SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බලන්ගොඩ මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන්

බිලිඳෙකු අද (24) උදෑසන මියගොස් ඇති අතර, නොමේරූ ළදරුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා අත්‍යවශ්‍ය වන Beractant (Survanta) නමැති ඖෂධය රෝහල තුළ නොතිබීම මෙම මරණයට හේතු වූ බවට බරපතළ තොරතුරු වාර්තා වේ.

 

WhatsApp_Image_2026-11-24_at_09.43.jpeg

Pulmonary Surfactant ගණයට අයත් Beractant යනු නොමේරූ ළදරුවන්ගේ පෙණහලුවල ස්වාභාවිකව ප්‍රමාණවත් පරිදි නිපදවී නොමැති Surfactant රසායනිකය වෙනුවට ලබාදෙන අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයකි. නොමේරූ ළදරුවන් අතර ඇතිවන Neonatal Respiratory Distress Syndrome (RDS) හෙවත් නවජ ශ්වසන අපහසුතා තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා දරුවා ඉපදී පැය 06ක් ඇතුළත මෙම ඖෂධය ලබාදීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මේ වන විට වෛද්‍ය සැපයීම් අංශය තුළ මෙන්ම රජයේ රෝහල්වල ද මෙම ඖෂධයේ තොග ශූන්‍ය මට්ටමට පත්ව ඇති බවත්, රෝහල් මට්ටමින් ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදු කිරීම පවා අතිශය අසීරු වී ඇති බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

 

 

බලන්ගොඩ රෝහලේ මෙම ඛේදනීය සිදුවීමත් සමඟ, මෙරට මහත් ආන්දෝලනයට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ පස්වැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලන නිලධාරියා පසුගිය ඔක්තෝබර් 30 වැනිදා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ පී.එම්.ටී. බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඉදිරිපත් කළ විත්තිවාචකය යළිත් සමාජ අවධානයට ලක්ව තිබේ.

 

 

 

ඖෂධ හිඟය උග්‍රව පැවති වකවානුවේදී මසකට වයල් 250ක් අවශ්‍ය වූ Beractant ඖෂධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) තිබූ වයල් 25ක් ලිපිලේඛන පවා පසුවට තබා සිය පෞද්ගලික වියදමින් ත්‍රීරෝද රථයකින් ගෙනැවිත් රෝහල් වෙත යවා බිලිඳුන්ගේ ජීවිත බේරාගත් ආකාරය ඔහු එදා අධිකරණය හමුවේ හැඟුම්බරව ප්‍රකාශ කර තිබිණි.

 

 

එම අධිකරණ වාර්තාවේ දැක්වෙන පරිදි පස්වැනි විත්තිකරු Beractant ඖෂධය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය මෙසේය:-

