පාරිභෝගිකයාගේ 'නිදහස් තේරීම' යනු හුදු දෘෂ්ටිවාදී මායාවක් පමණක් ද? සුපිරි වෙළඳසැලක
රාක්කයක් මත දිදුලන බෝතලයක අසුරා ඇති 'පිරිසිදු පොල්තෙල්' යනු සැබැවින්ම අපේ අභ්‍යන්තර ආර්ථික හා සෞඛ්‍ය අර්බුදයේ විෂ සහිත රෝග ලක්ෂණයකි. විවෘත වෙළඳපොළේ නියාමනයක් නොමැති අවකාශය තුළ, ලාභය හඹා යන ප්‍රාග්ධනය විසින් පාරිභෝගිකයාට ලබා දෙන්නේ තෝරාගැනීමක් නොව, සෙමෙන් මියයාමේ වරප්‍රසාදයකි.

මෑතකදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත යොමු කළ දැඩි ලිපිය හරහා මතු කරන්නේ මෙම ඛේදවාචකයේ එක් පැතිකඩක් පමණි. එනම්, දැනට පවතින පාම් තෙල් ආනයන තහනම ඉවත් කරවා ගැනීමට මහා පරිමාණ ආනයනකරුවන් සහ ව්‍යාපාරික කල්ලි දියත් කර ඇති අදෘශ්‍යමාන මෙහෙයුමයි.
වෙළඳපොළේ පවතින ව්‍යුහාත්මක හිඩැස
අප මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය වන්නේ, සමස්ත ජාතික ඉල්ලුම සහ සැබෑ දේශීය නිෂ්පාදන ධාරිතාව අතර පවතින ගැඹුරු ව්‍යුහාත්මක පරතරයයි. ජාතික ආහාර තෙල් අවශ්‍යතාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් 240,000 ක් පමණ වන නමුත්, දේශීයව අපට නිෂ්පාදනය කළ හැක්කේ මෙට්‍රික් ටොන් 20,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් (16.7% ටත් අඩු) පමණි. මන්දයත්, අපේ වාර්ෂික පොල් අස්වැන්නෙන් 65% - 70% ක්ම (ගෙඩි මිලියන 1,800ක්) අප ගෘහස්ථව සෘජු ආහාරයට ගන්නා බැවිනි.
මෙම අතිවිශාල සැපයුම් හිඩැස පුරවන්නේ කෙසේද? මෙහිදී තෙල් වෙළඳපොළේ 'සැබෑව' (The Real) නිරාවරණය වේ. මුළු තෙල් අවශ්‍යතාවෙන් 83% කට අධික ප්‍රමාණයක් සපුරා ගැනෙන්නේ ආනයන මතය.
කාර්මික අංශය (බිස්කට්, බේකරි නිෂ්පාදන) සඳහා සීමිත කෝටා ක්‍රමයක් යටතේ පාම් තෙල් ආනයනයට අවසර දී ඇති අතර, ඉතිරිය පියවන්නේ වාර්ෂිකව ඩොලර් මිලියන 150 - 200 ක් පමණ වැය කරමින් ගෙන්වන ආනයනික පිරිපහදු කළ පොල්තෙල් (RBD) මඟිනි.
කූට බදු ප්‍රතිපත්තිය සහ දේශීය කර්මාන්තය ඝාතනය කිරීම
මෙම ඛේදවාචකය වඩාත් උග්‍ර වන්නේ රාජ්‍ය බදු ප්‍රතිපත්ති හරහා දේශීය කර්මාන්තය පාවා දීම නිසාවෙනි. දේශීය පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයෙකුට ඉහළ විදුලි බිල සහ නිෂ්පාදන වියදම් හමුවේ පිරිසිදු තෙල් කිලෝග්‍රෑමයක් නිපදවීමට රුපියල් 962 ක පිරිවැයක් දැරීමට සිදුවේ. නමුත්, මහා පරිමාණ ආනයනකරුවෙකුට ලෝක වෙළඳපොළේ අඩු මිලට පවතින තෙල් ගෙනවිත් ලීටරයක් රුපියල් 630 කට වෙළඳපොළට දැමිය හැකිය.
වඩාත් කම්පන සහගත කරුණ වන්නේ 2026 වසරේ ක්‍රියාත්මක වීමට නියමිත බදු සංශෝධනයයි. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ඉවත් කර, වැට් (VAT) සහ SSCL පැනවීම හරහා, පාම් තෙල් සඳහා පැවති රුපියල් 275 ක බද්ද රුපියල් 160–170 දක්වා (රුපියල් සියයකට වඩා වැඩි අගයකින්) පහත වැටේ. අනෙක් අතට, ආනයනික පොල්තෙල් සඳහා බද්ද රුපියල් 15–20 කින් ඉහළ යයි. මෙය නීතියේ හිඩැස් උපයෝගී කරගනිමින් මහා පරිමාණ පාම් තෙල් ආනයනකරුවන් කිහිප දෙනෙකුට පමණක් සුවිශේෂී වාසි ලබා දෙන අදෘශ්‍යමාන ප්‍රාග්ධන හැසිරවීමකි.
