SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ

බැංකු ගිණුම් අත්හිටුවීම හේතුවෙන් මේ වන විට එම ආයතනය සමඟ එක්ව වගා කටයුතු සිදු කළ ගොවි පවුල් දහසකට අධික සංඛ්‍යාවක් සහ සේවකයින් 4000කට අධික පිරිසක් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් මානුෂීය අයුරින් සලකා බලා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

 

 

අදාළ ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ තම ආයතනය සැබෑ ලෙසම භූමියේ වගා කටයුතු සිදුකරන කෘෂිකාර්මික ව්‍යාපෘතියක් මිස කිසිසේත්ම මූල්‍ය තැන්පතු භාරගන්නා ආයතනයක් නොවන බවයි. "අප ආයතනය බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් ද දිගින් දිගටම අප විසින් මහ බැංකුව වෙත ඇතුළු සියලු පාර්ශව වෙත දැනුම් දී අවශ්‍ය ලේඛන ඇතුළු විමර්ශන සඳහා අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දී ඇති බවත් දන්වා සිටිමි" යනුවෙන් එම ලිපියේ පැහැදිලිව උපුටා දක්වා ඇත.

 

 

 3c75e6c0-e9b2-4b6f-b691-c29e75bd26c9.jpeg

 

 

සමාගම විසින් නිකුත් කළ ලිපියේ තොරතුරු අනුව, ඔවුන් මේ වන විට අක්කර 1800කට අධික භූමි ප්‍රමාණයක වගා කටයුතු ව්‍යාප්ත කර තිබේ. එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල වර්ග අඩි ලක්ෂ 05කට ආසන්න පොලිටනල් හරිතාගාර පහසුකම් පවත්වාගෙන යන බවත්, දේශීය කෘෂි නිෂ්පාදන මැලේසියාව, චීනය වැනි රටවලට අපනයනය කරමින් විදේශ විනිමය පවා උපයා ඇති බවත් එහි සඳහන් වේ. මෙලෙස භෞතිකව විශාල කෘෂිකාර්මික නිෂ්පාදන ජාලයක් ගොඩනගා ඇති පසුබිමක 2026 අගෝස්තු 14 වන දින හදිසියේ ගිණුම් අත්හිටුවීමෙන් අස්වැන්න නෙළාගැනීමට, ගොවීන්ට මුදල් ගෙවීමට සහ සේවක වැටුප් ගෙවීමට නොහැකි වී ඇත.

 

 

බැංකු ගිණුම් අත්හිටුවීම හේතුවෙන් දෛනිකව ගොවීන්ගෙන් එළවළු සහ පලතුරු මිලදී ගැනීම, සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීම සහ නුවර, අලව්ව ප්‍රදේශවල අලුතින් ඉදිකරමින් පවතින කර්මාන්තශාලාවල වැඩකටයුතු ද මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. මෙම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී තම ජීවිකාව ගෙන යන දහස් ගණනක් වූ ගොවි ජනතාව සහ සේවකයින් පත්ව ඇති ඛේදවාචකය පිළිබඳව මානුෂිකව අවධානය යොමු කළ යුතුව ඇත.

 
 
 

 

තමන් කිසිදු මූල්‍ය වංචාවක් හෝ මහජන තැන්පතු ලබාගැනීමක් සිදුකර නොමැති බවට සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට සමාගම සූදානම් බැවින්, මෙම අර්බුදය විසඳා ගැනීමට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගම අදාළ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. ජාතික ආර්ථිකයට සහ කෘෂිකර්මාන්තයට සෘජු දායකත්වයක් ලබාදෙන මෙවැනි ව්‍යාපෘතියක් කඩා වැටීමට ඉඩ නොදී, ගොවීන්ගේ පැවැත්ම වෙනුවෙන් ඊට අදාළ විමර්ශන කඩිනම් කර සහනයක් ලබාදීම කාලීන අවශ්‍යතාවයක් බව මේ හරහා පැහැදිලි වේ.

 
 

නවතම ලිපි