"මොකද ඒ ලෙඩ්ඩුන්ට බෙහෙතක් අවශ්‍ය වෙලාවේදී දෙන්න බැරි වුණොත් අපි කොච්චර මෙතන අපි කොහොම රාජකාරි කරත් වැඩක් නැහැ ස්වාමීනි... බැරැක්ටන් කියලා බෙහෙතක් තියෙනවා ස්වාමීනි, ඒ බෙහෙත් දෙන්නේ පොඩි දරුවෙක් ඉපදුනායින් පස්සේ ඒ දරුවට හුස්ම ගන්න අමාරුවක් එනවා ස්වාමීනි සමහර දරුවන්ට. ඒ බැරැක්ටන් කියන බෙහෙත දරුවා ඉපදිලා පැය 06 ක් ඇතුළත ලබා දෙන්න ඕනේ ස්වාමීනි. ඒ බැරැක්ටන් කියන බෙහෙත ඒ දවස්වල තිබුණේ නැහැ. ඊටපස්සේ මම කතා කරලා ඉවර වෙලා ස්වාමීනි එම බෙහෙත වයල් 25යි. ලංකාවට වයල් 250ක් ඕන මාසෙකට. වයල් 25ක් ස්වාමීනි මම SPC ආයතනයට ගිහිල්ලා මට මගේ අධ්‍යක්ෂතුමා කපිල සර් මට ඒ වෙලාවේ කිව්වා ත්‍රීවීල් එකක් අරන් ගිහිල්ලා හරි ඔය බෙහෙත අරන් එන්න කියලා. මම ස්වාමීනි මම මගේ වියදමෙන් ත්‍රීවීල් එකක් අරන් ගිහිල්ලා බෙහෙත අරන් ඇවිල්ලා අපි එවලේ ඩොකියුමන්ට් ආවේ ඊටපස්සේ දවසේ ස්වාමීනි. ඒ බෙහෙත ගෙනල්ලා අපි රෝහල් වලට යවලා තියෙනවා මොකද බෙහෙතක් කියන එක ස්වාමීනි ඒක බෙහෙතින් බෙහෙත වෙනස් වෙනවා. ඒක අවශ්‍යතාවය මතුවෙන්නේ ඒ අවස්ථානුකූලව. ඉතින් අපි ඒ විදියට වැඩ කරලා ස්වාමීනි අපි ජීවිත බේරගෙන තියෙනවා."

 

 

තමන් රාජකාරි කළේ ඉතා කැමැත්තෙන් හා "පිං රස්සාවක්" ලෙස සලකා බව ද, රෝගීන් වෙත ඖෂධ කඩිනමින් පත් කිරීමේදී මනුෂ්‍යත්වයෙන් කටයුතු කළා මිස කිසිදු අවස්ථාවක බෙහෙත් සමඟ සෙල්ලම් කිරීමට තුන් හිතකවත් අදහසක් නොතිබූ බව ද ඔහු සිය විත්තිවාචකයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

 

 

එදා එම නිලධාරියා විසින් අධිකරණය හමුවේ අනාවරණය කරනු ලැබුවේ මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ සමාජයට බොහෝ විට නොපෙනී ගිය මානුෂීය පැතිකඩකි. උග්‍ර අර්බුදකාරී වකවානුවක පවා නිල ලිපිගොනු සම්පූර්ණ වන තුරු බලා නොසිට, සිය රාජකාරි වපසරියෙන් ඔබ්බට ගොස් අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් පෞද්ගලිකව මැදිහත් වූ නිලධාරීන් එදා පද්ධතිය තුළ දක්නට ලැබිණි.

 

 

එහෙත් අද වන විට එලෙස කටයුතු කළ නිලධාරීන් අධිකරණය හමුවේ විත්තිකරුවන් බවට පත්ව සිටින පසුබිමක, එවැනි උග්‍ර ආර්ථික අර්බුදයක් නොමැති වාතාවරණයක් යටතේ පවා ජීවිතාරක්ෂක ඖෂධ රෝහල් පද්ධතියෙන් සිඳී ගොස් අලුත උපන් බිලිඳුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වීම බරපතළ තත්ත්වයකි. නෛතික හා පරිපාලනමය ගැටලුවලට මුහුණ දීමට සිදුවේය යන බිය හේතුවෙන් නිලධාරීන් හදිසි මැදිහත්වීම්වලින් වැළකී, සිය පටු රාජකාරි සීමාවන්ට පමණක් කොටු වී කටයුතු කරන ප්‍රවණතාවක් පද්ධතිය තුළ නිර්මාණය වී ඇති බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලිව පෙනී යයි.

 

 

මෙම සිදුවීම සහ අදාළ ඖෂධ හිඟය සම්බන්ධයෙන් බලන්ගොඩ මූලික රෝහල් පරිපාලනය, වෛද්‍ය සැපයීම් අංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නිල පැහැදිලි කිරීමක් සඳහා පිළිතුරු දීමේ අයිතිය යටතේ සමාන ඉඩකඩක් ලබාදීමට අපි බැඳී සිටිමු.

 

 

නවතම ලිපි