විෂ සහිත රෝග ලක්ෂණය - තෙල් මිශ්‍ර කිරීම
වෙළඳපොළේ පවතින මෙම දැවැන්ත මිල පරතරය නිසා සිදුවන්නේ කුමක්ද?
එය ලාභය අරමුණු කරගත් මාෆියාවකට දොරටු විවර කරයි. කාර්මික කටයුතු සඳහා පමණක් සහනදායීව ගෙන්වන බාල පාම් තෙල් සහ අඳුරු ආනයනික තෙල් රහසිගතව ගෘහස්ථ වෙළඳපොළට කාන්දු වේ.

මෙම තෙල් සුදු පැහැ ගැන්වීමට ක්ලෝරීන් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl) වැනි දරුණු රසායනික යොදා ගන්නා අතර, ඉන්පසු කෘත්‍රිම සුවඳකාරක සහ වර්ණක එක් කර "පිරිසිදු පොල්තෙල්" ලෙස පාරිභෝගිකයාට අලෙවි කෙරේ. නිසි ලෙස නොවේලූ කොප්පරා හරහා එන ඇෆ්ලටොක්සින් (Aflatoxins) සහ PAH වැනි පිළිකාකාරක අඩංගු තෙල් ද අපේ කුස්සියට පැමිණෙන්නේ මෙම ක්‍රමවේදය යටතේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් 2026 සැප්තැම්බර් මස සිට ඇසුරුම් නොකළ (loose oil) තෙල් අලෙවිය තහනම් කළේ මෙම ජාවාරම පාලනය කිරීමටය. ලේබල් කිරීම හරහා යම් ප්‍රමාණයක වගවීමක් ඇති කළ හැකි වුවද, එය පමණක් ප්‍රමාණවත් නොවේ.
ඉදිරි උපායමාර්ගික ප්‍රවේශය කුමක්ද?
හුදෙක් පාම් තෙල් ආනයනය තහනම් කිරීම යනු සංකේතාත්මක (Symbolic) ක්‍රියාවක් පමණි. එමඟින් වෙළඳපොළේ 80% ක තෙල් හිඟය විසඳෙන්නේ නැත. අප ඊට වඩා ගැඹුරු ව්‍යුහාත්මක වෙනසකට යා යුතුය.
- බදු ප්‍රතිපත්තිය නිවැරදි කිරීම: පාම් තෙල් ආනයනයට ලැබෙන අසාධාරණ බදු සහන වහාම අවලංගු කර, දේශීය නිෂ්පාදකයාට සාධාරණව තරඟ කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සහ දේශීය යන්ත්‍රෝපකරණ මත ඇති බදු බර ඉවත් කිරීම.
- ඩිජිටල් අධීක්ෂණය : ආනයනය කරන කාර්මික පාම් තෙල් හොර රහසේ වෙළඳපොළට කාන්දු වීම වැළැක්වීමට රේගුව සහ අදාළ ආයතන එක්ව ඩිජිටල් සැපයුම් දාම අධීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම.
- පරීක්ෂණ ජාලය පුළුල් කිරීම: කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් හඳුන්වා දුන් FT-NIR වැනි නූතන තාක්ෂණික පරීක්ෂණ ක්‍රම දිවයින පුරා ව්‍යාප්ත කිරීම.
- විකල්ප ප්‍රවර්ධනය: ජාතික තෙල් හිඟය පියවීමට දේශීය වී මෝල් ආශ්‍රිතව අතුරු ඵලයක් ලෙස ලැබෙන නිවුඩ්ඩ තෙල් (Rice bran oil) නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වහා ප්‍රවර්ධනය කිරීම.
දේශීය පාරම්පරික පොල්තෙල් කර්මාන්තයත්, පාරිභෝගිකයාගේ සෞඛ්‍යයත් එකිනෙකින් වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. නීතියේ හිඩැස් වලින් රිංගා යන ධනවාදී මාෆියාවකට අපේ වෙළඳපොළ පාලනය කිරීමට ඉඩ දෙනවාද, නැතහොත් දේශීය කර්මාන්තය නඟා සිටුවමින් සුරක්ෂිත පාරිභෝගික සංස්කෘතියක් ගොඩනඟනවාද යන්න ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවේ ඇති සැබෑ දේශපාලනික තීරණයයි.
මීළඟ ලිපියෙන්
- ආනයනික පොල්තෙල් ඇත්තටම නිසි ප්‍රමිතියෙන් එනවාද?

