මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය තුළ සේවා ස්ථානයේදී සිදුවන ලිංගික හිංසන සහ බලය
අවභාවිත කිරීම් සම්බන්ධ පැමිණිලිවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ බරපතළ බිඳවැටීමක් පවතින බවට නාගරික සංවර්ධන අධිකාරිය (UDA) කේන්ද්‍ර කරගනිමින් මතුව ඇති නවතම සිදුවීම ප්‍රබල සාක්ෂියකි. සියලු පුරවැසියන්ට ආරක්ෂිත පරිසරයක්, විනිවිදභාවය සහ අවංකභාවය තහවුරු කිරීම අරමුණු කරගත් "Clean Sri Lanka" වැනි සංකල්ප රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස ඉදිරියට ගෙන යන පසුබිමක, රාජ්‍ය ආයතන තුළින්ම මතුවන මෙවැනි බරපතළ චෝදනා හමුවේ පරිපාලන යාන්ත්‍රණය දක්වන උදාසීනත්වය බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතුය.
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මානව සම්පත්) සොලමන් සුමනසූරිය විමර්ශනයකට අදාළව අමාත්‍යාංශය වෙත මාරු කර යැවීමෙන් පසු සිය සේවය හැරයාම බැලූ බැල්මට විනය ක්‍රියාමාර්ගයක් ලෙස පෙනුණද, එහි අභ්‍යන්තරය පරීක්ෂා කිරීමේදී හෙළි වන්නේ අතිශය කනගාටුදායක යථාර්ථයකි.
ආයතනයේ තරුණ නිලධාරිනියකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් පසු එම කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කළද, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශන ක්‍රියාවලියක් පණගැන්වීමට සෑහෙන කාලයක් ගත වී තිබීම විශේෂයෙන් අවධානයට ලක් විය යුතු කරුණකි.
රාජ්‍ය ආයතන තුළ පහළ සේවකයෙකු අතින් සුළු වරදක් සිදු වූ විට ක්ෂණිකව ක්‍රියාත්මක වන ආයතන සංග්‍රහය, ඉහළ නිලධාරීන්ට එරෙහි බරපතළ ලිංගික හිංසන චෝදනා හමුවේ මෙලෙස කල් මැරීමෙන් සිදුවන්නේ පැමිණිලිකරුවන් අධෛර්යමත් වීම සහ චූදිතයන්ට සාක්ෂි යටපත් කිරීමට හෝ සිද්ධිය සමථයකට පත් කිරීමට අනවශ්‍ය කාලාවකාශයක් හිමිවීමයි.
මෙම ප්‍රමාදයටත් වඩා බරපතළ වන්නේ, දීර්ඝ කාලයකට පසු හෝ ආරම්භ කෙරුණු විමර්ශනයේදී අධිකාරිය අනුගමනය කර ඇති ‘තෝරාගත් යුක්තිය’ පිළිබඳ පිළිවෙතයි. අධිකාරියේ හිටපු සැලසුම් නිලධාරිනියක විසින් බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති නිල පැමිණිලි ලිපියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය දී කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර, එහි ඉහළ නිලධාරීන් තිදෙනෙකුගේ නම් ඍජුවම සඳහන් කර තිබේ.

ඒ අනුව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) ලලිත් විජේරත්න සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මානව සම්පත්) සොලමන් සුමනසූරිය යන අයගේ ක්‍රියාකලාපය පිළිබඳව එම ලිපියෙන් චෝදනා එල්ල කර ඇත. ළමා හා කාන්තා කාර්යාංශය විසින් සෙසු පුද්ගලයන්ගේ සම්බන්ධතාව පිළිබඳව ද අධිකාරිය වෙත දැනුම් දී තිබියදී, අධිකාරිය විමර්ශන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ සුමනසූරිය මහතාට එරෙහිව පමණක් වීම බරපතළ ගැටලුවකි.
නම් සඳහන් වූ තිදෙනා අතුරින් එක් අයෙකු පමණක් විමර්ශනයට ලක් කොට, ලලිත් විජේරත්න සහ එම්.පී. රණතුංග යන නිලධාරීන් දෙදෙනා කිසිදු ක්‍රියාමාර්ගයකට යටත් නොකර නිදහස්ව තැබීම හුදු අතපසුවීමක් ලෙස බැහැර කළ නොහැකිය. ආයතනයේ ඉහළම නිලධාරියෙකු සමඟ පවතින සමීප සබඳතා මෙම නොසලකා හැරීමට හේතු වී ඇති බවට අධිකාරියේ සේවකයින් නගන චෝදනාව හරහා පිළිබිඹු වන්නේ, රාජ්‍ය ආයතන තුළ නීතියේ ආධිපත්‍යය අභිබවා පුද්ගලික හිතවත්කම් ක්‍රියාත්මක වන ආකාරයයි. විශේෂයෙන්ම මෙම පැමිණිලි ලිපියේ නිල පිටපත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත සහ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ද යොමු කර තිබියදී, චෝදනා ලත් අනෙක් දෙදෙනා සම්බන්ධයෙන් පාලනාධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මගින් සිද්ධිය යටපත් කිරීමේ වුවමනාවක් තිබේද යන සැකය තවදුරටත් තහවුරු වේ.
