ආන්දෝලනාත්මක බාල ප්‍රතිදේහ ඖෂධ ප්‍රසම්පාදන නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල
මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන පසුබිමක, එහි 8 වැනි විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් විත්ති කූඩුවේ සිට සිදු කරන ලද දීර්ඝ ප්‍රකාශය මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ මෙන්ම ජනමාධ්‍ය අවකාශයේද දැඩි කතාබහකට ලක්ව තිබේ.
දේශපාලන සටන්පාඨ සහ ඒකපාර්ශ්වික මාධ්‍ය සිරස්තලවලින් ඔබ්බට ගොස් රාජ්‍ය ලේඛන, තාක්ෂණික වාර්තා, විදේශ ගමන් බලපත්‍ර මුද්‍රා මෙන්ම විදුලි සංදේශ කුළුණු දත්ත වැනි බිඳහෙළිය නොහැකි ස්වාධීන සාක්ෂි පෙරදැරි කරගනිමින් ඔහු ඉදිරිපත් කළ කරුණු පෙළගැස්ම, මේ දක්වා සමාජය හමුවේ මවා තිබූ චිත්‍රය සහමුලින්ම උඩුයටිකුරු කිරීමට සමත්ව ඇත.

වසර තිහකට ආසන්න සිය දේශපාලන ජීවිතය තුළ අමාත්‍යාංශ නවයක වගකීම් දැරූ, කිසිවෙකුත් භාරගැනීමට මැලි වූ තීරණාත්මක යුද සමයේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක ධුරය භාරගෙන තෙවරක් ජීවිතය අහිමිවීමේ අවදානමට පවා මුහුණදුන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු ලෙස, තම දුරකථන අංකය හා ලිපිනය පවා ප්‍රසිද්ධියේ ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැකි අයුරින් විවෘතව තබා කටයුතු කළ මහජන නියෝජිතයෙකු මෙවන් කූට ප්රයත්නයකට හවුල් වේද යන තාර්කික ප්රශ්නය ඔහුගේ ආරම්භක ප්රකාශයෙන්ම මතු විය.
මෙම නඩුවට පාදක වන පසුබිම හුදෙක් සාමාන්‍ය පරිපාලන වටපිටාවක සිදුවූවක් නොව, 2022 වසරේ මුළු රටම අත්විඳි අතිශය දරුණුතම ආර්ථික හා සමාජයීය බිඳවැටීම මධ්‍යයේ ගොඩනැගුණකි. මෙරටට අවශ්‍ය ඖෂධවලින් 80%ක්ම විදේශයන්ගෙන් ආනයනය කරන පසුබිමක, විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 35 දක්වා පහත වැටී, රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීමෙන් දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත අනතුරේ වැටී තිබූ එම අසීරු යුගයේදී සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගත් තමන්ට මුහුණදීමට සිදුවූයේ පද්ධතිය බිඳවැටීමෙන් බේරාගැනීමේ ජාතික අභියෝගයකට බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙහිදී වඩාත්ම ආන්දෝලනයට ලක්වූ කැබිනට් පත්‍රිකා සම්බන්ධ චෝදනාව නිරවුල්ව විශ්ලේෂණය කිරීමේදී, ප්‍රශ්නගත හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශය සහිත කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ තමන් නොව, එවකට අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ බව ඔහු පැහැදිලි ලේඛන සාක්ෂි සහිතව සනාථ කරයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් 2022 මැයි 30 දිනැතිව කළේ ඒ වන විටත් ක්‍රියාත්මක වූ කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාමට අවසර ඉල්ලීම පමණක් වුවද, ඊට කැබිනට් අනුමැතිය නොලැබුණු අතර ඒ වෙනුවට මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහිත නව ප්‍රසම්පාදන ක්‍රමවේදය අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් සම්මත කරනු ලැබිණි.
එමෙන්ම ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අරමුදල් ප්‍රතිපාදන වෙනස් කිරීම සඳහා 2022 සැප්තැම්බර් 26 වන දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පවා අමාත්‍යවරයාගේ තනි අභිමතය පරිදි සිදුවූවක් නොව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) එම අරමුදල් පරිහරණය කිරීමේ පවතින දුර්වලතා පිළිබඳ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා නිකුත් කළ ‘පැ 65’ සහ ‘පැ 66’ යන නිල උපදෙස් ලිපි මත පදනම් වූවක් බව නිරාවරණය වේ.
