SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බාල බෙහෙත් නඩුවේ විමර්ශන නිලධාරියාගේ සාක්ෂිය දැඩි ප්‍රහාරයකට!

 

 

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් ලක්ෂ 1,444 ක මහජන මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව, විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂිවල පවතින හිඩැස් සහ පැමිණිල්ලේ ප්‍රශ්න කිරීම්වල ඇති නැඹුරුතාවයන් මනාව නිරාවරණය කළ තීරණාත්මක දිනයක් බවට පත්විය.

 

 

ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ විමර්ශන අංශය - 1 හි පොලිස් පරීක්ෂක එරංග ප්‍රභාෂ් ලක්සිරි ය. 2013 දී පොලිසියට බැඳී ග්‍රෑන්ඩ්පාස් සහ කෙසෙල්වත්ත පොලිසිවල අපරාධ අංශ ස්ථානාධිපති ලෙස අපරාධ 500 කට අධික ප්‍රමාණයක් විමර්ශනය කර ඇති බවත්, සංවේදී සිදුවීම් විමර්ශනය කරන CID අංක 1 විමර්ශන අංශයට ඔහු අනුයුක්ත කළ බවත් ඔහු සාක්ෂි දෙමින් පැවසීය. පැමිණිල්ලේ 339 වැනි සාක්ෂිකරු ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම ගේ මෙහෙයවීමෙන් ඔහු සාක්ෂි ලබා දුන් අතර, එහිදී විත්තියේ නීතිඥවරුන් විසින් පැමිණිල්ලේ කූට ප්‍රශ්න කිරීම් මාලාවක් යුක්තිසහගතව සහ තාර්කිකව ඛණ්ඩනය කිරීමට සමත් විය.

 

බාල බෙහෙත් නඩුව 'කෙහෙළියගේ ගෙදරටම' ගෙන යන්නේ ඇයි?: අධිකරණය අලුත්කඩෙන් විජේරාම මාවතට ගෙන යාමෙන් විත්තිය අර්බුදයක?

 

 

"සම්මත" සහ "අසම්මත" අතර පැටලුණු පැමිණිල්ලේ සූක්ෂ්ම ප්‍රශ්නයට විත්තියෙන් හරස් කපයි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විමසූ අවස්ථාවේදී, ඉතා සූක්ෂම ලෙස විත්තිකරුවන්ට එරෙහිව පූර්ව නිගමනයක් ගොඩනැගීමට උත්සාහ කළාය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය

"සම්මත ප්‍රසම්පාදන ක්‍රමයෙන් පරිබාහිරව සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රමයක් තිබූ බවට තොරතුරු අනාවරණය කරගත්තේ කෙසේද?"

 

මෙම ප්‍රශ්නයත් සමඟම වහාම නැගී සිටි විත්තියේ නීතිඥ අමිත ආරියරත්න, පැමිණිල්ලේ මෙම වචන භාවිතය තුළ ඇති අතිශය භයානක නෛතික බලපෑම අධිකරණයට පෙන්වා දුන්නේය.

 

නීතිඥ අමිත ආරියරත්න

"ස්වාමීනී, 'සම්මත' ප්‍රසම්පාදන ක්‍රමය යන්න භාවිතා කරමින් ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් මම දැඩි විරෝධය පළ කරනවා. සම්මත යන වචනයේ විරුද්ධාර්ථය 'අසම්මතය' යන්නයි. මෙලෙස ප්‍රශ්න ඇසීම තුළින්, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමයෙන් පරිබාහිරව කරන ලද සියලුම ප්‍රසම්පාදනයන් අසම්මත හෙවත් නීතිවිරෝධී බවට හැඟවීමක් කරනවා."

