SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 සුරාබදු ස්ටිකර් ටෙන්ඩරය කල් දැමීම -

 

 

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් බෝතල් සඳහා වන ආරක්ෂිත ස්ටිකර් සහ ඩිජිටල් සලකුණු

පද්ධති (SFSFMS) සැපයීමේ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය අගෝස්තු 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි. එහෙත්, අවසන් මොහොතේදී අදාළ ලංසු භාරගැනීමේ දිනය සැප්තැම්බර් 22 දක්වා තවත් දින 22කින් දීර්ඝ කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

 

 

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය අද කළ විමසුමකට පිළිතුරු දෙමින් සුරාබදු කොමසාරිස් (ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු) එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න සඳහන් කර ඇත්තේ, ප්‍රසම්පාදන කමිටුවට "ආයතනයක්" විසින් ලබාදුන් ඉල්ලීමකට අනුව මෙම දින කල්දැමීම සිදු කළ බවයි. කෙසේ වෙතත්, වත්මන් ස්ටිකර් සැපයුම්කරු වන ඉන්දියාවේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් (MSP) සමාගමේ කොන්ත්‍රාත්තුව 2027 ජනවාරි 02 වනදායින් අවසන් වීමට නියමිත පසුබිමක, මෙම දින දීර්ඝ කිරීම හුදෙක් සරල පරිපාලනමය තීරණයක් ද, නැතහොත් දූෂණ චෝදනා එල්ල වී ඇති වත්මන් සැපයුම්කරුටම කොන්ත්‍රාත්තුව තවදුරටත් දීර්ඝ කර දීමේ රහසිගත උපායමාර්ගයක් ද යන්න පිළිබඳව බරපතළ සැක මතු වේ.

 

 

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව, ටෙන්ඩර් දිනයක් දීර්ඝ කළ හැක්කේ තාක්ෂණික පිරිවිතරයන්හි බරපතළ වෙනසක් කිරීම, පූර්ව බිඩ් සාකච්ඡාවලදී මතු වූ කරුණු පැහැදිලි කිරීමට කාලය අවශ්‍ය වීම හෝ තරඟකාරීත්වය වැඩි කිරීම වැනි සුවිශේෂී සාධාරණ හේතු මත පමණි. එසේ නම්, ප්‍රසම්පාදන කමිටුවට බලපෑම් කළ හැකි මට්ටමේ ඉල්ලීමක් කළ ඒ "අදෘශ්‍යමාන ආයතනය" කුමක්ද? එය තරඟකාරී සමාගමකින් කළ ඉල්ලීමක් ද? නැතහොත් කාලය ප්‍රමාද කිරීමෙන් සෘජු වාසි ලබන පාර්ශවයක අවශ්‍යතාවයක් ද?

 

 

අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කිව නොහැකි බව සුරාබදු කොමසාරිස්වරයා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පවසා තිබුණද, රාජ්‍ය බදු ආදායමට සෘජුවම බලපාන මෙවැනි දැවැන්ත ජාත්‍යන්තර ටෙන්ඩරයකදී එම ඉල්ලීම කළේ කවුද යන්න බලධාරීන් විසින් වහාම රටට හෙළි කළ යුතුව ඇත.

 

 

මෙම සැකය තවදුරටත් තීව්‍ර වන්නේ වත්මන් සැපයුම්කරු වන මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් (MSP) සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම එල්ල වී ඇති බරපතළ චෝදනා නිසාවෙනි. මෑතකදී කඩුවෙල මාලඹේ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී ස්කාගාරයකින් ව්‍යාජ මත්පැන් බෝතල් 18,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අතර, ඊට අලවා තිබූ ආරක්ෂිත ස්ටිකර් ඉන්දියාවෙන් ගෙන්වා ඇති බවටත්, ඒවා සුරාබදු දෙපාර්තමේන්තුව සතු යන්ත්‍රවලින් පවා හඳුනාගත නොහැකි මට්ටමේ සූක්ෂම ඒවා බවටත් විමර්ශනවලදී අනාවරණය විය. අදාළ ස්ටිකර්වල පූර්ණ හිමිකාරීත්වය සහ ඒවා මුද්‍රණය කිරීමේ බලය ඇත්තේ අදාළ සමාගමට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට පමණක් වන අතර, මෙහි පිටුපස ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකුගේ සහ සුරාබදු නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ.

