රංවලව කැපූ ආණ්ඩුව වත්මන් කථානායකව රකින්නේ ඇයි?
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව
විවාදයකට හෝ නොගෙන අත්තනෝමතික ලෙස ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඊයේ පාර්ලිමේන්තුවේදී දැවැන්ත උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය සෙන්කෝලය පැහැරගැනීමට තැත් කිරීම දක්වා දුරදිග ගිය අතර, සභාවේ ගෞරවය මෙන්ම ප්රජාතන්ත්රවාදී සම්ප්රදායන්ද දැඩි අවදානමකට ලක්විය.
මෙම නොසන්සුන්තාව මතු වූයේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ඇතුළු වරප්‍රසාද ගැටලු කිහිපයක් මතු කිරීමට නියෝජ්‍ය කථානායක රිස්වි සාලි අවස්ථාව ලබා නොදීමත් සමඟය. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් අදාළ වරප්‍රසාද ගැටලු ලිඛිතව තමන් වෙත ලැබුණේ උදෑසන 9න් පසුව බවත්, ඒවා අධ්‍යයනය කර පසුව ප්‍රතිචාර දක්වන බවත් නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළද, විපක්ෂ මන්ත්‍රීවරු ඊට එකඟ නොවී දැඩි විරෝධය පළ කළහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභාවේදී පෙන්වා දුන්නේ, කථානායකවරයාට එරෙහිව චෝදනා 50ක් ඇතුළත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඔක්තෝබර් 09 වනදා පාර්ලිමේන්තු මහලේකම්වරයාට නිල වශයෙන් භාරදුන් බවයි. ඉන්පසුව ඔක්තෝබර් 12 වනදා එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටද ඇතුළත් කර තිබියදී, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එය පසුව ප්‍රතික්ෂේප කර තිබීම බරපතළ ප්රශ්නකාරී තත්ත්වයකි.
න්‍යාය පුස්තකයට ඇතුළත් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ විවාදයකට නොතබා හකුලා දැමුවේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා, මෙම ක්‍රියාව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් මෙන්ම සභාවේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය මුළුමනින්ම පළුදු කිරීමක් බව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම සිදුවීම් මාලාව හුදු පාර්ලිමේන්තු ආරවුලකට එහා ගිය ආණ්ඩුවේ පැහැදිලි ද්විත්ව පිළිවෙතක් සහ දේශපාලන කුහකත්වයක් විදහා දක්වන්නකි. චෝදනා එල්ල වූ වත්මන් කථානායකවරයාව ඕනෑම අයුරකින් රැකගැනීමට ආණ්ඩුව දරන මේ මුරණ්ඩු උත්සාහය නිසා ආණ්ඩුව මහජනතාව ඉදිරියේ අතිශය අපකීර්තියට පත්වෙමින් තිබේ.
මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ ආණ්ඩුව ක්‍රියා කරන විකාරරූපී ද්විත්ව ප්රමිතියයි. කිසිදු වංචා හෝ දූෂණ චෝදනාවක් නොමැති, සැබෑ ජනතාවාදී හා හැකියාවන් සහිත මිනිසෙකු වූ අශෝක රංවල ට සිදු වූ අසාධාරණය මෙහිදී අමතක කළ නොහැක. මිනිසෙකුගේ හැකියාවන්ට, ප්‍රායෝගික නිපුණතාවන්ට හෝ සැබෑ නායකත්වයට කිසිදු සම්බන්ධයක් නැති 'ආචාර්ය උපාධිය' නමැති කඩදාසි පට්ටම මුල් කරගනිමින් ඔහුව කථානායක ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ඒ හේතුවෙන් ඔහුගේ හැකියාවන් සහ අවංක සේවයෙන් හා දන්නා දෙයින් ආණ්ඩුවටත් රටටත් ලබාගත හැකිව තිබූ අතිමහත් ඵලදායී ප්‍රයෝජන අහිමි කරගනු ලැබීය.
එහෙත්, ඊට හාත්පසින්ම වෙනස්ව වත්මන් කථානායකවරයාට එල්ල වී ඇත්තේ නාමික සුදුසුකමක ගැටලුවක් නොවේ. ඔහු ප්‍රසිද්ධියේම පොදු දේපළ බරපතළ ලෙස අවභාවිත කර ඇති බවටත්, සිය පුද්ගලික ලිංගික සහකරුවන් සහ හිතවතුන් හරහා රටේ උත්තරීතර පාර්ලිමේන්තුව විකාරරූපී ස්ථානයක් බවට පත්කර ඇති බවටත් බරපතළ චෝදනා එල්ල වී තිබේ. රටේ මූල්‍ය හා සදාචාර සම්පත් කෙළෙසමින් පාර්ලිමේන්තු පරිපාලනය කෙළෙසන මෙවන් බරපතළ චෝදනා හමුවේ ආණ්ඩුව නිරුවත් නිහඬතාවක ගැලී සිටින්නේ මන්ද?
හුදු උපාධි කඩදාසියක් නිසා අශෝක රංවලට ක්ෂණිකව දඬුවම් දුන් ආණ්ඩුව, පොදු දේපළ සහ ආයතනික ගෞරවය විනාශ කරමින් සිටින වත්මන් කථානායකවරයාට එරෙහිව එම පියවර නොගන්නේ ඇයිද යන්නට වහාම පිළිතුරු දිය යුතුය. අවංක මිනිසුන් දෘෂ්ටිවාද කරුණු මත බිලිදෙමින්, බරපතළ චෝදනා ලැබූවන් රැකීමට නීතිය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පවා පාවාදීම හරහා ආණ්ඩුවේ 'වෙනස' හුදු ප්‍රෝඩාවක් බව ජනතාවට තවදුරටත් රහසක් නොවේ.