මෙවැනි පැමිණිලි ප්‍රමාද කිරීම සහ පක්ෂග්රාහී ලෙස හැසිරවීම රාජ්‍ය සේවයේ මානව සම්පතට කෙතරම් විනාශකාරී ලෙස බලපාන්නේද යන්න හිටපු සැලසුම් නිලධාරිනියගේ ලිපියෙන් මනාව පැහැදිලි වේ. තමා මුහුණ දුන් දැඩි ලිංගික හිංසනය හේතුවෙන් තනතුරෙන් ඉල්ලා අස්වීමට තමාට බල කෙරුණු බව සඳහන් කරන ඇය, ලිංගික අල්ලස් ඉල්ලීම, නුසුදුසු ලිංගික ප්‍රකාශ සිදු කිරීම සහ සතුරු සේවා පරිසරයක් නිර්මාණය කිරීම අධිකාරියේ ඇතැම් ඉහළ නිලධාරීන් විසින් ක්‍රමානුකූලව සිදු කරනු ලබන බව පෙන්වා දෙයි.
චෝදනා ලත් නිලධාරීන් යටතේ සිටින සියලුම නියෝජ්‍ය අධ්යක්ෂවරියන් සහ සහකාර අධ්යක්ෂවරියන් කාන්තාවන් වන අතර, එම නිලධාරීන්ට අවනත වන අයට උසස්වීම් සහ ස්ථානමාරු වලින් ආරක්ෂාව වැනි වරප්‍රසාද හිමිවන බවත්, ඊට විරුද්ධ වන අයට දඬුවම් ලබා දෙමින් බිය හා බලපෑම් මත පදනම් වූ පරිසරයක් ගොඩනගා ඇති බවත් එම ලිපියේ දැක්වේ. මෙම දරාගත නොහැකි තත්ත්වය නිසා බොහෝ කාන්තා නිලධාරිනියන් දැඩි මානසික පීඩාවට පත්ව ආයතනය හැර යාමටත්, ඇතැම් අවස්ථාවලදී මෙරට පවා හැර යාමටත් පෙළඹී ඇති බව එහි සඳහන් වීමෙන් පෙනී යන්නේ, ආයතනික නොසැලකිල්ල හරහා රටට අහිමි වන්නේ වෘත්තීය සුදුසුකම් ලත් තරුණ නිලධාරිනියන්ගේ සේවය බවයි.
රාජ්‍ය ආයතන තුළ සිදුවන ලිංගික හිංසන පැමිණිලි කාලයාගේ ඇවෑමෙන් දියාරු වී යාමට ඉඩ හැරීමත්, බලපෑම් හමුවේ එක් අයෙකු පමණක් බිල්ලට දී සෙසු චූදිතයන් ආරක්ෂා කිරීමත් හරහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටේ. චෝදනා ලත් එක් පුද්ගලයෙකු සේවය හැර ගිය පමණින් ආයතනය තුළ මුල් බැසගෙන ඇති බලය අවභාවිත කිරීමේ සංස්කෘතිය අවසන් නොවන අතර, ඉතිරිව සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම මගින් අනාගතයේදී සේවා ස්ථානයේ හිංසනයට ලක්වන කාන්තාවන් පැමිණිලි ඉදිරිපත් කිරීමට පවා බිය වන පසුබිමක් නිර්මාණය වේ.
එබැවින් පැමිණිලිකාරිය ඉල්ලා සිටින පරිදි නම් සඳහන් සියලුම නිලධාරීන්ට එරෙහිව තරාතිරම හෝ පුද්ගලික සබඳතා නොතකා කඩිනම් හා අපක්ෂපාතී නීතිමය ක්‍රියාමාර්ග ගෙන සෙසු කාන්තාවන් මෙවැනි සූරාකෑම්වලින් ආරක්ෂා කිරීම, හුදු විනය ක්‍රියාමාර්ගයකට වඩා රාජ්‍ය සේවයේ ගෞරවය සහ විනිවිදභාවය රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි.