 

 

 

විත්තියේ මෙම තර්කය අතිශය යුක්තිසහගත වූ අතර, එය පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ලට දන්වා සිටියේ "සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය" යනුවෙන් නිවැරදි පාරිභාෂිතය භාවිතා කරමින් ප්‍රශ්න විමසීම සිදුකරන ලෙසයි. මෙය පැමිණිල්ලට එල්ල වූ බරපතළ නෛතික ප්‍රහාරයක් වූ අතර, විමර්ශන නිලධාරියා ලවා විත්තිකරුවන්ගේ ක්‍රියා පටිපාටිය 'අසම්මත' යැයි හංවඩු ගැසීමට දැරූ උත්සාහය ඉන් ව්‍යර්ථ විය.

 

 

බාල ඖෂධ නඩුවේ තීරණාත්මක හෙළිදරව්වක්!!! වවුචර අනුමත කිරීමේ ජාලය සහ සැපයුම්කරු සමග ගත් ඇමතුම් 180ක අභිරහස

 

 

සාක්ෂිවලින් තහවුරු නොවූ කරුණු කීමට යාම සහ නීතිඥ නයන්ත විජේසුන්දරගේ දැඩි විරෝධය!

EOI (Expression of Interest) ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගැනීම පිළිබඳව සාක්ෂි ලබා දෙමින් CID නිලධාරියා ප්‍රකාශ කළේ, EOI ක්‍රමවේදය භාවිතා කිරීමට අදාළව සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවති බවට තොරතුරු අනාවරණය වූ බවයි.

 

එම අවස්ථාවේදී අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නයන්ත විජේසුන්දර දැඩි විරෝධයක් මතු කරමින්, සාක්ෂිකරුගේ මෙම පදනම් විරහිත ප්‍රකාශය ඛණ්ඩනය කළේය.

 

නීතිඥ නයන්ත විජේසුන්දර

"ස්වාමීනී, අදාළ රැස්වීම සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති බවට කරන ප්‍රකාශය සම්බන්ධයෙන් මම බලවත් විරෝධය පළ කරනවා. එවැන්නක් මෙතෙක් ඉදිරිපත් වූ කිසිදු සාක්ෂියකින් අනාවරණය වී නෑ. ඒ නිසා මේ ප්‍රකාශයට මා විරුද්ධ වෙනවා!"

 

 

සාක්ෂිකරුවන් විසින් තහවුරු නොකළ, හුදෙක් විමර්ශන නිලධාරියාගේ උපකල්පන මත පදනම්ව අමාත්‍යවරයාව ඈඳීමට දැරූ උත්සාහය නීතිඥ නයන්ත විජේසුන්දර ගේ නිවැරදි මැදිහත්වීම මත එලෙස අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට ලක්විය.

 

 

සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න ඔබට බැහැ!" නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරියට මහාධිකරණයෙන් අවවාද!

 

 

මුල් පැමිණිලිකරුවන් සාක්ෂියට නොකැඳවීම පිටුපස ඇති අභිරහස

CID නිලධාරියා සිය සාක්ෂියේදී තහවුරු කළේ, මෙම විමර්ශනය ආරම්භ වූයේ එවකට සෞඛ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික උපදේශකවරයෙකු වූ සංජීව ජෙරාඩ් පෙරේරා සහ ගාමිණී කාමන්ත (අල්ලස දූෂණය හා නාස්තිය පිටු දැකීමේ සංවිධානය) යන අයගේ ලිඛිත පැමිණිලි දෙකක් මත බවයි. තීරණාත්මක WOR සහතිකයේ පිටපත් පවා විමර්ශකයන්ට ලැබී තිබුණේ එම මුල් පැමිණිලි හරහාය.

 

මෙහිදී තවත් බරපතළ නෛතික ගැටලුවක් මතු කළ නීතිඥ අසේල සේරසිංහ, පැමිණිල්ලේ පවතින පරස්පරතාවයක් අධිකරණයට පෙන්වා දුන්නේය.

