SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හේමාස් හි ඩොලර් මිලියන 16.2ක් කෙන්යාවට ගිය හැටි

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේමාස් හෝල්ඩිංස් පීඑල්සී

(Hemas Holdings PLC), සිය පූර්ණ අනුබද්ධ සමාගමක් වන ඇට්ලස් ඇක්සිලියා (Atlas Axillia Company) හරහා කෙන්යාවේ ප්‍රමුඛ පෙළේ ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන ට්විගා ස්ටේෂනර්ස් ඇන්ඩ් ප්‍රින්ටර්ස් ලිමිටඩ් (Twiga Stationers & Printers Limited) හි 75%ක කොටස් හිමිකම අත්පත් කරගෙන තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 16.2ක දැවැන්ත ආයෝජනයකින් සිදුකළ මෙය, හේමාස් සමූහයේ දශක හතකට වැඩි ආයතනික ඉතිහාසය තුළ සනිටුහන් වූ ප්‍රථම පූර්ණ ජාත්‍යන්තර අත්පත් කර ගැනීම ලෙස වාර්තා වේ.

 

 

මෙම ගනුදෙනුව මෙහෙයවන ලද ඇට්ලස් සමාගම හේමාස් හි පූර්ණ අනුබද්ධ සමාගමක් බවට පත්වූයේ 2018 වසරේදී එහි 75.1%ක කොටස් අත්පත් කරගැනීමෙන් අනතුරුව, පසුව ඉතිරි 24.9% ද මිලදී ගැනීම හරහාය. ඒ අනුව දේශීය වෙළෙඳපොළේ ප්‍රමුඛයා ලෙස ගොඩනගාගත් නිෂ්පාදන තාක්ෂණය ජාත්‍යන්තරයට ගෙනයාමේ වාහකය ලෙස හේමාස් විසින් ඇට්ලස් සමාගම තෝරාගෙන ඇත.

 

 

Nairobi, Kenya - August 01, 2021: Buildings in the Nairobi City Centre.

කෙන්යාවේ නයිරෝබි ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය

 

 

නැඟෙනහිර අප්‍රිකාවට යන්න පාර කැපීම

මෙම අත්පත් කර ගැනීමත් සමඟ හේමාස් හට කෙන්යාව තුළ පමණක් නොව සමස්ත කලාපය පුරාම නිෂ්පාදන සහ බෙදාහැරීමේ පුළුල් මෙහෙයුම් වේදිකාවක් හිමිවන බව ආර්ථික විශේෂඥ මතයයි. කෙන්යාව යනු දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන136 ඉක්මවන, මිලියන 54කට අධික ජනගහනයක් සහිත නැඟෙනහිර අප්‍රිකාවේ ගතික ආර්ථිකයකි. මිලියන 330කට අධික පාරිභෝගික පදනමක් වෙසෙන නැඟෙනහිර අප්‍රිකානු ප්‍රජාව (EAC) වෙත ප්‍රවේශ වීමේ මූලෝපායික දොරටුවක් ලෙස මෙය ක්‍රියා කරයි.

 

 

Twiga සමාගම කෙන්යාවේ ලිපිද්‍රව්‍ය සහ ඉගෙනුම් භාණ්ඩ වෙළෙඳපොළේ දිගු ඉතිහාසයක් සහිත අසහාය නිෂ්පාදකයෙකි. Kasuku, CrownBird සහ Envoy වැනි ප්‍රබල සන්නාමයන් එම සමාගම සතු වේ. හේමාස් හි ආයෝජක දත්තවලට අනුව Twiga සමාගම කෙන්යානු ලිපිද්‍රව්‍ය වෙළෙඳපොළේ 55%ක පමණ අධිපති කොටසක් නියෝජනය කරන අතර, එහි අලෙවියෙන් 80%ක් කෙන්යාව තුළත් ඉතිරි 20% අප්‍රිකානු කලාපීය රටවල් 10කට අධික සංඛ්‍යාවක් පුරාත් ව්‍යාප්තව පවතී.

 

 

මාස 11ක ගනුදෙනු කාලරාමුව

මෙම ගනුදෙනුව ක්ෂණික තීරණයක් මත එක්වරම සිදුවූවක් නොවන අතර, දේශසීමා නියාමන එකඟතා සහිතව මාස 11ක් පුරා දිවගිය ක්‍රියාවලියකි. 2025 සැප්තැම්බර් 25 දින හේමාස් සහ Twiga සමාගම අතර කොන්දේසි සහිත කොටස් මිලදී ගැනීමේ සහ විකිණීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් මූලික ගිවිසුමට එළඹීම සිදුවිය. අනතුරුව 2026 ජනවාරි මාසයේදී තරගකාරීත්ව නීති උල්ලංඝනය නොවන බවට කෙන්යාවේ තරගකාරීත්ව අධිකාරිය (CAK) විසින් තහවුරු කරමින් කෙන්යානු අනුමැතිය ලබාදෙන ලදී. 2026 මුල් භාගයේදී විදේශ විනිමය ආයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර, 2026 අගෝස්තු 17 දින සියලු නීතිමය එකඟතා සපුරාලීමෙන් පසු කොළඹ කොටස් හුවමාරුවට (CSE) නිල වශයෙන් අනාවරණය කිරීමත් සමඟ ගනුදෙනුව අවසන් විය.

 

 

අපිට කොහොමද?