 

 

 

මෙම බරපතළ තත්ත්වය මත වත්මන් ගිවිසුම කල් ඉකුත්වීමට පෙරම අවලංගු කරන ලෙස පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට දැඩිව නිර්දේශ කර තිබුණි. එහෙත්, ගිවිසුම ඒකපාර්ශ්විකව අවලංගු කිරීමෙන් රජයට දැවැන්ත වන්දියක් ගෙවීමට සිදුවීමේ අවදානමක් ඇති බවත්, ක්ෂණිකව වෙනත් සැපයුම්කරුවෙකු නොමැති වීමෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය තවදුරටත් ඉහළ යා හැකි බවත් පෙන්වා දෙමින් මුදල් අමාත්‍යාංශය තීරණය කළේ 2027 ජනවාරි දක්වා වත්මන් සමාගම සමඟම කටයුතු කිරීමටය.

 

 

 

මෙවන් පසුබිමක, 2026 මැයි මාසයේදී කැබිනට් අනුමැතිය ලත් නව ටෙන්ඩරයේ දින 22ක ප්‍රමාදය සරල සංඛ්‍යාවක් ලෙස පෙනුණද, ප්‍රසම්පාදන දින දර්ශනයට අනුව එයින් නිර්මාණය කරන්නේ බරපතළ අර්බුදයකි.

 

 

නව කාලසටහනට අනුව 2027 ජනවාරි 02 වනදාට පෙර නව ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම අතිශය අභියෝගාත්මක වන්නේ ප්‍රායෝගික සාධක කිහිපයක් නිසාවෙනි. ටෙන්ඩරය වැසීමෙන් පසු තාක්ෂණික සහ මූල්‍ය ඇගයීම් කමිටු (Technical Evaluation) ක්‍රියාත්මක වී නිසි ඇගයීමක් සිදු කිරීමට මාස ගණනක කාලයක් ගත වන අතර, ඉන්පසු තීරණවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට ලංසුකරුවන්ට නිල කාලයක් ලබා දිය යුතුය.

 

 

එසේම, 2016 වසරේ සිට මෙම ව්‍යාපෘතිය BOO (Build, Own and Operate) පදනම යටතේ ක්‍රියාත්මක වන බැවින් දැනට නිෂ්පාදනාගාරවල ඇති යන්ත්‍ර සියල්ල වත්මන් සමාගමට අයත්ය. නව සමාගමක් තේරී පත් වුවහොත් නව යන්ත්‍ර සවි කිරීමට සහ පද්ධති යාවත්කාලීන කිරීමට අවම වශයෙන් මාස 3ත් 6ත් අතර සංක්‍රාන්ති කාලයක් අවශ්‍ය වේ.

 

 

මේ සියල්ල සඳහා ගතවන කාලය ගණනය කළ විට, දින 22ක ප්‍රමාදය හේතුවෙන් 2027 ජනවාරි 02 වනදා වන විට නව ටෙන්ඩර්කරුවෙකු හරහා ස්ටිකර් මුද්‍රණ ක්‍රියාවලිය ආරම්භ කිරීම මුළුමනින්ම අසාර්ථක වීමේ ඉහළ සම්භාවිතාවක් ඇත. නියමිත දිනට නව සැපයුම්කරුවෙකු ස්ථාපිත කර ගැනීමට නොහැකි වුවහොත් රජය මුහුණ දෙන්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයකටය. ස්ටිකර් මුද්‍රණය නැවතුණහොත් සුරාබදු ආදායම සම්පූර්ණයෙන්ම කඩා වැටේ. සිදුවීමට නියමිත ඊළඟ පියවර ඉතා පැහැදිලිය. අත්‍යවශ්‍ය සේවා සහ බදු ආදායම් කඩා වැටීමේ දැවැන්ත අවදානම පෙන්වා දෙමින්, වෙනත් විකල්පයක් නොමැති බව පවසමින් දැනට සේවාව සපයන වත්මන් සැපයුම්කරුටම තවත් වසරක් හෝ අමතර කාලයක් සඳහා ගිවිසුම දීර්ඝ කර දීමට ප්‍රසම්පාදන කමිටුවට නීත්‍යානුකූලවම සිදු වනු ඇත.

 

 

එබැවින්, අගෝස්තු 31න් අවසන් වීමට තිබූ ටෙන්ඩරය කල් දැමීම යනු හුදෙක් ආයතනික ඉල්ලීමක් මත සිදුවූවක් පමණක් නොව, කාලය මරමින් වත්මන් හිමිකරුටම යළි කොන්ත්‍රාත්තුව අතට දීමට සකස් කළ පරිපාලනමය උගුලක් (Bureaucratic Trap) දැයි සමාජය බරපතළව ප්‍රශ්න කළ යුතුව ඇත. රජයේ බදු ආදායම සුරක්ෂිත කිරීමේ මුවාවෙන්, කල් මරන න්‍යාය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ප්‍රසම්පාදන විකෘතිය වහාම විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කළ යුතුය.

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

 

 

Right to Reply

As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

 

Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

නවතම ලිපි