SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා බදු මුදලින් නඩත්තුවන ජනාධිපති අරමුදල දේශපාලඥයින්ගේ බූදලයක් වූ හැටි

 

 

සාමාන්‍ය පුරවැසියාගේ හදිසි වෛද්‍ය අවශ්‍යතා සහ ජීවිතාරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදල,

දේශපාලන ප්‍රභූන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්වෙමින් පවතින බව 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන විගණකාධිපති වාර්තාව මගින් පළමු වරට අනාවරණය කර තිබේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වැනි වගන්තිය ප්‍රකාරව සිදුකළ මෙම විගණනයේදී නීති සහ මූල්‍ය රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් අරමුදලේ විනිවිදභාවය මුළුමනින්ම ප්‍රශ්නකාරී වී ඇත.

 

PF_Audit_Report_without_first_page-1.jpeg

 

 

දේශපාලන ප්‍රභූන්ගේ වෛද්‍ය බිල්පත් සහ මහජන අරමුදල් වංචාව

සාමාන්‍ය ජනතාව රුපියල් දහස් ගණනක වෛද්‍ය ආධාරයක් ලබාගැනීමට මාස ගණන් පෝලිම්වල රස්තියාදු වෙද්දී, 2012 සිට 2014 දක්වා කාලය තුළ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සහ හිටපු අගමැතිවරයෙකුට පමණක් ජනාධිපති අරමුදලින් ලබා දී ඇති සමස්ත වෛද්‍ය ආධාර මුදල රුපියල් 40,717,941 කි (හාර කෝටි හත් ලක්ෂ දහහත් දහස් නමසිය හතළිස් එකකි).

 

 

වඩාත් බරපතළම කරුණ වන්නේ මින් රුපියල් 24,657,015 ක (රුපියල් මිලියන විසිහතර ඉක්මවූ) මුදලක් ලබා දී ඇත්තේ "නැවත අයකර ගැනීමේ පදනම" මත වීමයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ලබාදුන් රුපියල් 10,908,798 ක් සහ හිටපු අගමැතිවරයාට ලබාදුන් රුපියල් 13,748,217 ක් මුදල  2026 මැයි 20 වන දින දක්වාත් අරමුදලට අයකරගෙන නොමැත. මහජන නියෝජිතයන් යැයි කියාගන්නා පුද්ගලයන් විසින් සිදුකර ඇති මෙය සෘජුවම මහජන මුදල් අවභාවිතයකි.

 

 

වසන් කළ ජනතාවගේ වෛද්‍ය ආධාර

ප්‍රභූන්ගෙන් මිලියන ගණනින් මුදල් අයකර ගැනීමට අපොහොසත් වූ අරමුදලේ පාලනාධිකාරිය, 2025 වර්ෂය තුළ සාමාන්‍ය ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුමත කර තිබූ රුපියල් 73,637,450.00 ක ගෙවීම් එම වර්ෂය තුළ පියවා නොමැති බව විගණන පරීක්ෂණයේදී තහවුරු වී ඇත. මෙම නොගෙවූ දැවැන්ත මුදල අරමුදලේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර හෝ හෙළිදරව් කර හෝ නොතිබීම තුළින් මූල්‍ය වාර්තාකරණයේ පවතින බරපතළ වංචනික ස්වභාවය මනාව පැහැදිලි වේ.

 

janadipathi.jpeg

 

පනත් සහ මූල්‍ය රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කිරීම

ජනාධිපති අරමුදලේ පරිපාලනය, 1978 අංක 7 දරන ජනාධිපති අරමුදල් පනතේ මූලික වගන්ති මෙන්ම රාජ්‍ය මූල්‍ය රෙගුලාසි ද පැහැදිලිවම උල්ලංඝනය කර ඇත. මීට අමතරව අදාළ නීතිවලට අනුකූලව සහ කාල රාමු තුළ අරමුදලේ සම්පත් ආර්ථිකමයව, කාර්යක්ෂමව සහ සඵලදායීව ප්‍රසම්පාදනය කර භාවිත කර නොමැති බවද විගණනයේදී අනාවරණය වී තිබේ.

 

 

පනත.jpeg

 

පනතේ 4 සහ 8 වගන්ති උල්ලංඝනය -

අරමුදලේ දේපල කළමනාකරණයට සහ නිලධාරීන් පත්කර වේතන ගෙවීමට බලය ඇත්තේ අරමුදලේ පාලක මණ්ඩලයට පමණි. එහෙත් එම නීතිමය රාමුවෙන් පිට පනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අරමුදලේ ස්ථිර සහ තාවකාලික කාර්ය මණ්ඩලයට රුපියල් 68,225,204 ක (රුපියල් හැටඅට මිලියන දෙසිය විසිපස් දහස් දෙසිය හතරක) වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා රුපියල් 5,641,970 ක් (රුපියල් මිලියන පහයි ලක්ෂ හයයි හතළිස් එක් දහස් නමසිය හැත්තෑවක්) ඇතුළුව සමස්ත රුපියල් 73,867,174 ක (රුපියල් හැත්තෑතුන් මිලියන අටසිය හැටහත් දහස් එකසිය හැත්තෑහතරක) වියදමක් දරා ඇත.