- ප්‍රාග්ධන කාන්දුවීම සහ ආර්ථික යථාර්ථය

ආර්ථික කඩාවැටීමකින් පසුව හිස ඔසවමින් සිටින ශ්‍රී ලංකාවේ සමාගම් වෙනත් රටවල් තුළ ආයෝජනය කිරීම ඉහළ යාම කෙටිකාලීනව මෙරට ආර්ථිකයට පීඩනයක් ගෙනදිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතය වේ. විශේෂයෙන්ම විදේශ විනිමය සංචිත යථා තත්ත්වයට පත්වෙමින් පවතින අවධියක ඩොලර් මිලියන 16.2ක් වැනි ප්‍රාග්ධනයක් රටින් බැහැරට ගලා යාම විනිමය අනුපාතයට බලපෑම් කළ හැක.

 

 

මීට සමගාමීව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන සමාගමක් වන අමලීන් පවුලට අයත් MAS Holdings සමාගමද මෙරට ඇතැම් නිෂ්පාදන මෙහෙයුම් සීමා කරමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අමෙරිකානු ඩොලර් මිලියන 93කට ආසන්න ආයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ දිනවල බරපතල කතාබහක් මතුව තිබේ.

 

 

MAS Holdings - Full service clothing manufacturer

 

 

හේමාස් සමාගමේ කෙන්යානු ආයෝජනය සහ MAS Holdings හි ඉන්දීය ආයෝජනය සංසන්දනය කිරීමේදී පැහැදිලි වෙනස්කම් හඳුනාගත හැක. හේමාස් හි අමෙරිකානු ඩොලර් මිලියන 16.2ක ආයෝජනය මූලික වශයෙන් වෙළෙඳපොළ සොයායන (Market-seeking) සෘජු විදේශ ආයෝජනයක් වන අතර, ඉන් මෙරට නිෂ්පාදනයට හානියක් නොවන පිරිසිදු වෙළෙඳපොළ පුළුල් කිරීමක් සිදුවේ. ඉහළ ජනගහන වර්ධනය සහ ශක්තිමත් බෙදාහැරීමේ ජාල හරහා සත්කාරක රටෙහි වාසි ඔවුහු ලබාගනිති.අනෙක් අතට, MAS Holdings විසින් ඉන්දියාවේ සිදුකරන ඩොලර් මිලියන 93ක ආයෝජනය ප්‍රධාන වශයෙන් කාර්යක්ෂමතාව සහ අමුද්‍රව්‍ය සොයායන (Efficiency-seeking) ආයෝජනයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඇතැම් මහන ඒකක ප්‍රතිව්‍යුහගත කර ඉහළ අගය එකතු කළ රෙදිපිළි සැකසුම් වෙත මාරුවීමක් සිදුවන අතර, දින 21ක කඩිනම් රජයේ අනුමැතිය සහ පුළුල් සැපයුම් දාමය ඔවුන්ට ලැබෙන සත්කාරක රටෙහි ප්‍රධාන වාසි වේ.

 

 

කෙසේ වෙතත්, ව්‍යාපාරික ප්‍රාග්ධනය සැමවිටම ගලා යන්නේ උපරිම ප්‍රතිලාභ සහ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය පවතින කලාප වෙත බව සැබෑය. දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් බලමින් බොහෝ අය සිතන්නේ මෙම සමාගම් විදේශයන්හි සාර්ථකව ව්‍යාපාර කර උපයන ලාභාංශ නැවත මෙරටට ගලා ඒම මගින් ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ ශේෂය ශක්තිමත් වනු ඇතැයි කියාය. මෙය සිදුවිය හැක්කේ සැබැවින්ම මේ කියන ආකාරයටම ආයෝජනය කරමින් එම ලාභාංශ ලංකාවට ගෙන ඒමේ අවංක ක්‍රියාවලියක් පවතින්නේ නම් පමණි.

 

 

එහෙත් ප්‍රායෝගිකව සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඉන්දියාවේ හෝ දකුණු අප්‍රිකාව වැනි රටවල ආයෝජනය කරන මුවාවෙන් ලංකාවෙන් පිටකරනා මෙම සමාගම් සතු දැවැන්ත ඩොලර් සංචිතවලින් වැඩි කොටසක් සිංගප්පූරුව වැනි රටවල බැංකුවල තැන්පත් වීමයි. ආයෝජනයට සැබෑ ලෙසම යොදා ගන්නේ ඉන් කොටසක් පමණි. විශේෂයෙන් දකුණු අප්‍රිකාව වැනි රටවල ආයෝජනය කිරීමේදී, එම මුදල් නැවත ඉන් පිට කිරීමට යම් දැඩි සම්මුතීන් සහ ක්‍රමවේදයන් පවතී. එබැවින් අපේක්ෂිත ලාභාංශ නැවත ලංකාවට ගලා එන්නේද යන්න ගැටලුවකි.

 

 

කෙසේ වුවද, නියාමන අවහිරතා හෝ නීති දැඩි කිරීමෙන් පමණක් ප්‍රාග්ධනය බලහත්කාරයෙන් රඳවාගත නොහැක. ඒ වෙනුවට ශ්‍රී ලංකාව කළ යුත්තේ, විදේශ රටවල් සේම කාර්යක්ෂම එක්-කවුළු අනුමැතීන් (one-stop approvals) සහ ස්ථාවර ප්‍රතිපත්ති මෙරට තුළද ස්ථාපිත කිරීම මගින් ප්‍රාග්ධනය රට තුළම රඳවා ගැනීමට හිතකර වටපිටාවක් නිර්මාණය කිරීමයි.

 

 

(මූලාශ්‍ර:ශ්‍රී ලංකා මිරර්, හේමාස් හෝල්ඩිංස් ආයෝජක වාර්තා, ශ්‍රී ලංකා මහ බැංකුව සහ කෙන්යානු තරගකාරීත්ව අධිකාරිය - CAK)

 

 

Right to Reply

As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.

 

Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]

Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

නවතම ලිපි