ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ කුප්පි 6,195ක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක මහජන මුදල් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව, හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව මේ වන විට තීරණාත්මක සාක්ෂි විමසීමක් කරා එළඹ තිබේ.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම ගේ මෙහෙයවීමෙන් පැමිණිල්ලේ 339 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි ගෙන් විත්තියේ නීතිඥවරුන් සිදු කළ හරස් ප්‍රශ්න කිරීම් හරහා නඩුවට අදාළ පරිපාලනමය ක්‍රියාවලිය සහ විමර්ශනවල ස්වභාවය පිළිබඳව සෘජු සංවාද රැසක් අධිකරණය හමුවේ දිගහැරිණි.
කූට ලේඛන සහ දුරකථන සබඳතා පිළිබඳ හරස් ප්‍රශ්න කිරීම්
මෙම නඩුවේ හයවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන, විමර්ශන ක්‍රියාවලියේදී සොයාගත් කරුණු පිළිබඳව සාක්ෂිකරුගෙන් සෘජුවම විමසීම් කළේය.
නීතිඥ නුවන් ජයවර්ධන:
"මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර දෙක හමාරකට අධික කාලයක් ඔබ කළ විමර්ශනයේදී කුමන හෝ නිලධාරියකු විසින් ව්‍යාජ අත්සන් යොදා කූට ලේඛන සකසා තිබූ බවට අනාවරණයක් වුණාද?"
CID සාක්ෂිකරු:
"එවැන්නක් අනාවරණය වුණේ නෑ. අදාල නිළධාරීන් විසින් අත්සන් යොදා තිබූ එම ලේඛන භාරයට ගත්තා. එම ලේඛන ව්‍යාජ ලේඛන නොවෙයි."
නීතිඥ නුවන් ජයවර්ධන:
"එක සහ හය වන චූදිත අතර පුද්ගලික සම්බන්ධතාවයක් තිබුණ බවට වසර දෙකහමාරක් ඔබ කළ විමර්ශනවලදී අනාවරණය වුණාද?"
CID සාක්ෂිකරු:
"ලිපි පිළිබඳ විමර්ශනයේදී අනාවරණය වුණා. ඒ අනුව යම්කිසි හැඳින්වීමක් ඇති බවක් අනාවරණය වුණා. ඒවා රාජකාරී ලිපිද කියා විමර්ශනයක් සිදු කළා. රුධිර ප්ලාස්මා ලබා ගැනීම සඳහා ලේකම්ගේ නිර්දේශය ලබාදී තිබුණා."
නීතිඥ නුවන් ජයවර්ධන:
"මේ ලිපි හැර වෙනත් හැඳුනුම්කමක් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වුණාද?"
CID සාක්ෂිකරු:
"එවැන්නක් විමර්ශනයේදී අනාවරණය වුණේ නෑ."
මෙම සාක්ෂිය හරහා, නිලධාරීන් ව්‍යාජ අත්සන් යෙදීමක් හෝ පළමු චූදිත සමග පෞද්ගලික සබඳතා පැවැත්වීමක් විමර්ශනවලින් සනාථ වී නොමැති බව විත්තිය විසින් අධිකරණයට අවධාරණය කළේය.
මාස 6-9ක තොග පවත්වාගන්න දුන් උපදෙස් සහ WOR සහතික
පස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ, ඖෂධ භාරගැනීමේ ක්‍රියාවලිය සහ තොග පාලන නිලධාරීන්ගේ රාජකාරී වගකීම් පිළිබඳව හරස් ප්‍රශ්න යොමු කළ අතර, එහිදී විනිසුරු මඩුල්ල ද ඊට මැදිහත් විය.
නීතිඥ අශෝක සේරසිංහ:
"එම රිටොප්සිමැබ් ඖෂධ තොගය භාරගන්නා විට මාස හතකට පමණ ප්‍රමාණවත් තොග තිබූ බවට මා යෝජනා කරනවා."
CID සාක්ෂිකරු:
"ස්වාමීනි, රිටොප්සිමැබ් පිළිකා නාශක ඖෂධයක්. හත්වන චූදිත මාස 6-9 අතර කාලයකට එම තොගය පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබාදී තිබුණා. ඒ වනවිට මාස හයකට අඩු තොග ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ බවට නිශ්චිතවම කිව හැකියි."
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ:
"ඔබ කිව්වා නේද හත්වන චූදිත තොග තබා ගැනීමට උපදෙස් දුන් බවට? ඒක කොහොමද අනාවරණය වුණේ?"
