වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා ඩොලර් බිලියන 3.8ක් වැය කරමින්
වාහන ලක්ෂ 8කට වඩා ගෙන්වා ඇති බව ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ප්‍රකාශ කළේ මහත් ආඩම්බරයකිනි. ණයවර ලිපි (LC) සඳහා ඩොලර් බිලියන ගණනින් මුදල් වෙන් කර ඇති බව ද ඔහු එහිදී පැවසීය. නමුත් යථාර්ථය නම්, රට තුළට එන සෑම වාහනයක්ම අපේ රටේ ඩොලර් සංචිත තවදුරටත් පිටරටට ඇද දමන බව ආණ්ඩුවට අමතක වී තිබීමය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ දත්ත විශ්ලේෂණය කිරීමේදී ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ ඇති හිස්බව මනාව පැහැදිලි වේ. 2026 වසරේ මේ දක්වා මෝටර් රථ 79,000ක්, යතුරුපැදි 317,000ක් සහ ත්‍රිරෝද රථ 40,000ක් ගෙන්වා තිබේ. නමුත් පොදු ප්‍රවාහනය සඳහා ගෙන්වා ඇති බස් සහ වෑන් රථ සංඛ්‍යාව 3,148ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. 2025 වසරේ තත්වයද මීටම සමානය. මින් ගම්‍ය වන්නේ රටේ ජාතික ධනයෙන් අතිවිශාල ප්‍රතිශතයක් වැය කර ඇත්තේ නිෂ්පාදන කර්මාන්තයට හෝ පොදු ප්‍රවාහනයට නොව, පුද්ගලික පරිභෝජනය සඳහා බවයි.
මෙම අතිවිශාල වාහන තොගය රටට ගෙන එන්නේ දැඩි පාරිසරික සහ යටිතල පහසුකම් අර්බුදයකි. දැනටමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල පවතින්නේ දරාගත නොහැකි මාර්ග තදබදයකි. මේ එන "කාර් වසංගතය" හේතුවෙන් අනාගතයේදී ශ්‍රී ලංකාවේ මාර්ග ඝනත්වය සම්පූර්ණයෙන්ම වසා ගනු ඇත. අනෙක් අතට ඩොලර් දී ගෙනෙන මේ වාහන මගින් තවදුරටත් ඩොලර් ගෙවා ගෙනෙන තෙල් දහනය කරමින් පරිසරයට මුදාහැරෙන අතිවිශාල කාබන් ප්‍රමාණය ගැන කිසිදු කතිකාවතක් නැත.
රට පාලනය කරන්නන් නිරතුරුව පෙන්වා දෙන දියුණු යැයි කියන රටවල වර්තමාන ප්‍රවණතාවය වන්නේ පුද්ගලික වාහන භාවිතය අවම කර, පොදු ප්‍රවාහනය වඩාත් ස්මාර්ට් සහ පහසු කිරීමය. පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබියදීත්, ආණ්ඩුව තවමත් පාරිභෝගිකවාදී සහ ධනවාදී කතිකාවක සිරවී මෝහනයට පත්ව සිටී. විශාල වාහන ප්‍රමාණයක් පාරට බැස්සවීම සංවර්ධනය යැයි සිතීමම ඛේදවාචකයකි.
වාහන ගෙන්වූවත් රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 6.9 මට්ටමේ පවතින බව පවසමින් ආණ්ඩුව පපුවට ගසා ගත්තද, ප්‍රශ්නය ඇත්තේ එම මුදල් ආයෝජනය කරන දිශානතියේය. තීරණ ගත හැකි බිමල් රත්නායක වැනි ශක්තිමත් ප්‍රවාහන ඇමතිවරයෙකු සහ පර ගැති භාවයෙන් මිදී තීරණ ගත හැකි ආණ්ඩුවක් බලයට පත්ව සිටියදීත්, හොඳින් බැරිනම් නරකින් හෝ පොදු ප්‍රවාහනය ගොඩනැගීමේ අවශ්‍යතාවය ඔවුන් තවමත් ග්‍රහණය කරගෙන නොමැත. එබැවින් ආණ්ඩුවේ මේ වාහන ආඩම්බරය හුදෙක් අනාගතය අඳුරු කරන තවත් එක් මෝඩ චූන් එකක් පමණි.