 

පනතේ 7 වන වගන්තිය උල්ලංඝනය-

පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ආයෝජන ප්‍රතිපත්තියක් අරමුදලට නොමැත. 2025 වර්ෂය තුළ අරමුදලේ මුදල් ස්ථාවර සහ කැඳවුම් තැන්පතුවල ආයෝජනය කර ඇත්තේ නිසි පූර්ව අනුමැතියකින් තොරව වන අතර, ඊට අනුමැතිය ලබාගෙන ඇත්තේ මාස ගණනාවකට පසු 2026 පෙබරවාරි 10 වන දිනයි.

 

මුදල් රෙගුලාසි (FR) 135 උල්ලංඝනය-

රාජකාරි බලය පැවරීම විධිමත්ව සිදුවිය යුතු වුවත්, 2025 දෙසැම්බර් 22 සිට ක්‍රියාත්මක වන පරිදි අතීතයට බලපාන ලෙස ජනාධිපති ලේකම්වරයා බලය පවරා ඇත්තේ 2026 පෙබරවාරි 10 වන දිනයි.

 

රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛ අංක 01/2020 උල්ලංඝනය-

අරමුදලේ කාර්යසාධන වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය අවසන් වී මාස දෙකක් ඇතුළත ඉදිරිපත් කළ යුතු වුවද එය ඉදිරිපත් කර ඇත්තේ 2026 මැයි 12 වන දිනයි. එසේම 2025 වර්ෂයේ අයවැය ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කර ඇත්තේ 2025 ඔක්තෝබර් 27 වන දින තරම් ප්‍රමාද වෙමිනි.

 

 

මෙම විගණන වාර්තාව මගින් තහවුරු වන්නේ, අතිශය දුෂ්කර ආර්ථික තත්ත්වයන් මැද ජීවිතයත් මරණයත් අතර සටන් කරන අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් ස්ථාපිත කළ ජනාධිපති අරමුදල, කිසිදු නෛතික සහ මූල්‍ය විනයකින් තොරව දේශපාලන සහ පරිපාලන අභිමතාර්ථයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත්ව ඇති බවයි.

 

 

d52fdb6e-682b-4ed1-b5ae-fcb7eb585056.jpeg 

 

මීට පෙර ජනාධිපති අරමුදල විගණනයට හසු වූයේ නැද්ද?

මෙහිදී පැනනගින ප්‍රධානතම ගැටලුව වන්නේ මීට පෙර ජනාධිපති අරමුදල මෙලෙස විගණනයට ලක් නොවූයේද යන්නයි. නෛතික ප්‍රතිපාදනවලට අනුව ජනාධිපති අරමුදල සෑම විටම වාර්ෂිකව විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් විය යුතු වුවද, පසුගිය පාලන සමයන්හිදී දේශපාලන අධිකාරිය විසින් එම විගණන ක්‍රියාවලීන් දැඩි ලෙස යටපත් කර තිබූ බව පැහැදිලිය.

 

අතීතයේදී බොහෝ විට සිදුවූයේ දේශපාලන බලපෑම් මත විගණන වාර්තා නිකුත් කිරීම ප්‍රමාද කිරීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මඟහැරීම හෝ එහි හෙළිදරව් වන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගෙන ඒවා කුණුකූඩයට දැමීමයි. එහෙත්, මේ වන විට 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ බලතල වඩාත් ස්වාධීනව ක්‍රියාත්මක වීමත්, අතීතයේ සිදුවූ රාජ්‍ය මූල්‍ය වංචා විමර්ශනය කිරීමේ වත්මන් පරිපාලන ක්‍රියාමාර්ගත් හේතුවෙන්, දශක ගණනාවක් තිස්සේ දේශපාලන ප්‍රභූන් විසින් රහසිගතව සිදුකළ මෙවැනි මහා පරිමාණ මූල්‍ය අවභාවිතයන් කිසිදු බාධාවකින් තොරව සෘජුවම සමාජය හමුවට නිරාවරණය වෙමින් පවතී.

 

ජනාධිපති_අරමුදල_3.jpeg

 

කෙසේ වෙතත්, අතීතයේ සිටම දේශපාලකයන් විසින් රහසිගතව හංගගෙන කාපු ජනාධිපති අරමුදලේ මෙම මහා පරිමාණ සෙල්ලම වත්මන් පාලන කාලය තුළ හෝ මෙලෙස නිරුවත්ව හෙළිදරව් වෙමින් පැවතීම සම්බන්ධයෙන් වත්මන් පරිපාලනයට සහ විගණන අංශ වෙත ජනතාවගේ විශේෂ ස්තූතිය හිමිවිය යුතුය. දශක ගණනාවක් තිස්සේ ජනතා බදු මුදල් දේශපාලන ප්‍රභූන්ගේ පෞද්ගලික බූදලයක් සේ පරිහරණය කළ යුගය අවසන් කරමින්, තරාතිරම නොබලා ජාතික ධනය සුරැකීමේ සහ නිවැරදි මූල්‍ය විනයක් රට තුළ ස්ථාපිත කිරීමේ නව ගමන් මඟට මෙම විනිවිදභාවයෙන් යුතු අනාවරණයන් ප්‍රබල පූර්වාදර්ශයක් වනු නිසැකය.

 

PF_Audit_Report_without_first_page-1.jpeg PF_Audit_Report_without_first_page-2.jpeg

PF_Audit_Report_without_first_page-3.jpeg

PF_Audit_Report_without_first_page-4.jpeg

PF_Audit_Report_without_first_page-5.jpeg

PF_Audit_Report_without_first_page-6.jpeg

PF_Audit_Report_without_first_page-7.jpeg

 

නවතම ලිපි