SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) මූල්‍ය කාර්යසාධනය වරින් වර පත්වූ අමාත්‍යවරුන්ගේ

දක්ෂතාව හෝ අදක්ෂතාව මත පමණක් තීරණය වන්නක් නොවන බවත්, එය විදුලි උත්පාදන පිරිවැය, පද්ධති හානි, කළමනාකරණ කාර්යක්ෂමතාව, ප්‍රාග්ධන වියදම්, සහනාධාර සහ විදුලි ගාස්තු ප්‍රතිපත්තිය යන සාධක රැසක සංකලනයෙන් හැඩගැසෙන බවත් හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය සහ විදුලි ඉංජිනේරු පාඨලී චම්පික රණවක පවසයි.

 

 

ඊයේ සමාජ මාධ්‍ය සටහනක් තබමින් පාඨලී පෙන්වා දී ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත වියදමෙන් සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයක් විදුලි උත්පාදන පිරිවැය වෙනුවෙන් වැය වන බවයි. ඒ අනුව, මණ්ඩලය ලාභ ලබන්නේද නැතහොත් පාඩු ලබන්නේද යන්න තීරණය කිරීමේදී ඉන්ධන මිල, විනිමය අනුපාතයේ වෙනස්වීම්, ජල විදුලි උත්පාදන හැකියාව සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය තීරණාත්මක සාධක වන බව ඔහු සඳහන් කරයි.

 

සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ හානි, කළමනාකරණ දුර්වලතා, විදුලි සොරකම්, ප්‍රසම්පාදන අක්‍රමිකතා සහ පරිපාලනමය අකාර්යක්ෂමතා ද වසර ගණනාවක් පුරා මණ්ඩලයේ මූල්‍ය දුෂ්කරතා සඳහා බලපා ඇති බව ඔහු පවසයි.

 

පද්ධති හානි අවම කර ගැනීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව පෙන්වා දෙන හිටපු ඇමතිවරයා, 1970 වසරේදී සියයට 15.7ක්ව පැවති පද්ධති හානිය විදුලියනය පුළුල් වීම සහ යුද්ධය ඇතුළු අමතර පීඩනයන් හමුවේ 1999 වසර වන විට සියයට 20.8 දක්වා ඉහළ ගිය බව සිහිපත් කළේය. කෙසේ වෙතත්, 2010 වසරේ සිට හඳුන්වා දුන් වැඩිදියුණු කිරීම් හේතුවෙන් සියයට 15ක් පමණව පැවති එම හානිය සියයට 9 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ඔහු සඳහන් කරයි.

 

විශේෂයෙන් ඉන්ධන සහ උපකරණ ප්‍රසම්පාදනය, වැටුප්, කාර්යාලීය වියදම් සහ ප්‍රවාහන වියදම් යන ක්ෂේත්‍රවල පවතින අභ්‍යන්තර අකාර්යක්ෂමතා, දූෂණ සහ පරිපාලන දුර්වලතා ලංවිම මූල්‍ය කාර්යසාධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන බව පාඨලී පවසයි. අමාත්‍යවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල විසින් ගනු ලබන තීරණ මත එම වියදම් අඩු කිරීමට හෝ තවදුරටත් ඉහළ යාමට හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

 

නව විදුලි බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල, විදුලි උපපොළවල් සහ නවීකරණ වැඩසටහන් සඳහා දරනු ලබන ප්‍රාග්ධන වියදම් මෙන්ම වීථි ලාම්පු, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන් සහ ඇතැම් රාජ්‍ය ආයතන වෙත ලබාදෙන සහනාධාර ද මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය කෙරෙහි බලපාන බව ඔහු සඳහන් කරයි.

 

ඉහළ යන විදුලි ඉල්ලුමට මුහුණ දීම සඳහා ඉල්ලුම කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් ප්‍රමුඛතාවක් ලබා නොදී, දිගු කාලයක් පුරා විදුලි උත්පාදන ධාරිතාව පුළුල් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා විවේචනය කරයි.

 

විදුලියනය පුළුල් වීමත් සමඟ රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 6,000 ඉක්මවනු ඇතැයි පෙර පුරෝකථනය කර තිබුණද, 2011-12 කාලසීමාවේදී CFL සහ LED විදුලි බුබුළු හඳුන්වා දීම සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා ක්‍රියාත්මක කළ ඉල්ලුම කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් 2010 සිට 2025 දක්වා කාලය තුළ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 3,000ට වඩා අඩු මට්ටමක තබා ගැනීමට හැකි වූ බව ඔහු පෙන්වා දෙයි.

