ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී. ඩී. (චන්දන) වික්‍රමරත්න ගේ හදිසි මරණය
සම්බන්ධයෙන් මේ වන විට විවිධ තොරතුරු අනාවරණය වෙමින් පවතී. මුල් අවස්ථාවේදී මෙය සියදිවි නසාගැනීමක් ලෙස සැක කෙරුණද, මේ වන විට ලැබී ඇති සාක්ෂි මත එය ගිනි අවියක් ක්‍රියාත්මක වීමේදී සිදුවූ ඛේදනීය අත්වැරදීමක් බවට විශ්වාස කෙරේ.
"ඔයා පතරොම් නැති පිස්තෝලයක් අරගෙන ද මාත් එක්ක ඇවිදින්න යන්න හදන්නේ?"
මාධ්‍ය වාර්තාවලට අනුව, 2026 ජූලි 17 වැනිදා සිකුරාදා උදෑසන සී.ඩී. සිය බිරිඳ සමඟ ව්‍යායාම සඳහා ඇවිදීමට යාමට සූදානම් වී නිවසේ ආලින්දයට වී සිට ඇත. එහිදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සතුව තිබූ නව ගිනි අවියක් ඔහුගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. අදාළ අවිය පරීක්ෂා කර බැලීමට ඉල්ලා ඇති ඔහු, එහි පතරොම් ගැබ නොමැති බව දැක ඒ පිළිබඳව ආරක්ෂක නිලධාරියාගෙන් විමසා ඇත. ඉන් පසුව ආරක්ෂක නිලධාරියා විසින් පතරොම් සහිත මැගසිනය ඔහුට ලබා දී, හිටපු පොලිස්පතිවරයා ඉල්ලා සිටි වතුර බෝතලයක් ගෙන ඒම සඳහා නිවස තුළට ගොස් තිබේ.
මේ අතරතුර නිවස තුළ සිටි බිරිඳට එක්වරම වෙඩි හඬක් ඇසී ඇති අතර, ඇය පිටතට පැමිණෙන විට සී.ඩී.වික්‍රමරත්න ලේ විලක් මැද ආලින්දයේ ඇදවැටී සිට ඇත. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයාව වහාම මුල්ලේරියාවේ පිහිටි කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත්, එහිදී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.
පොලිස් වාර්තා තහවුරු කරන්නේ මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක බවයි. සිද්ධිය වූ අවස්ථාවේ නිවසේ සිටි බිරිඳ, අදාළ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, බාහිර පුද්ගලයෙකු විසින් වෙඩි තබන ලද බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් පොලිසියට හමුවී නොමැත.
මේ අතර, අධිකරණ වාර්තාවන්ට අනුව පොලිසිය විසින් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාස්වරයා විසින් නියෝග කර ඇත. වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිත අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා තීරණාත්මක වනු ඇත.
අභ්‍යන්තර ආරංචිමාර්ග ඔස්සේ පෙනී යන්නේ මෙය සියදිවි නසාගැනීමක් නොවන බවයි. පවුලේ ඥාතීන් සහ සමීපතම මිතුරන් තහවුරු කරන්නේ ඔහු කිසිදු මානසික අවපීඩනයකින් නොපෙළුණු බවයි. මරණයට දින කිහිපයකට පෙර ඔහු ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවකට සහභාගී වී ඇති අතර, මිතුරන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද එක්වී තිබේ. එමෙන්ම එදින සති අන්තයේ මිතුරෙකු හමුවීමට ද ඔහු සැලසුම් කර තිබී ඇත.
කෙසේ වෙතත්, 1986 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පොලිස් සේවයට එක්වී පුළුල් අවි පුහුණුවක් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ අතින් අත්වැරදීමකින් තමාගේම පපුවට වෙඩිල්ලක් පිටවීම ප්‍රායෝගිකව කෙතරම් දුරට සිදුවිය හැක්කක්ද යන්න බරපතළ තාර්කික ගැටලුවකි. එමෙන්ම, පෞද්ගලික ආරක්ෂක නිලධාරියා විසින් පතරොම් පුරවන ලද මැගසිනයක් ලබා දී ජ්‍යෙෂ්ඨ නිලධාරියාව තනි කර යාම සම්මත ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව ද ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් පෙන්වා දෙයි.