![]()
අදාළ වර්ෂය අවසන් වීමට පෙර එම අරමුදල් භාවිත කරමින් පෞද්ගලික සැපයුම්කරුවන් හරහා හෝ කඩිනමින් ඖෂධ ගෙන්වා ගැනීමට අනුමැතිය ඉල්ලා සිටියේ රජයේ ස්ථාපිත කැබිනට් මාර්ගෝපදේශවලට අනුකූලවය.
වඩාත්ම තීරණාත්මක කාරණය වන්නේ, එම කැබිනට් පත්‍රිකාව මගින් හිටපු අමාත්‍යවරයා කිසිදු නිශ්චිත ඖෂධයක් හෝ සන්නාමයක් සඳහා අනුමැතිය ඉල්ලා නොසිටීමයි. එහි අන්තර්ගත වූයේ වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) වගකිවයුතු තාක්ෂණික ප්‍රධානියා වූ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ ගේ අත්සනින් යුතුව සකස් කර එවූ පවතින ඖෂධ තොග පිළිබඳ නිල සාරාංශයක් පමණි.
ක්ෂේත්රයේ ප්‍රවීණ වෛද්‍ය නිලධාරීන් ලබාදෙන නිල දත්ත මත ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මිස, අමාත්‍යවරයෙකු ගබඩාවල ඇති ඖෂධ තොග තනිව ගණනය කිරීම ප්‍රායෝගික නොවන බවත්, අනුමත වන තීරණ බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට පැවරෙන බවත් ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය පරිපාලන ධුරාවලියේ සැබෑ ස්වභාවය මනාව පැහැදිලි කරමිනි.
විත්තිවාචකයේ අඩංගු වඩාත්ම මවිතකර සහ නීතිමය වශයෙන් බිඳහෙළිය නොහැකි කරුණ වන්නේ, අදාළ ප්‍රසම්පාදන තීරණ ගත් බව කියන රැස්වීම් තමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති බවට ගොඩනගා ඇති ලේඛනවල පවතින පැහැදිලි සාවද්යතාවයි.
අධිකරණයේ සලකුණු කර ඇති ‘10 වි 63’ ලේඛනයට අනුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ රැස්වීමක් පැවැත්වුණා යැයි කියන 2022 සැප්තැම්බර් 05 වන දින, ඔහු මෙරට පවා නොසිටි අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා භූතානයේ රැඳී සිටි බව ආගමන විගමන දෙපාර්තමේන්තු වාර්තා සහ ගුවන්ගමන් බලපත්‍ර මුද්‍රා මගින් ඔප්පු වී තිබේ. එමෙන්ම ‘10 වි 53’ ලේඛනයේ දැක්වෙන 2022 ඔක්තෝබර් 10 වන දින රැස්වීම පැවැති වේලාවේදී, හිටපු අමාත්‍යවරයා එවකට ජනාධිපතිවරයා සමග ජා-ඇළ ප්‍රදේශයේ නිල උත්සවයකට සහභාගි වෙමින් සිටි බව දුරකථන කුළුණු දත්ත (Dialog records) මගින් දැනටමත් අධිකරණය හමුවේ තහවුරු කර ඇත. පුද්ගලයෙකු භෞතිකව නොසිටි ස්ථානයක සහ වේලාවක ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වූ බවට අමාත්‍යාංශ ලිපිගොනු සැකසී ඇත්තේ කාගේ වුවමනාවකටද යන්න පිළිබඳව ඔහු මතු කරන ප්රශ්නය, මෙම සිද්ධිය පිටුපස සැබෑ තීරකයන් කවුරුන්ද යන්න පිළිබඳව බරපතළ සැකයක් ජනනය කරයි.