 

කෙසේ වෙතත්, 2016 සහ 2026 වසරවලදී ආරම්භ කළ ඉල්ලුම කළමනාකරණ ව්‍යාපෘති අසාර්ථක වූ බවට පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

 

පිරිවැයට සරිලන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට දේශපාලනික වශයෙන් දක්වන මැලිකම ද වරින් වර ලංවිම මූල්‍ය අස්ථාවරත්වයට පත්වීමට හේතු වී ඇති බව ඔහු පවසයි.

 

2011-12 කාලයේ ඇති වූ නියං තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය පහත වැටී තාප විදුලි උත්පාදනය මත වැඩි වශයෙන් යැපීමට සිදු වූ අතර, එම කාලයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලීටරයක මිල රුපියල් 28 සිට රුපියල් 90 දක්වා තියුණු ලෙස ඉහළ දැමූ බව ඔහු සිහිපත් කළේය.

 

2013 මාර්තු මාසයේදී හඳුන්වා දුන් විදුලි ගාස්තු සංශෝධන මගින් ලංවිම මූල්‍ය ස්ථාවරත්වය යළි ඇති කිරීමට හැකි වූ නමුත්, 2016 සිට 2022 දක්වා කාලය තුළ දේශපාලන බලපෑම් මත ගනු ලැබූ ගාස්තු තීරණ මණ්ඩලය පාඩු ලැබීමට හේතු වූ බව ඔහු පවසයි.

 

ආර්ථික අර්බුදයෙන් අනතුරුව 2022 වසරේදී විදුලි ගාස්තු සියයට 75කින් ද, 2023 මාර්තු මාසයේදී තවත් සියයට 65කින් ද ඉහළ දැමුණු අතර, 2022-24 කාලසීමාව තුළ විදුලි මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගියේය.

 

මෙම ගාස්තු ඉහළ දැමීම් පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට දැඩි බරක් වූ බව පවසන හිටපු බලශක්ති ඇමතිවරයා, විදුලි පාරිභෝගිකයන් මිලියන 1.2කට පමණ සිය බිල්පත් ගෙවා ගත නොහැකිව විදුලිය විසන්ධි කිරීම්වලට මුහුණ දීමට සිදු වූ බවත්, විදුලි පිරිවැය සහ සෙසු ආර්ථික පීඩනයන් හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලින් සියයට 20ක් පමණ වැසී ගිය බවත් සඳහන් කරයි.

 

විනිමය අනුපාතය ස්ථාවර වීම, ජාත්‍යන්තර පීඩන ලිහිල් වීම සහ සමස්ත ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මෙන්ම ලංවිම පරිපාලනයේ ඇති වූ වැඩිදියුණු කිරීම් හේතුවෙන් වඩාත් ස්ථාවර මූල්‍ය පරිසරයක් නිර්මාණය වූ බවත්, 2024 වසරේදී විදුලි ගාස්තු අඩු කිරීමට එය මග පෑදූ බවත් ඔහු පවසයි.

 

කෙසේ වෙතත්, නව පාලනය යටතේ 2025-26 කාලසීමාව තුළ විදුලි ගාස්තු යළිත් සියයට 54කින් පමණ ඉහළ දමා ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

 

ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් ඇති වූ පරිපාලනමය බාධාවන් සහ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවෙන් සිදු වූ මූල්‍ය අලාභයන් ඇතුළු තවත් කරුණු කිහිපයක් 2026 වසරේදී මණ්ඩලය පාඩු ලැබීමට හේතු වී ඇති බව පාඨලී ප්‍රකාශ කරයි.

 

2025-26 කාලසීමාව තුළ පැවති හිතකර ජල පෝෂක තත්ත්වයන් හේතුවෙන් මණ්ඩලය තවදුරටත් විශාල පාඩු ලැබීමෙන් ආරක්ෂා වූ බව පවසන ඔහු, ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ජලය නොතිබුණේ නම් මූල්‍ය ප්‍රතිඵලය මීට වඩා බෙහෙවින් අයහපත් වීමට ඉඩ තිබූ බව ද අවධාරණය කරයි.

 

එබැවින් ලංවිම මූල්‍ය කාර්යසාධනය හුදෙක් අමාත්‍යවරයෙකුගේ හෝ රජයක කාර්යසාධනය මනින මිනුම්දණ්ඩක් ලෙස පමණක් නොසලකා, ව්‍යුහාත්මක, මෙහෙයුම්, ආර්ථික සහ දේශපාලනික යන බහුවිධ සාධක පදනම් කරගනිමින් ඇගයීමට ලක් කළ යුතු බව හිටපු අමාත්‍යවරයා පවසයි.

 

1970 සිට 2014 දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් තමන් විසින් රචිත කෘතියට ඇතුළත් කර ඇති බව ද පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

මූලාශ්‍ර - TheIsland

නවතම ලිපි