 

නීතිඥ අසේල සේරසිංහ

"ස්වාමීනී, මෙම මුල් පැමිණිලිකරුවන් දෙදෙනාව මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස කැඳවා නැහැ. ඔවුන් සාක්ෂිය සඳහා කැඳවීම පැමිණිල්ලේ වගකීමක් සහ රාජකාරියක්!"

 

 

මේ හරහා විත්තිය මහාධිකරණයට පෙන්වා දුන්නේ, සමස්ත විමර්ශනයටම පදනම් වූ මුල් පැමිණිලිකරුවන්ව හරස් ප්‍රශ්න ඇසීමට විත්තියට ඇති අයිතිය පැමිණිල්ල විසින් හිතාමතාම මගහැර ඇති බවයි. පැමිණිල්ලට අවශ්‍ය වුවහොත් ඔවුන්ව කැඳවිය හැකි බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළද, නඩුවේ පදනම සැකසූ පුද්ගලයින්ව මගහැර යාම විත්තියේ සැකයට බඳුන් විය.

 

 

බාල ඖෂධ නඩුවේ තීරණාත්මක හෙළිදරව්වක්!!! වවුචර අනුමත කිරීමේ ජාලය සහ සැපයුම්කරු සමග ගත් ඇමතුම් 180ක අභිරහස

 

විමර්ශන ක්‍රියාවලිය, අතුරුදන් ගොනු සහ NMRA හි හිඩැස්

2022 ඔක්තෝබර් 03 වන දින එවකට NMRA ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර (12 වන විත්තිකරු) විසින් මෙම ඖෂධයෙන් ජාතික රෝහලේ රෝගීන්ට ඇතිවූ සංකූලතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබූ බව විමර්ශන නිලධාරියා කීය. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ WOR (Waiver of Registration) පිටපත් සහිත ගොනු දෙකක් වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) තිබූ බවත්, ඉන් එකක් තොග පාලක විසින්ද අනෙක අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක (02 වන විත්තිකරු) විසින්ද පවත්වාගෙන ගොස් ඇති බවත්ය. සැපයුම්කරුට ගෙවීම් කළ ගොනුව (පැ 134) සැපයුම් ගණකාධිකාරී අංශයේ තිබී සොයාගෙන ඇත.

 

 

සංකූලතා වාර්තා වූ විට කඩිනමින් පියවර ගත යුත්තේ NMRA ආයතනය වුවද, SafRAC (ප්‍රමිති සහ ඖෂධ අනුමත කිරීමේ විශේෂඥ කමිටුව) කමිටුවට ඒ බව දැනුම් දී නොතිබූ බව අනාවරණය විය. එහෙත් එම කමිටුවේ සාමාජික වෛද්‍ය රජීව ද සිල්වා සහ NMQAL හි අධ්‍යක්‍ෂවරයා අදාළ ඖෂධය ඉවත් කිරීමට හා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබූ බව සාක්ෂිකරු පිළිගත්තේය. MSD අධ්‍යක්ෂවරයා ඊට පියවර ගත් බවට තොරතුරු අනාවරණය නොවූ බවද ඔහු කීය.

 

 

22,500 ටෙන්ඩරයෙන් 3,985 ක් සැපයීම සහ රුධිර ප්ලාස්මා මිලදී ගැනීම

ඖෂධ ප්‍රසම්පාදනයේ සැබෑ තත්ත්වය පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් මෙහිදී හෙළි විය.

 

සමාගම් නාමයේ වෙනස -

ප්‍රදානය 'අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ්' නැමති සමාගමට ලබා දී තිබුණද, ගැනුම් ඇනවුම් (PO) සහ චෙක්පත් නිකුත් කර ඇත්තේ 'අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී' නැමති කේවල ව්‍යාපාරයකට බව අනාවරණය විය.

