය යටතේ මෙම පරීක්ෂණ මෙහෙයවනු ලබයි. සිද්ධියට පෙර දිනය, සිදුවූ දිනය සහ පසු දිනය සම්බන්ධයෙන් සියලු සාක්ෂි මේ වනවිට එක්රැස් කරමින් පවතින අතර, එකී සාක්ෂි මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දශක ගණනාවක් තිස්සේ පැවති මෙම 'වැරදි වසා දැමීමේ' දේශපාලනික හා ආයතනික සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇතැයි ජනතාව මේ වන විට දැඩි ලෙස විශ්වාස කරති. පසුගිය කාලයේ සිදුවූ සියලු වැරදි සහ මානව හිමිකම් කඩවීම් සඳහා මෙන්ම, අනාගතයේදී සිදුවිය හැකි මෙවැනි අපරාධ සඳහාද වත්මන් ආණ්ඩුව කිසිදු භේදයකින් තොරව නීත්යානුකූලව කටයුතු කරනු ඇතැයි යන්න පොදු මහජන අපේක්ෂාවයි. නීතියට ඉහළින් කිසිවෙකුටත් ක්රියා කළ නොහැකි බව ප්රායෝගිකව ඔප්පු කර පෙන්වීමට බලධාරීන්ට මෙය කදිම අවස්ථාවකි.