CID සාක්ෂිකරු:
"ස්වාමීනි ඔහුගේ අත් අකුරෙන්ම ලියූ ලිපියක් සොයාගත්තා... පැය 401 ලේඛනය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තොග පාලක නිලධාරී, සහකාර අධ්‍යක්ෂක සහ අධ්‍යක්ෂකට දැනුම් දී ඇති බවත් ඔහුගේ අත්අකුරෙන්ම ලියූ බවත් අනාවරණය කරගත්තා."
නීතිඥ අශෝක සේරසිංහ:
"ඔබ කියන්නේ ඊට පූර්ව අවසරය තිබූ බවද?"
CID සාක්ෂිකරු:
"ඔව් ස්වාමීනි, ඔහු දන්වා තිබෙනවා, සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ගත් තීරණයක් අනුව මාස 6-9ක තොග පවත්වාගෙන යා යුතු බවට."
එහෙත්, ඖෂධ භාරගැනීමේදී පැවති ලේඛනමය අඩුපාඩු සම්බන්ධයෙන්ද නීතිඥවරයා සහ සාක්ෂිකරු අතර සංවාදයක් ඇති විය.
නීතිඥ අශෝක සේරසිංහ:
"ඖෂධ භාරගන්නා විට ඒවා භාර දිය යුතු දිනය (WOR) ඉකුත් වෙලා නේද?"
CID සාක්ෂිකරු:
"එසේය ස්වාමීනී... WOR ලේඛනය වලංගු කාලය ඉකුත් වී තිබූ අතර COA සහතිකය නිසි ලෙස පරීක්ෂා කිරීමක් සිදු කර නොතිබුණා."
නීතිඥ අශෝක සේරසිංහ:
"නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ලිපිය අනුව තමයි එය සිදුකර තිබුණේ. ඒ සඳහා මුදල් ගෙවීම් දක්වා ගොස් තිබෙනවා. ඒ කිසිදු අවස්ථාවක ඒ වැරදියි කියලා (ඉහළින්) තිබුණෙ නෑ නේද?"
CID සාක්ෂිකරු:
"එම තොග භාර ගැනීමට (වෙනම) අවසරයක් අවශ්‍ය බව විමර්ශනයේදී අනාවරණය වූයේ නෑ."
ඖෂධ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සහ නිලධාරීන්ගේ පුහුණුව
තෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන, ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නෛතික වගකීම සහ නිලධාරීන්ගේ නිපුණතාවය පිළිබඳව ප්‍රශ්න කළේය.
නීතිඥ ඉසුරු ජයවර්ධන:
"COA ලේඛන පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලක නිලධාරීන් සහ සහකාර අධ්‍යක්ෂවරුන්ට යම් පුහුණුවක් ලබා දී තිබූ බවක් අනාවරණය වුණාද?"
CID සාක්ෂිකරු:
"එවැනි පුහුණුවක් ලබා දී තිබූ බවක් අනාවරණය වුණේ නෑ. එහෙත් COA සහතිකය required document එකක් ලෙස හඳුනා ගත යුතුව තිබුණා."
නීතිඥ ඉසුරු ජයවර්ධන:
"Quality, safety, efficacy යන කටයුතු කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) බව ඔබ දන්නවාද?"
CID සාක්ෂිකරු:
"අදාළ පනතෙහි ඒ බව සඳහන් වෙනවා."
හරස් ප්‍රශ්න කිරීම් අතරතුර පැමිණිල්ල විසින් ගොනු කර ඇති මූල්‍ය වටිනාකම් පිළිබඳව ද කරුණු තහවුරු විය. මෙම නඩුවට අදාළ ඖෂධ දෙකෙන් වැඩිම ගෙවීමක් කර ඇත්තේ රිටොක්සිමැබ් ඖෂධයට බවත් (රු. මිලියන 107කට වැඩි), හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය වෙනුවෙන් රුපියල් මිලියන 36කට වැඩි ප්‍රමාණයක් ගෙවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ ඇතුළු ප්‍රබල සාක්ෂිකරුවන් 350ක් සහ නඩු භාණ්ඩ 300ක් පමණ ගොනු කර ඇති මෙම නඩුව තුළ, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින පරිපාලනමය දුර්වලතා පිළිබඳව පැමිණිල්ල කරුණු දක්වද්දී, ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය සහ කූට ලේඛන නොමැති වීම හරහා තම නිර්දෝෂීභාවය තහවුරු කිරීමට විත්තිය ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටින බව මෙම සාක්ෂි විභාගය මගින් මනාව පිළිඹිබු වේ.
(අධිකරණ වාර්තාව මූලාශ්‍ර උපුටාගැනීම - ද ලීඩර්)