තවද, මෙම සමස්ත ජාවාරම අනාවරණය කරගැනීමට මූලික පියවර ගනු ලැබුවේද කෙහෙළිය රඹුක්වැල්ල විසින්ම බව මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්විය යුතුය. ව්‍යාජ ලේඛන සකස් කර ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වන මුවාවෙන් මෙරට නීතිවිරෝධී අවසර නොලත් කර්මාන්තශාලාවක දියර වර්ග කුප්පිවලට පුරවා නිලධාරීන්ද නොමග යවමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී ඇති බවට ලද තොරතුරු මත, සිය උපදේශක සංජය රජීව් ජෙරාඩ් පෙරේරා හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඔහුය.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සිද්ධිය මුලින්ම වාර්තා වූයේද එම පැමිණිල්ලෙනි. සෞඛ්‍ය අමාත්‍යවරයෙකු විසින් සිය අමාත්‍යාංශයේ සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳව මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර විමර්ශන ආරම්භ කරවීමෙන් අනතුරුව, එම පැමිණිල්ල කළ පුද්ගලයාම කුමන්ත්‍රණකරුවෙකු බවට පත්කර මාස අටකට අධික කාලයක් සිරගත කර තැබීම කෙතරම් ඛේදනීය පරස්පරයක්ද යන්න විත්ති කූඩුවේ ප්‍රකාශය තුළින් තියුණු ලෙස ඉස්මතු වේ. වංචාව හෙළිදරව් කළ පැමිණිලිකරුම අවසානයේ චූදිතයා බවට පත්වන මෙවන් වටපිටාවක් තුළ, අනාගතයේදී කිසිදු අමාත්‍යවරයෙකු රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ නීතිය හමුවට ගෙන ඒමට නොපෙළඹෙනු ඇතැයි ඔහු කළ අනතුරු ඇඟවීම මුළුමහත් පද්ධතියේම හෘදසාක්ෂියට එල්ල කළ දැවැන්ත අභියෝගයකි.
විමර්ශන සිදු වූ ආකාරය සහ තමන්ට අත්වූ ඉරණම පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ තැබූ හෙළිදරව්ව නීතියේ ආධිපත්‍යය මෙන්ම විමර්ශන ක්‍රියාවලියේ ස්වාධීනත්වය පිළිබඳවද බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි.

තමන් සැකකරුවෙකු බව හෝ යම් වරදක් කර ඇති බවට කිසිදු දැනුම්දීමක් නොකර, උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා පැය 11ක කාලයක් අඛණ්ඩව ප්‍රශ්න කරමින්, දියවැඩියාව සහ ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන 72 හැවිරිදි වියපත් තමන්ට ප්‍රකාශය අවසන් වන තෙක් නියමිත ඖෂධ හෝ ආහාර ලබාගැනීමට පවා ඉඩ නොදී දැඩි විඩාවකට පත්කළ බව ඔහු සංවේගයෙන් යුතුව විස්තර කළේය. වසර දෙකක සිට පවතින මානසික ආතතිය හා අමතක වීමේ රෝගී තත්ත්වයන් මධ්‍යයේ වුවද, නිලධාරීන් සකස් කළ 2022 වසරේ ලිපිගොනු පෙන්වමින් ප්‍රශ්න කිරීමේදී තමන් කිසිදු වරදක් කර නොමැති බව ඔහු නැවත නැවතත් අවධාරණය කළේය.
ඉන්දියාවෙන් ආනයනය කළ යුතු ඖෂධය මෙරට අවසර නොලත් කර්මාන්තශාලාවක හොර රහසේ බෝතල් කර, ව්‍යාජ ලිපිගොනු මගින් නිලධාරීන්ද රවටා සැපයූ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසුකර දීමට පෙරමුණ ගත් අමාත්‍යවරයෙකු කුමන්ත්‍රණකරුවෙකු කිරීම පිටුපස සැබෑ වරදකරුවන් වසන් කිරීමේ උත්සාහයක් තිබේද යන්න ඔහුගේ කරුණු දැක්වීමෙන් පැහැදිලි වේ.
ජනතාව දැඩි පීඩාවට පත්කළ බාල ඖෂධ මාෆියාව පිළිබඳ නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක විය යුතු බව සැබෑවක් වුවද, සැබෑ ජාවාරම්කරුවන් පසෙක සිටියදී, භාණ්ඩාගාරයේ සහ වෛද්‍ය සැපයුම් අංශයේ නිල ලේඛන මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගත් සහ එම වංචාව පිළිබඳවම ප්‍රථමයෙන් සීඅයිඩියට පැමිණිලි කළ අමාත්‍යවරයෙකු දේශපාලන ගොදුරක් බවට පත්කිරීම පිටුපස ඇති පරිපාලනමය හා නෛතික හිඩැස මෙම විත්තිවාචකය මගින් සමාජය හමුවේ නිරාවරණය කර තිබේ.
පසුගිය වසර තුන පුරා තමන් සහ තම පවුලේ සාමාජිකයන් විඳි අපමණ පීඩාවන් දරාගැනීමට ශක්තියක් වූයේ ස්වාධීන අධිකරණය කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය බව පවසමින් ඔහු අවසන් කළ සිය සාක්ෂිය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී කිසිසේත් බැහැර කළ නොහැකි, පක්ෂග්රාහී මතවාද බිඳදමන ප්‍රබල සාධක පෙළක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