 

ප්‍රමාණයේ පරස්පරතාව සහ ප්ලාස්මා -

ඉමියුනෝග්ලොබියුලීන් වයල් 22,500 කට ටෙන්ඩරය ලබා දී තිබුණද, ඉන්වොයිස් 14 ක් යටතේ සපයා ඇත්තේ වයල් 3,985 ක් පමණි. ඊට සමානුපාතිකව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් රුධිර ප්ලාස්මා මිලදී ගැනීමක් පළමු විත්තිකරු සුදත් ජානක ප්‍රනාන්දු විසින් සිදුකර තිබූ බව CID නිලධාරියා කීය. රිටොක්සිමැබ් ඖෂධයද ඉන්වොයිස් 4 ක් යටතේ අවස්ථා දෙකකදී සපයා තිබිණි.

 

 

බාල බෙහෙත් නඩුව 'කෙහෙළියගේ ගෙදරටම' ගෙන යන්නේ ඇයි?: අධිකරණය අලුත්කඩෙන් විජේරාම මාවතට ගෙන යාමෙන් විත්තිය අර්බුදයක?

 

 

EOI ක්‍රමවේදය සහ විදේශගත වූ සාක්ෂිකරුවා

මෙම ඖෂධ මිලදී ගැනීම් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (ICL - ඒ සඳහා මිලියන 200 ක් වෙන් කර තිබිණි) යටතේ සිදු නොවූ බවත්, එය කැබිනට් පත්‍රිකාවක් හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රසම්පාදනය (EOI) යටතේ සිදුකළ බවත් සාක්ෂියේදී තහවුරු විය. කෙසේ වෙතත්, හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2022/07/16 ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණද, ඊට ඖෂධ ඇතුළත් වී නොතිබූ බවද සාක්ෂිකරු කීය.

 

 

  • EOI යටතේ ඖෂධ 285 ක් ලබාගැනීමට ප්‍රකාශ කළද, ඇනවුම් ලැයිස්තු සකසා නොතිබූ බවත්, ඉන් 158 කට පමණක් ගැනුම් ඇනවුම් නිකුත් කර විමර්ශනය අරඹන විට ඖෂධ 45 ක් ලැබී තිබූ බවත් අනාවරණය විය.

 

  • මේ සඳහා වූ ප්‍රසම්පාදන ඇගයුම් කමිටු සාමාජිකයෙකු වූ MSD හි වෛද්‍ය ජයනාත් බුත්පිටිය (ඔහුගෙන් CID ය ඡායා පිටපත් ලබාගෙන තිබිණි) මාස තුනක නිවාඩු ලබා විදේශගත වී ඇති බවත් ඔහු මෙතෙක් යළි නොපැමිණි බවත් සාක්ෂිකරු අධිකරණයට දැනුම් දුන්නේය.

 

 

නඩුවේ පළමු විත්තිකරුට අයත් සීදුව කර්මාන්ත ශාලාව මහේස්ත්‍රාත් වරෙන්තුවක් මත පරීක්ෂා කිරීමට ගියද විදුලිය නොමැති වීමෙන් එය අසාර්ථක වූ බවත්, පසුව විත්තිකරු බන්ධනාගාරයෙන් ගෙන්වාගෙන එය නිරීක්ෂණය කළ බවත් ඔහු පැවසීය.

 

 

සමස්තයක් ලෙස ගත් කල, CID විමර්ශන නිලධාරියාගේ සාක්ෂිය හරහා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව සිය තර්කය ගොඩනැගීමට උත්සාහ කළද, විත්තියේ නීතිඥවරුන් වන නයන්ත විජේසුන්දර, අමිත ආරියරත්න සහ අසේල සේරසිංහ ගේ තර්කානුකූල මැදිහත්වීම් හමුවේ, පැමිණිල්ල ගොඩනගන ආඛ්‍යානයේ පවතින පරස්පරතා සහ සාක්ෂිවල ඇති හිඩැස් මහාධිකරණයේ අවධානයට මනාව ලක් විය.

 

නවතම ලිපි